මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනයට චීනයේ අතහිත..

January 10, 2017 at 2:05 am | lanka C news | ලංකා සී නිවුස්
මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනයට චීනයේ අතහිත..

මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍ය චෙන් ෆෙන්සුයි මහතා ( chen fengxue ) ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙරට ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීමේ අරමුණෙන් මෙරටට පැමිණි මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා ඇතුළු චීන නියෝජිත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගන්නා ලද්දේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය විසිණි.

ගුවන් තොටුපොළේ අමුත්තන්ගේ ආලින්දයේදී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය සමග කෙටි පිළිසඳරක යෙදුණු මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනය කිරීම සඳහා සහාය  ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනය කිරීමට චීන රජයේ සහයෝගය හිමිවීමෙන්   ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බව සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනාවකට අනුව පැමිණෙන මෙම චීන නියෝජිත පිරිස රිදියගම සෆාරි උද්‍යානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද සහභාගී වේ.

ඊට අමතරව උඩවලව ජාතික උද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිරීක්ෂණය කිරීමටද මෙම චීන නියෝජිත පිරිස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සමග සහභාගීවීමට නියමිතයි.

– ප්‍රසාද් මංජු

1,547 Viewers
Main News