මහ ලේකම් විශ්වාස භංගය පාවා දුන්නා.. එජාපය කෝටි ගණන් හොර සල්ලි බෙදුවා.. තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- SB

April 23, 2018 at 1:20 pm | lanka C news
මහ ලේකම් විශ්වාස භංගය පාවා දුන්නා.. එජාපය කෝටි ගණන් හොර සල්ලි බෙදුවා.. තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- SB

එක්සත් ජාතික පක්ෂයට මහජන හිතවාදීව ආණ්ඩු කිරීමේ හැකියාව නොමැති නම් බහුතර බලය සහිත ආණ්ඩුවක් නුදුරේදී බිහි කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

එස්. බී. දිසානායක මහතා මේ බව කියා සිටියේ පසුගියදා හේවාහැට කිවුල්ලිඳ පිහිටි සිය නිවසේ පැවති හමුවකදීය.

ආණ්ඩුවේ අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ ඒ මහතා සිය ඉවත්වීම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ තම පාක්ෂිකයන් දැනුවත් කිරීම නිමිත්තෙන් මෙම හමුව සංවිධාන කොට තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට මහජන නියෝජිතයන් 113කගේ බලයක් නොමැති බවත් අවම වශයෙන් ඔවුන්ට 106ක නියෝජනයක්වත් නොමැති බවයි. එසේම රටේ සංවර්ධනය එක තැන නතර වී ඇති බැවින් ආණ්ඩු කරන ආකාරය දෙස තවදුරටත් බලා සිටිය නොහැකි බව කී ඒ මහතා ජනතාවට සේවයක් හා රටට සංවර්ධනයක් උදා කර දිය හැකි ආණ්ඩුවක් බහුතර බලයක් සහිතව පත් කළ හැකි ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්. බී.දිසානායක මහතා,

“සංවර්ධනය අඩපණ වූ තත්ත්වයකට පත් කරන්න අපට අයිතියක් නැහැ. ඒ නිසා නැවතත් කාර්යක්ෂම, වේගවත්,දේශප්‍රේමී සංවර්ධන රජයක් බිහි කළ යුතුයි. අප අමාත්‍ය ධුරවලින් ඉවත්වීම හදිසියේ ගත් හිතුවක්කාරී තීන්දුවක් නොවෙයි. අතීතයේදී අප හිතුවක්කාරී තීන්දු ගත් අවස්ථා තිබුණත් අද එලෙස කලබලයට පත්ව තීන්දු තීරණ ගන්නේ නැහැ. එමෙන්ම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන ලෙස තීන්දු තීරණ ගන්නේත් නැහැ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට මුලින්ම සූදානම් වුණේ අප නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මූලාරම්භයේ සිටින එහි පාක්ෂිකයන් තමයි පක්ෂය රැකගැනීමට නම් විශ්වාසභංගයක් හෝ ගෙනැවිත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ යුතු යැයි සැලසුම් කර තිබුණේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් තුන්දෙනෙක් පමණ නොව පනස් දෙනෙකු පමණ අවස්ථා ගණනාවකදී කියා සිටියා, රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට. එම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවී මෙම කාරණය කිව්වා. ඒ අනුව ජනාධිපතිවරයා පුද්ගලිකව ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා අගමැතිවරයා කැඳවා මේ කරුණ ප්‍රකාශ කළා. ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට කිව්වා. නමුත් සිදු වුණේ නැහැ.

විශ්වාසභංග සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කළා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට. නමුත් සිදු වුණේ නැහැ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඉතා තාර්කික කරුණුවලින් යුතු ඉතා නිවැරැදි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයේදී අග්‍රමාත්‍යවරයා පරාද කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද අප සමග සූදානම්ව සිටියා. නමුත් අපේම පක්ෂයේ මහ ලේකම්වරයා තවත් පිරිසක් සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කර ගත්තා.

විශ්වාසභංගයෙන් බේරීම සඳහා විශාල වශයෙන් මුදල් දුන්නා. ඒ මුදල් සොරකම් කරන ලද සහ සම්පත් විකුණා නීති විරෝධී ලෙස රැස් කර ගන්නා ලද මුදල්. එහෙම කරලා තමයි විශ්වාසභංගය අනිත් පැත්තට පෙරලුවේ. ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවලට විදෙස් රටවලින් බලපෑම් ආවා. විශ්වාසභංගයෙන් අග්‍රමාත්‍යවරයා ඉතා පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබියදී එය කඩාකප්පල් කළේ අපේම පක්ෂයේ කිහිපදෙනෙක්. ඒ නිසයි අප ඉල්ලා අස්වීමට තීරණය කළේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා කිව්වාට අග්‍රමාත්‍යවරයා කවදාවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ. ඔහු පක්ෂයේ නායකයායි. ඔහුගේ හිතවතා වන අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් බවට පත් කරනවා. වත්මන් නියෝජ්‍ය නායකත්වය තුට්ටු දෙකට පත්කර නියෝජ්‍ය නායකයන් පස් දෙනෙකු පමණ පක්ෂයට පත් කරනවා. මෙයින් සිදුවෙන්නේ නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ විරෝධයක් මතුව පක්ෂය තුළ අර්බුද මතුවීමයි.”

– නදීක දයා බණ්ඩාර

32,654 Viewers

6 Comments to “මහ ලේකම් විශ්වාස භංගය පාවා දුන්නා.. එජාපය කෝටි ගණන් හොර සල්ලි බෙදුවා.. තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- SB”

  1. sam says:

    අසව්, අසව්. අතිවිශාල චන්ද ප්‍රමාණයකින් තම ආසනය ජයගත් මන්ත්‍රිතුමෙක් රට ගොඩනැගීම ගැන කතා කරයි

  2. David Milli-banda says:

    Halo…. do not disturb…… ellenna aththak hoyanawa.

  3. Upali says:

    කොහොමත් මහ ලේකම්ලා පාවා දීම ට දක්ශ බව ඔප්පු වෙලා ඉවරයි, ඉතිහාසේ ඔබේ නමත් එක්ක.

  4. Open mind says:

    මහ විශාල සල්ලියක් බෙදුවා නම් මම එතැන..චිහ්: ආරංචිය ආවේ පහුවෙලා…..

  5. Dasa Nayaka says:

    I cant understand why all the other parties need to restructure UNP.
    All other parties have problems including Podujana Peramuna and SLFP.
    They should work for their own Parties.

  6. ජනතාව says:

    SBලගේ මේ තකතීරු , අමන දේශපාලන ක්‍රියා නිසා වෙන්නේ මේ පීඩනයත් එක්ක UNP එක පූර්ණ ප්‍රතිසංවිදනයකට යනඑක . අවසානයේ රනිල් ඉවත්වී , සජිත් හම්බන්තොටට තල්ලුවී නවීන් නායකයා වෙන එක. එතකොට UNP එක මැතිවරණයකට එන්නේ අලුත් ජවයකින්. එතකොට මේ දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් .

Main News