මරණ දඬුවම කාට ද? කුමට ද?

July 20, 2018 at 3:24 am | lanka C news
මරණ දඬුවම කාට ද? කුමට ද?

මරණ දඬුවම පිළිබඳ සංවාදය නැවතත් මතු වී ඇති බව පෙනේ. මෙවර එම සංවාදය දියත් වුණේ මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත වී සිටින අපරාධකරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බව ඔප්පු වුණොත් ඔවුන්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන බවට ජනපති කළ ප්‍රකාශයෙනි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව අතීතයේ දී විශාලම හඬ නැගුවේ භික්ෂුන් වහන්සේලාය. ඒ සඳහා උන් වහන්සේලා පදනම් කර ගත්තේ “සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බෙතං ජිවිතං පියං“ යන ගාථාවයි. නමුත් මෙවර එයට එරෙහිව වැඩි හඬක් නැගෙන්නේ එන්ජිඕ ප්‍රජාවෙනි. එබැවින් මරණ දඬුවම පිළිබඳ මගේ මතය මෙන්ම බෞද්ධ මතය ද සටහන් කිරීමට මෙවර ප්‍රදීපය වෙන් කරමු.

තමන්ට මරණය හමුවේ ඇති වන බිය සළකා අනුන් මැරීමෙන් වැළකෙන මෙන් බුදුන් වහන්සේ දේශනා කලේ පවට ඇති බිය වෙනුවට සදාචාරාත්මක හේතු මත මරණයට පත් කිරීමෙන් වැළකීමට මිනිසුන් පෙළෙඹවීමටයි. හුදෙක් මිනී මැරීම නොව සියළුම වර්ගයේ ප්‍රාණ ඝාතන මෙම ගාථාවට විෂය වේ.

මෙම ගාථාව දේශනා කර ඇත්තේ මිනිසුන් ඉලක්ක කරගෙන මිස රජතුමා ඉලක්ක කරගෙන නොවේ. දණ්ඩනයේ සහ මිනීමැරීමේ ඒකාධිකාරය රාජ්‍යයට පවතියි යන සංකල්පය බටහිරට පෙරාතුවම බුදුන් වහන්සේ පිලිගෙන තිබිණි. බිම්බිසාර රජ සෝවාන් වූවෙකි. කොසොල් රජ දිනපතා බුදුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවෙහි යෙදුනෙකි. නමුත් මේ කිසිවෙකුට හමුදා විසුරුවා හැරීමටත් මරණ දඬුවම පැනවීමෙන් වැළකීමටත් අනුශාසනා කර නැත. බුදුන් වහන්සේගේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙස කටයුතු කරන සමයේ ද කොසොල් රජතුමා යුද වැදුණු බැව් කෝසල සංයුක්ත සූත්‍රයන්හි සඳහන් වේ.

මරණයට පත් කිරීමේ ඒකාධිකාරි බලය ආණ්ඩුවට පැවතිය යුතු වන්නේ කාරණා දෙකක් සඳහාය. පළමුව ජාතික ආරක්ෂාව වෙනුවෙනි. රාජ්‍යයට එරෙහිව ඇති වන කැරලි මෙන්ම විදේශ ආක්‍රමණ ද මැඩීම සඳහා සතුරන් මරා දැමීමට ආණ්ඩුවට සිදු වේ. දෙවනුව නීතිය සහ සාමය පවත්වා ගැනීම වෙනුවෙනි. නීති බිඳින අයට ලබා දිය හැකි උපරිම දඬුවම මරණ දඬුවමයි. නිරතුරුව මිනිසුන් මරණ කෙනෙකු මරා දැමීමෙන් ජනතාවට ආරක්ෂාව සැලසීමට ආණ්ඩු කටයුතු කරයි. එහිදී ඝාතකයාගේ අවසානයෙන් ජනතාවට සහනයක් සැලසෙනවා පමණක් නොව ඝාතනයන්ට පෙළෙඹෙන අයට එහි ප්‍රතිඵල පිළිබඳ අනතුරු ඇඟවීමක් ද සිදු වේ.

සෑම දෙනාම ඉහත ගාථාව අනුව කටයුතු කරයි නම් මරණ දඬුවම අවශ්‍ය නොවේ. නමුත් පිරිසක් දැහැමිව දිවි ගෙවන විට අදැහැමිව දිවි ගෙවන අයගෙන් දැහැමි අය රැක ගැනීමට ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

මරණ දඬුවම කෙතරම් කුරිරු වුවත් අපරාධකරුගේ අයිතින් රැක ගැනීමට ගොස් බහුතර ජනතාවගේ අයිතින් අහිමි කිරීම ද අපරාධයකි.‍ එබැවින් කොන්දේසි හතරකට යටත්ව මරණ දඬුවමට මා ද එකඟය. එකී කොන්දේසි හතරේ අරමුණ අහිංසකයින් මරණ දඬුවමෙන් බේරා සැබෑ අපරාධකරුවන් කොටු කිරීමයි. පළමු කොන්දේසිය වන්නේ මරණ දඬුවම පැනවිය යුත්තේ සංවිධානාත්මක මිනීමරුවන්ට පමණි.

බොහෝ විට මිනී මරන්නේ ක්ෂණික කෝපය හේතුවෙනි. සැමියා වේලාසන නිවසට පැමිණෙන විට බිරිඳ ආගන්තුකයෙකු සමග තම නිදි යහනේ කම් සැප විඳිනු දකින ඕනෑම අයෙක් කෝපයට පත් වෙයි. සමහරෙක් කෝපය පාලනය කර ගෙන ප්‍රශ්නය විසඳා ගැනීමට මිතුරන්ගේ හෝ පොලීසියේ සහය පතයි. තවත් සමහරෙක් කෝපය සි‍ඳෙන තුරු අතට හසු වන දෙයකින් දෙදනාටම පහර දෙන්නේ මරණ දෙකකට මග පාදමිනි. එවැනි මිනීමැරුම් කරන පුද්ගලයින්ගෙන් සමාජයට හානියක් නොමැත. ඔහුගෙන් අවදානමක් තිබුණ දෙදෙනාම දැන් මිය ගොස්ය. එමෙන්ම මෙවැනි පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමෙන් ද ඵලක් නැත. ක්ෂණික කෝපය මතු වුණු විට මරණ දඬුවම සිහියට නොඑයි. එබැවින් මරණ දඬුවම පැනවීමෙන් මෙවැනි මිනීමැරුම් නැවැත්විය නොහැක.

සමහරවිට බිරිඳගේ අනියම් සම්බන්ධය දැන ගැනීමෙන් පසු එම දෙදනාම මරා දැමීමට සැමියා සැළසුම් කරයි. එමෙන්ම සැමදා බීමතින් පැමිණ පහර දෙන සිය සැමියාට කැති පහරක් එල්ල කර මරා දැමීමට බිරිඳ සැළසුම් කරයි. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ සැලසුම් සහගත මිනීමැරුම්ය. නමුත් සිත පිරුණු වෛරය පවසන්නේ මරණ දඬුවම ලැබුණත් මෙම මිනීමැරීම් සිදු කළ යුතු බවයි. මේවා සැලසුම් සහගත අපරාධ නමුත් මරණයට පත්වුණු අයට මිස පොදුවේ සමාජයට මෙම මිනීමරුවන්ගෙන් හානියක් නොමැත.

සංවිධානාත්මක අපරාධ කරන්නේ පාතාලයයි. මුදල් වෙනුවෙන් මිනීමැරීම ඔවුන්ගේ වෘත්තියයි. බොහෝ විට ව්‍යාපාරික තරගකාරිත්වය, දේශපාලන බල පොරය, පෙම් සබඳතා සහ ඉඩම් ආරවුල් මෙවැනි වෘත්තීය මිනීමරුවන්ට කොන්ත්‍රාත් ලබාදීමට මිනිසුන් පෙළඹේ. මෙවැනි කොන්ත්‍රාත්හි ඇති ඉහළ අවදානම හේතුවෙන් අය කිරීම් සිදු වන්නේ රුපියල් ලක්ෂ ගණනිනි. සමහරෙක් මුදලට අමතරව විදේශ ගත වීමට පහසුකම් ද ඉල්ලා සිටින්නේ නීතියට ඇති බිය හේතුවෙනි. මෙවැනි පුද්ගලයින් මිනී මරන්නේ සැප විඳීමටයි. නමුත් මිනීමැරුම් ලබා දෙන්නේ සැප වෙනුවට මරණ දඬුවම බැව් ඔවුන්ට පෙනී ගියොත් ඔවුන් මිනීමැරීමෙන් වැළකීමට අවකාශය ඇත.

බොහෝ විට මරණ දඬුවම තිබුණ ද තමන්ට අධිකරණයට, පොලීසියට හෝ දේශපාලකයින්ට පවතින සබඳතා හේතුවෙන් නීතියේ රැහැනෙන් මිදීමට හැකි යැයි මිනීමරුවෙකුට පෙනේ නම් මරණ දඬුවම පැවැති පමණින් ඔහු මිනීමැරීමෙන් වැළකීමට නොපෙළඹේ. අද පාතාලයේ සාමාජිකයින් අධිකරණය, දේශපාලකයින් සහ පොලීසිය සමග සමීප සබඳතා ගොඩ නගාගෙන ඇත. එබැවින් කෝපය මත මිනී මරණ අයට මරණ දඬුවම හිමි වුවත් තමන්ව අවම වශයෙන් අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු නොවන බැව් පාතාල සාමාජිකයෝ දනිති. බොහෝවිට දේශපාලකයින් හෝ පොලීස් නිළධාරින් සමග පෞද්ගලික අමනාපකම් ඇති පුද්ගලයෙකු එම මිනීමැරුමට පටලවා තමන්ව සදාකාලිකවම නිදහස් කරන බැව් ඔව්හු දනිති. එවැනි වාතාවරණයක මරණ දඬුවම හඳුන්වා දුන් පමණින් අපරාධ පහත නොවැටේ. එබැවින් දෙවන කොන්දේසිය වන්නේ මරණ දඬුවම සාධාරණව ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමයි.

මරණ දඬුවමට එරෙහිව නගන ප්‍රබල තර්කයක් වන්නේ බොහෝවිට අහිංසකයින් මරණ දඬුවමට ලක්වන බවයි. නමුත් අපරාධ නීතියේ පදනම වී ඇත්තේ “අපරාධකරුවන් සියදෙනෙකු නිදහස්වීමට වඩා එක් අහිංසකයෙකු දඬුවම් ලැබීම වැරදිය” යන මූලධර්මය මතයි. සැකයේ වාසිය විත්තියට ලබා දෙන්නේ ද අපරාධය කිරීමේ චේතනාව තිබුණේදැයි විමසන්නේ ද මෙම මූලධර්මය අනුවයි.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සැකසී ඇත්තේ ද අහිංසකයින් හැකි පමණ බේරා ගැනීමටයි. මුලින්ම මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කෙරෙන විභාගයකින් සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් හෙලි වේ නම් පමණක් මහාධිකරණයේ චෝදනා ගොනු කෙරේ. එහිදී ලැබෙන තීන්දුවට එරෙහිව අභියාචානාධිකරණයට ද එහි තීන්දුවෙන් අතෘප්තිමත් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනා කළ හැක. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අතුරෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමෙන් අවසන් වන්නේ 4%ක් වැනි සුළු ප්‍රමාණයක යැයි පුවත්පත් වාර්තාවක මම දිටිමි.

මේ සියළු ආරක්ෂක විධිවිධාන තිබුණත් සැලසුම් සහගතව දේශපාලකයින්, නීතිපති සහ පොලීසිය එක්ව අහිංසකයින්ට මරණ දඬුවම් ලබා දුන් අවස්ථා මෙන්ම සාක්ෂිකරුවන් විසින් අධිකරණය නොමග යැවීමෙන් අහිංසකයින් පෝරකයට යැවූ අවස්ථා ද ඇත. එවැනි නඩු තීන්දුවලට එරෙහිව බොහෝ විට චුදිතයින් අභියාචනා නොකරන්නේ ඔවුන්ට නීතිඥ ගාස්තු ගෙවීමට වත්කමක් නොමැති හෙයිනි.

ඉහත තත්වය මත මගේ තෙවන කොන්දේසිය වන්නේ මහාධිකරණය විසින් යම් චුදිතයෙකුට මරණ දඬුවම නියම කළොත් තීන්දුව යළි සළකා බැලීමට අනිවාර්රයෙන්ම අභියාචනාධිකරණයට යොමු කළ යුතු බවයි. එහිදී චුදිතයාට නීතිඥ සහය ලබා ගැනීමට වත්කම් නොමැති නම් අපරාධ උසාවි තුල වසර දහයකට නොඅඩු පලපුරුද්දක් ඇති නීතිඥයෙකුගේ සහය නීති ආධාර කොමිසම හරහා නොමිලේ ලබා දිය යුතුය.

මගේ සිව්වන කොන්දේසිය වන්නේ මරණ දඬුවම සංවිධානාත්මක මිනීමැරීමට, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමට සීමා කළ යුතු බවයි. එම කොන‍්දේසි හතරට යටත්ව මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් එයින් සමාජයට යහපතක්ම වන බැව් මගේ අදහසයි.

– උදය ප්‍රභාත් ගම්මන්පිල

7,540 Viewers

7 Comments to “මරණ දඬුවම කාට ද? කුමට ද?”

  1. helaya@gmail.com says:

    very well analyzed and written.

  2. සිංහල කොන්ග්‍රස් says:

    ඔිවා පඹය ජඩපාලනයට තියන ජන විර‌ෝධතා යට ගහන්න උලුප්පන න‌ොක‌ෙරෙනෙ වැඩ.

  3. desta says:

    oke ellanna kudu genna udaw karana amathiyo tikai manthroyo tikai unwa arakasha it’s udi n inna ellanna etakota mage ratata hari yawi

  4. Judas says:

    Sirisena won the game. Everybody talking about the death penalty. This will never happen. Only to mislead the people.

  5. chandimani says:

    I Agree !!!

  6. John Ford says:

    Obathumage thewana kondesiyata mamath ekangaya. Apage kudu neethiye hetiyata nadu damanne kudu thabagana siti ho kudu wikunoo pudgalayataya. Kudu ohuta labadun pudgalayat wiruddawa nadu demeemata beriya. Policiya ey pudgalaya kawdey hoyanneda netha. Enisa kudu thoga mudalali berey. Sillara mudalali hasuwe. Salli athoth ohu berey. Salli naththam maranaya.

    • maraya says:

      යහපාලන සිරිසේනගේ අලුත්ම වීර ක්‍රියාව/ බලව් අසව් මිනිසුනේ
      එල්ලුම් ගස් යැවීමට සිටින ලැයිස්තුවේ මුලිම්ම සිටින මෝදර කුඩු රැජින ලෙස බෞතිස්ම ලබා ඇති වයස 48 ක් වූ ශ්‍යාමලී පෙරේරා ගේ ගෙල ඉදිරි දින වලදී සිරිසේනගේ අත්සනින් සිදණු ලැබුවහොත් ලංකාවේ එල්ලා මරාදැමු පළමු කාන්තාව ඇය බවත් එයට අත්සන් කල දුෂ්ඨ ජනපති ලෙස සිරිසේනත් ඉතිහාසෙට එක් වනු ඇත ..සිරිසේන දැනට තබා ඇති වාර්තා දෙස බලන විට අඩුවට තිබුනේ කාන්තාවන් එල්ලා මැරීම පමණි එයත් දැන් සිදුවෙමින් පවතී ..අපේ රටේම ජාතික සම්පත් විකුණා දමමින් රට අගාදයට ගෙනියන පුද්ගලයෙකුට එල්ලා මැරීම ක්‍රියාත්මක කිරීම සුළු දෙයකි

Main News