මෛත්‍රී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යනු නැවතත් එජාපයට රටේ බලය පවරා දීමක්…

January 12, 2017 at 2:10 pm | lanka C news
මෛත්‍රී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යනු නැවතත් එජාපයට රටේ බලය පවරා දීමක්…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයනු නැවත වරක් රටේ පාලනය එක්සත් ජාතික පක්ෂයට පවරා දීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

2015 ජනාධිපතිවරණයේදිත් සිදු වූයේ මෙයම බව පැවසූ රණතුංග මහතා බිම් මට්ටමේ පාක්ෂිකයන් තවමත් දිනාගත නොහැකි සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ප්‍රබල සටනක් දීමේ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි වන බවත් පැවසීය.

තව වසර තුනකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීන්දු තීරණ ගැනීමට තවමත් කල්වැඩි බව පැවසූ රණතුංග මහතා අපේක්ෂකයා කවුද යන්න මතු විය යුත්තේ ජනතාව අතරින්ම බවත් අවධාරණය කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ජනවාරි 27 වැනි දා නුගේගොඩ දී පැවැත්වෙන පෙරළියක ඇරැඹුම ජනරැලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැති ජනහමුවක් අමතමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ එළඹිලා තියෙන්නේ තීරණාත්මක වර්ෂයක්. රට බෙදන, රටේ සම්පත් විකුණන, මහ දවාලේ බැංකු මංකොල්ල කන මේ විනාශකාරී ආණ්ඩුව ගෙදර යවන අවුරුද්ද තමයි මේ උදා වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුද්ද ආරම්භ කරන විටම කිව්වා මේ වර්ෂය තුළ ආණ්ඩුව පෙරළනවා කියලා. මහින්ද රාජපක්ෂ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක ශාපය නිමා කරන්න පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස් දම්වැල් වැනි විරෝධතාවලට නායකත්වය දුන් නිර්භීත නායකයෙක්.

මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ශක්තිය තිබෙන එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනතාවට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මෙම ආණ්ඩුව ගෙදර යැ‍වීමේ සටන ජනවාරි මස 27 වැනි දා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී ආරම්භ වෙනවා. 2015 පෙබරවාරි මාසයේ අපි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහින්ද සුළඟ ජනහමු මාලාව නුගේගොඩින් ආරම්භ කරලා රට වටා අරන් ගියා. ඒ රැළිය ඉතිහාසගත වුණේ වැඩිම ජනතාවක් නුගේගොඩට එකතු කරපු රැළිය ලෙසයි. අපි මෙවර එම වාර්තාව බිඳින ඵෙතිහාසික ජන ගංගාවක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

අපි මේ ආණ්ඩුව පෙරළනවා විතරක් නොවෙයි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. නොයෙක් දෙනා අහනවා කොහොමද මේ ආණ්ඩුව පෙරළන්නේ කියලා. අපි ඒක වෙලාවට කරලා පෙන්වන්නම්. හැබැයි මහින්ද මහත්තයා කියනවා වගේම පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් අනින්න අපි සූදානම් නැහැ. ජනතාවත් එක්ක පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළින් මේ ආණ්ඩුව පෙරළන්න අපි කටයුතු කරනවා.

2020 ජනාධිපතිවරණයේදිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පක්ෂය තින්දු කරලා තියෙනවා. 2015 ජනාධිපතිවරණයේ දි සිරිසේන ජනාධිපතිවරයා ජනතාවට කිව්වේ ජනාධිපති ධුරයේ එකවරකට වඩා ඉන්න බලාපොරොත්තුවක් නැහැ කියලයි. දිවුරුම් දුන්න දවසෙත් නැවත වතාවක් එතුමා ඒක තහවුරු කළා. දැන් තියෙන ප්‍රශ්නය තමයි එහෙම කියපු එතුමා දැන් නැවත වරක් ජනාධිපතිවරණයකට එන්නේ ඇයි කියන එක.

පක්ෂය කියන්නේ බෝඩ් ලෑල්ලක් නෙමෙයි. පක්ෂය කියන්නේ ජනතාව. ඒ ජනතාව අතරින් තමයි ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක මතු වෙන්න ඕනේ. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මතු වුණේ ඒ ආකාරයට. එතුමාට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන තැනක තියෙන විට ජනතාව අතරින් විශාල හඬක් මතු වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට. ඒ හඬට කන්දෙන්න පක්ෂ නායකත්වයට සිදුවුණා.

නමුත් දැන් වෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක්. ජනාධිපතිවරණයට තවත් වසර තුනක් පමණ තිබෙනවා. වසර තුනක් වැනි කාලයක් ඉදිරියට තිබියදී ජනාධිපති අපේක්ෂකයකු නම් කළ යුතු නැහැ. ඒක ජනතාව බලාපොරොත්තුවෙන් සිටින දෙයක් නොවෙයි. රට අද මුහුණ පා තිබෙන තත්ත්වය සමඟ බලන විට ඉදිරි වසර තුනේ රට නතර වන තැනත් සමඟයි ජනතාවට අපේක්ෂකයකු පිළිබඳ තීරණයක් ගත හැකි වන්නේ. 2020 දී රට මුහුණ දෙන අභියෝග ජයගත හැකි නායකයකු තමයි ජනතාවට අවශ්‍ය.

ගමේ පාක්ෂිකයෝ 2020 දී බලාපොරොත්තු වෙන නායකයා වෙනුවට වෙනත් කෙනෙක් දැන් ඉඳන්ම තෝරාගෙන ඉන්නේ යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ බලය අරන් දීමේ කුමන්ත්‍රණයේ එක පියවරක් විදියටයි. 2015 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල ජනාධිපතිවරයකු හිටියා. ප්‍රබල ආණ්ඩුවක් තිබුණා. පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා සියල්ලෙහි බලය තිබුණා. ඒ සියල්ල විනාශ කරලා වැලේ වැල් නැතිව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරලා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් අරන් දීමේ කුමන්ත්‍රණය තමයි 2015 ජනාධිපතිවරණයේ දී ක්‍රියාත්මක වුණේ.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද?මන්ත්‍රීවරුන් 151ක් හිටපු ආණ්ඩුව නැති කරගෙන එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලගින්න වෙලා. අපට බලය තිබ්බ පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැරලා එක්සත් ජාතික පක්ෂයට හිතවත් කොමසාරිස්වරුන් යටතට පත් කරලා. පළාත් සභා කිසිවක අපට තනි බලයක් නැහැ.ජනාධිපතිවරයකු හිටියට මේ රටේ දැන් තීන්දු ගන්නේ අගමැති. අන්තිමට බලද්දි පක්ෂයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කිසිම බලයක් නැති ජනාධිපතිකමක් පමණයි.

බිම් මට්ටමේ ජනතා ප්‍රසාදයක් නැති කෙනෙකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පහසු නැහැ. සිරිසේන ජනාධිපතිවරයාට පමණයි සුළු ජාතික ඡන්ද ලබාගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කියනවා මම දැක්කා. 2015 දී සුළු ජාතික ඡන්ද තීරණාත්මක වුණාට 2020 දී ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය සුළු ජාතික ඡන්දවලින් බලයට පත් වෙලා සුළු ජාතිකයන්ට සලකන ජනාධිපතිවරයකු නොවෙයි. අපට ඕනෑ සමස්ථ රටේ ජනතා ප්‍රසාදය දිනා ගන්න පුළුවන් නායකයෙක්.

අද සමහරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චෝදනා කරනවා සුළු ජාතික ඡන්ද නැති කර ගත්තා කියලා. අද එහෙම චෝදනා කරන අයම තමයි රාජපක්ෂ මහත්තයාගෙන් දෙමළ, මුස්ලිම් ජනතාව ඈත් කළේ. විවිධ සංවිධානවලට උඩගෙඩි දීලා ජනතාව රාජපක්ෂ මහත්තයාට වෛර කරන තැනට ගෙනාපු අය පස්සේ  මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එකතු වුණා. අන්න එතකොට අපට තේරෙනවා ඒ අය මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ ඉඳගෙන කළේ සුළු ජාතිකයන් තරහා කරවීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු එකයි කියලා.

දැන් රාජපක්ෂ මහතා ළඟ ඒ වගේ තුට්ටු දෙකේ කුමන්ත්‍රණකා‍රයෝ නැහැ. ඒ සියලුදෙනා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟයි. අපි මේ කුමන්ත්‍රණකාරයෝ ගැන සිරිසේන ජනාධිපතිවරයාට අනතුරු අඟවන්න කැමැතියි මොවුන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා. මහින්ද රාජපක්ෂට කරපු ‍දේ මෛත්‍රීපාල සිරිසේනට කරන්න මේ අය පැකිලෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අරමුණ ජනාධිපති ධූරය මිසක් රටටවත් ජනතාවටවත් ‍යහපතක් කිරීම නොවෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

8,890 Viewers

2 Comments to “මෛත්‍රී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යනු නැවතත් එජාපයට රටේ බලය පවරා දීමක්…”

  1. Champa says:

    ජනාධිපතිතුමා දැන් උග්‍ර එජාප විරෝධියෙක් කියලා බස්නාහිර මහා ඇමති කියනවනේ. (නම මතක නැහැ).

    • අනාථයා says:

      ඒ ගොබිලගෙ නම නම් ඉසුරු දේවප්‍රිය.බිම් අඟලකවත් ඡන්ද පදනමක් නැති නිකම්ම නිකම් පංචස්කන්ධයක්.ඒක නම් ඒ මිනිහගෙ මෝඩකම කියමුකො.චම්පත් වරින් වර සිරිසේනට සුදු හුණු ගෑවනෙ??

Main News