මැයි දිනයේ දෙනවා කියු සහන පෝලිම එයි.. සහල්-පොල්වලට ‘අපමණ අගයක්’ දී නතර නොවෙයි.. බෙල්ලත් මිරිකයි..

May 11, 2018 at 12:40 pm | lanka C news
මැයි දිනයේ දෙනවා කියු සහන පෝලිම එයි.. සහල්-පොල්වලට ‘අපමණ අගයක්’ දී නතර නොවෙයි.. බෙල්ලත් මිරිකයි..

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුව හතරගාතෙන් ඇද වැටී සිටි මෙරට ජනතාවගේ ගෙල ද තදින් මිරිකා තිබේ’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැගෙනහිර වෙරළේ සිට ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට ද තම තමන්ගේ මැයි රැලි අමතමින් දෙනවා කියූ “ජනතා සහන” දැන් සිටම ලැබෙමින් පවතී. ඒ අනුව යමින් දෙදෙනා එක්ව ‘මිල සූත්තරයක්’ පෙන්වමින් ජනතාවට ‘අපූරු ඉන්ධන සහනයක්’ ලබා දී තිබේ. ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 20කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 57කින් ද ඉහළ දමා තිබේ.

දින 100ක ආණ්ඩුවකින් ඇරඹි යහපාලනය, මුලින්ම කළේ හාල් මැස්සන්, කොත්තමල්ලි ආදී තමන් සොයාගත් අමුතුම පන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම ය. එසේ වෙද්දී මේ යහපාලනයට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන සහල් සහ පොල් මිල අහස උසට ඉහළ නැග්ගේය. දුප්පතාගේ ආහාරය වූ පොල් සම්බෝලය හා බත් අද දිව්‍ය භෝජනයක් වී තිබේ. එසේ සහල් හා පොල්වලට ‘අපමණ අගයක්’ දුන් යහපාලනය එතැනින් නතර වූයේ නැත. පසුගියදා ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දමමින් ජනතාවට හොද හැටි ගෑස් පෙන්වූයේය. ඒ අනුහසින් හෙට දිනයේ ‘ප්ලේන්ටියේ, ආප්පයේ’ පමණක් නොව දුප්පත් වැඩකරන ජනතාවගේ කුසගිනි නිවූ අඩු මිල බත් පැකට්ටුවේ මිල ද රුපියල් 10කින් පමණ ඉහළ යනු ඇත.

දැන් මේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල තවත් වටයකින් ඉහළ යාම වැළැක්විය නොහැක. පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට අධික බදු බරක් පැන වූ මේ ආණ්ඩුව විසින් ජනතාව හතරගාතෙන් ඇද වට්ටවා තිබේ. එසේ තිබියදී ඉන්ධන මිල ඉහළ දැමීම ඔවුන්ගේ ගෙල ද තදින් සිරකර දැමීමකට සමාන ය.

පළාත් සභා ඡන්ද කල් දමමින්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණය අහෝසි කිරීමට කැස කවන මේ තක්කඩි ආණ්ඩුව මෙවැනි ජනතාද්‍රෝහී ක්‍රියාමාර්ගවලට ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දීමේ අයිතිය ද ජනතාව වෙතින් උඳුරා ගනිමින් තිබේ. මේ සියලු තත්වයන් පැරදවිය හැක්කේ, ජනතාව සියලු වාද භේද දුරලා තම අයිතීන් මෙන්ම රට ද රැක ගැනීම පිණිස ඒකරාශී වීම තුළ පමණි.

මොහොමඞ් මුසම්මිල්
ප්‍රචාරක ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

8,665 Viewers

2 Comments to “මැයි දිනයේ දෙනවා කියු සහන පෝලිම එයි.. සහල්-පොල්වලට ‘අපමණ අගයක්’ දී නතර නොවෙයි.. බෙල්ලත් මිරිකයි..”

  1. Saradiel says:

    20වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු 2015 සිට රග දක්වන යහපාලන නාට්‍යයේ අවසන් ජවනිකාව ලෙස හැදින්වීම වරදක් නොවේ. මේ නාට්‍යයේ පිටපත ලියන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව විසින් බව මේ වන විට ඉතා හොදින් ඔප්පු වී ඇත.

  2. Rajasinha says:

    Thaama Mahinda kaaleta wada 2014 ta wada petrol adui. 2014 eka litre petrol 157 Ada 137. Thawath rupiyal 20 adui.

Main News