මහින්ද-මෛත‍්‍රි සාකච්චාවකට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් කැමති නෑ.. නැවත රැවටෙන්නේ නෑමයි..

June 6, 2017 at 1:20 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රි සාකච්චාවකට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් කැමති නෑ.. නැවත රැවටෙන්නේ නෑමයි..

මෛත්‍රී- මහින්ද මුහුණට මුහුණ ලා සාකච්ඡාවකට මේ රටේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිදු කැමැත්තක් නොදක්වන බවත් පසුගිය මහ මැතිවරණයේ දී මෙන් නැවත වරක් රැවටීමට සූදානම් නොවන්නැයි ඔවුන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එවැනි හමුවක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ වන තෙක් ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් සිදුව නොමැති බව පැවසූ රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නෙන් නැගිට ඒමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ “ගම්පහ සටන” සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ආසනයේ කොට්ඨාස නායකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදු‍රටත් මෙසේද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට කිසිම සූදානමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු විදියට මට ස්ථිරවම කියන්න පුළුවන් මේ වෙන තෙක් ඒකාබද්ධ විපක්ෂයේ අපි අතර ඒ වගේ දෙයක් ගැන කිසිම සාකච්ඡාවක් වෙලා නැහැ කියලා.

මෛත්‍රී මහත්තයා එක්ක සාකච්ඡා කරනවා කිව්වම අපේ රටේ ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කලබල වෙනවා. ඒ අය කැමැති නැහැ ආයෙත් වරක් රැවටෙන්න. 2015 අගෝස්තු මාසේ මහ මැතිවරණය අවස්ථාවේ දී රැවටුණ විදිය ඒ අයට මතකයි. ඒ හින්දා අපේ පාක්ෂිකයෝ අපෙන් ඉල්ලන්නේ ආයෙත් රැවටෙන්න එපා කියලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබෑ ලෙසම ආදරය කරන ජනතාව අද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කයි. තමන්ගේ පක්ෂයේ නායකයා පාවා දීලා එක්සත් ජාතික පක්ෂ සමඟ ජනාධිපති ධූරයට උදුරා ගත් අය ගැන සැබෑ පාක්ෂිකයන්ගේ විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි ඒ අය අපිට රැවටෙන්න එපා කියලා උපදෙස් දෙන්නේ.

අනෙක් පැත්තෙන් ගත්තම මේවා ‍සාකච්ඡා කර කර ඉන්න ඕනේ දේවල් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ පිළිකන්නෙන් නැගිටලා ආවම මේ මතභේදය ඉවරයි. අපේ විරෝධය තියෙන්නේ මෙච්චර වැදගත් පක්ෂයක් එ. ජා. පයේ ඉඳුල් කන තැනට පත් කරලා තියෙන එකටයි. එහෙම ආවොත් අපිට පුළුවන් ආණ්ඩුවක් හදන්න හරි විපක්ෂයේ ඉඳගෙන ඒ වගකීම ඉටු කරන්න හරි සාකච්ඡා කරලා තීරණයක් ගන්න.

මහා ලොකුවට එක එක දේවල් කියමින් ආපු මේ හවුල් ආණ්ඩුවට කිසිම වැඩක් හරියට කරගන්න බව අද ඔප්පු වෙලා ඉවරයි. පසුගිය දා රටම මුහුණ දුන්න ස්වභාවික විපත්වල දී ආණ්ඩුවේ නොහැකියාව ලෝකයටම ඔප්පු වුණා. ආණ්ඩුවක් තියෙන්නේ ගංවතුරක් එනකොට මිනිස්සුන්ට දුවලා පණ බේරගනිව් කියන්න නෙමෙයි.

ගංවතුර, නියඟය වගේ ස්වභාවික විපතක් එන විට ජනතාවට අනතුරු අඟවන්න වගේම ආපදාව අවස්ථාවෙදිත් ඉන් පසුවත් ජනතාව බේරා ගැනීමට, ජන ජීවිතය ගොඩනැඟීමට ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව අද‍ වෙනකම් තමන්ගේ වගකීමවත් හරියට අඳුනාගෙන නැහැ.

එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරමින් ඉන්නවා මිසක් සිදුවීමක වගකීමක් ගන්න ඇමැතිවරයෙක් අද නැහැ. ආපදා ඇමැති රට ඉඳලා එනකොට ගංවතුර බැහැලා ගිහිල්ලත් ඉවරයි. දැන් ඇවිත් මහාප්‍රාණ කතා කිව්වට වැඩක් නැහැ. ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව තමන්ගේ වගකීම හරිහැටි ඉටු කළා නම් මේ වගේ විනාසයක් රටට වෙන්නේ නැහැ.

ගංවතුර කියන්නේ අතින් අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ආණ්ඩුව කල්තියා සූදානම් වුණා නම් මේ විනාසය අවම කරගන්න තිබුණා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලයේ මේවා ගැන සැලැස්මක් තිබුණා. මෝය කටවල් ශුද්ධ කරලා, ගං ඉවුරු, ඇළ මාර්ග ශුද්ධ කරලා ගංවතුරට සූදානමක් තිබුණ නිසා විපත් අඩුවුණා.

ගංවතුර වෙලාවේ දිවි පරදුවට තියලා වතුරට බැහැලා ජීවිත බේරාගත්තු රණවිරුවෝ නැත්නම් මීට වඩා ලොකු විනාශයක් වෙන්න තිබුණා. යුද අපරාධ කළා කියලා කොටි ඩයස්පෝරාවට ඕනෑ විදියට රණවිරුවන් දඩයම් කරන ආණ්ඩුවට රණවිරුවන් නොහිටියා නම් ගංවතුර සුනාමියක් වෙන්නත් ඉඩ තිබුණා.

එදා රණවිරුවන්ට අපහාස කරපු අයම අද ප්‍රශස්ති ගායනා කරනවා. අපරාධකරුවන් වගේ හිරගෙවල්වල කූඩු කරන්න දත කාපු රණවිරුවන්ගෙන්ම මේ වගේ ප්‍රයෝජනයක් ගන්න සිදුවීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. දැන්වත් දේශපාලන දඩයම නතර කරලා රටක්ම මර බියෙන් මුදාගත් රණවිරුවන්ට ගෞරවණීයව ජීවත් වෙන්න ආණ්ඩුව ඉඩ දෙන්න ඕනේ.

මිනිස්සු වෙනුවෙන් වතුරට බැහැපු රණවිරුවන් ටිකයි, ජනතාවට අවශ්‍ය සහන සලසා දුන් මාධ්‍ය ආයතන සහ අපේ රටේ දුප්පත් අම්මලා තාත්තලා ටිකයි නැත්නම් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ අමුඩ කෙටියත් ගංවතුරේ ගහගෙන යනවා බලාගෙන අත් දෙකෙන් සෙලුව වහගෙන ඉන්නයි.

හරිනම් ආණ්ඩුව මේ රටේ ජනතාවට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ අමුඩ කෙටියවත් බේරා දුන්න එකට. අපි නම් දැනගත්තා එළ හරකයි මී හරකයි එකට බැන්දම වෙන දේ. එළ හරකා ගොඩට අදින කොට මී හරකා මඩට අදිනවා. මේ ආණ්ඩුවත් ඒ වගෙයි. යූ. ඇන්. පී එල හරකයි බාගෙට ශ්‍රී ලංකා මීහරකයි තමයි මේ එකට බැඳලා තියෙන්නේ.

අද රටේ තියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ආණ්ඩුවක්. ජාත්‍යන්තරේ දිනුවා කියලා මහ ලොකුවට පාරම් බාමින් දෙන්නා දෙමාරුවට සතියට එක ගාණේ රට සවාරි ගියාට වැඩක් නැහැ. ජනතාවගේ ප්‍රශ්නවලින් පැනලා යන්න තමයි ජාත්‍යන්තරේ දිනුව මන්තරේ මතුරන්නේ. ජනතාව දැන් ඕවට රැවටෙන්නේ නැහැ.

– ප්රදීප් අනුර කුමාර

11,785 Viewers

5 Comments to “මහින්ද-මෛත‍්‍රි සාකච්චාවකට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් කැමති නෑ.. නැවත රැවටෙන්නේ නෑමයි..”

  1. sakalasuriya says:

    ane kohamahari rewatiyankooo

  2. asaranaya says:

    නියමෙට නියමයි, ප්‍රසන්න මහතාණෙනි ජයවේවා,
    ආයෙත්ම මයිතුනයට රැවටෙන්න?මගෙ සුනකයවත් නැහැ

  3. Sathya says:

    Well said. But continuously be straight and strong. Good luck!!!!!!!

  4. නිළමේ says:

    පින් සිද්ද වෙයි! ඔය කුහක හැත්ත එක්ක එක්වෙන්න එපා, පැරදුනත් හිතට හොදයි.

  5. Ranjan says:

    මහින්ද මහත්තයා……. මෝය කටවල් ශුද්ධ කරලා…….ගං ඉවුරු, ඇළ මාර්ග ශුද්ධ කරල……..

Main News