මොන්සැන්ටෝ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවතට..

August 10, 2018 at 4:40 pm | lanka C news
මොන්සැන්ටෝ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවතට..

වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකඟ ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග‍්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3 ක් ඉක්ම යාමට ප‍්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ. මෙම තහනම ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36 ක කාලයකට ග්්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලි සමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය. යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ජනතාව සම`ග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්‍ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක‍්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා (croplife Srilanka ) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේ වත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූර් සමාගමේ (Zegro Singapore (pvt)ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින ප‍්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදු කරයි.

ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම

වත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංච විධ ක‍්‍රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ස`දහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයට හානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි. එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.

කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තියට අනුව බලපත‍්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක‍්‍රීය ග්ලයිෆොසෙට් රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත‍්‍ර අවලංගු කරන ලදී. ඊට ප‍්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වන වගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත‍්‍ර අහෝසි කිරීමට ප‍්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර් වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලූ ගැසට් නිවේදනවල ප‍්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත‍්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදින ම ප‍්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත‍්‍රික්ක හතරක හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දී ද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථමයෙන් කිසි`දු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබ`ද ව තැකීමට අමතක වී ඇත.

මෙම ගැසට් නිවේදන වල ස`දහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශක අඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය. මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජ ගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවත ලබා ගන්නා ලදී.

1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග‍්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප‍්‍රසාද හා වරදාන වලට ඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ ද නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන් ජනතාවට සිදුවන කිසි`දු අහිතකර ප‍්‍රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.

නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරා ඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හා අමාත්‍යවරුන් සිතන්්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසා ඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසි`දු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක‍්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. අචාරධර්ම හෝ ජනතා සම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.

සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඞී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කර ප‍්‍රතිිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා ම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක‍්‍ර මෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වන හානිය පිළිබඳ ව අපක්‍ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත නොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානි කර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් ස`දහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබ`ද ව සමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේ මොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.

ග්ලයිෆොසෙට්වල අයිතිය

දෙවන පරම්පරාවේ වල්නාශකයක් වන ගල්යිෆොසෙට් පළල් පත‍්‍ර ශාක හා තෘණ කුලයේ ශාක යන සියලූ වල්පැළෑටි නසන වල්නාශකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මේ මඟින් ශාකයේ ප්‍රෝටීන නිෂ්පාදනය අඩාල කර වල් පැලෑටි මරා දැමීම සිදු කරයි. මෙම සංයෝගය පළමු වරට සංස්ලේෂණය කරනු ලැබුවේ 1950 වසරේ දී ස්විස් ජාතික රසායනික විද්‍යාඥයකු වන හෙන්රි මාර්ටින් (Henry Martin) විසිනි. නමුත් මේ පිළිබඳ ප‍්‍රකාශයට පත් නොවුන ද 1970 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයකු වන ජොන් ඊ. ෆ්රාන්ස් (John E.Franz)විසින් නැවත මෙම සංයෝගය සංස්ලේෂණය කරන ලදී. මෙම සංයෝගය වල්නාශකයක් ලෙස භාවිතයට ගත හැකි බව ද සොයාගන්නා ලදී. ඒ සඳහා පේටන්්ට් අයිතිය ද මෙම සමාගම හිමි කර ගත් අතර 1974 වසරේ දී රවුන්ඞ්අප් (Roundup) වෙළෙඳ නාමයෙන් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළට යොමු කෙරින. 2000 වසරේ දී මෙම ග්ලයිෆොසෙට් සංයෝගය සංස්ලේෂණය හා වල්නාශකයක් ලෙස භාවිත කිරීමේ හැකියාවට ලබා ගත් වාණිජ පේටන්්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීම සිදු විය. ලෝකයේ 5 වන විශාලතම කෘෂි රසායනික නිෂ්පාදනය පමණක් නොව ලෝකයේ විශාලතම කෘෂි බීජ නිෂ්පාදන අයිතිය ද හිමි මොන්සැන්ටෝ සමාගම විසින් අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක නිෂ්පාදනයේ දී විවිධ බාහිර සංඝටක එක් කර එහි ප‍්‍රබලතාවය වැඩි කරමින් සිටී. ඊට හේතුව ඔවුන්ට මේ වල්නාශකය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය මඟින් හිමි ව තිබූ ඒකාධිකාරය 2000 වසරේ දී පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීමත් සමගම අහිමි වීම ය. වෙළෙඳපොළ ඉල්ලූම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හා අනෙක් සමාගම් සමඟ තරග කරමින් ඔවුන්ගේ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශකවල ඉල්ලූම පවත්වාගෙන යාම සඳහා විවිධ අමතර ආධාරක සංයෝග හා බැර ලෝහ වර්ග එක් කරමින් වල්නාශකවල ප‍්‍රබලතාව වැඩි කරමින් සිටී. මේ නිසා අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතා කිරීමේ දී පසට, ජලයට එක් වන රසායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය අධික වෙමින් පවතී.

ග්ලයිෆොසෙට්වල ක‍්‍රියාකාරීත්වය

ග්ලයිෆොසෙට් රසායනය නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන (5-enolphyruvylshikimate-3-phosphote-EPSP) එන්සයිමය නිෂ්පාදනය නිශේධනය කිරීමට ය. මෙම ෑඡුීඡු එන්සයිමය තයිරොසීන්, ටි‍්‍රප්ටොපෑන් හා පීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. ෑඡුීඡු එන්සයිමය පිළිබඳ ව තවදුරටත් සලකා බැලූවහොත් එය ශාක හොමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලය හා ලිග්නීන් නිපදවීමට ද අවශ්‍ය වේ. ග්ලයිපොසෙට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට පමණක් වන අතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදු වන හානිය අවම ය. මෙහි දී සංස්ථානික වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් ශාක පත‍්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරා ම පරිවහනය වී මුල් දක්වා ද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ‍්‍රයෙන් විභාජනය වන පටකවල, නොමේරු ශාක පත‍්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිපොසෙට් තැන්පත් වෙයි.

ග්ලයිෆොසෙට් අංශු පොළොවට වැටුනහොත් ඒවා ඉතා ඉක්මනින් පස් අංශු අතර ට බැඳෙයි. ඉන් පසු පස් අංශු අක‍්‍රිය අංශු බවට පත් වන අතර ඉතා ඉහළ කාබනික ද්‍රව්‍ය පවතින පසක ඉතා හොඳින් ග්ලයිෆොසෙට් අවශෝෂණය වෙයි. එසේ ම ගල්යිෆොසෙට් පස තුළ සාපේක්‍ෂව සංක‍්‍රමණය වන්නේ අල්ප වශයෙනි. එනම් පස මතට පතිත වු ග්ලයිෆොසෙට් එම ස්ථානයේ ම වියෝජනය නොවී පැවතීමට හැකියාවක් ඇත. එසේ ම ග්ලයිෆොසෙට් සහ පසෙහි අකාබනික පොස්පේට් අයන පාංශු උපස්තර සඳහා තරග වදින අතර පසේ පවතින අකාබනික පොස්පේට් අයන ප‍්‍රමාණය කොපමණ මට්ටමකින් ග්ලයිෆොසෙට් පාංශු උපස්තරවලට බැඳගනු ඇති ද යන්න තීරණය කරනු ලබයි. මෙමගින් සිදුවන්නේ අකාබනික පොස්පේට් අයන අඩු මට්ටමක් පවතින විටක දී ග්ලයිෆොසෙට් යෙ¥ විට තවදුරටත් පොස්පරස් පෝෂකය ඌණ පසක් බවට පත් වීම යි. නමුත් ග්ලයිෆොසෙට් පස මත ක‍්‍රියාකාරී ව පවතින කාලයට වඩා වැඩි කාලයක් මතුපිට ජල ප‍්‍රභව මත පවතින අතර මේ නිසා ජලජ ක්‍ෂුද්‍ර ජීවීන්ට, මත්ස්‍යයින්ට, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන්, මිරිදිය බෙල්ලන් හා ජලජ අපෘෂ්ඨවංශීන්ට බලපෑම් එල්ල වේ.

ඇමෙරිකා එක්සත්් ජනපදයේ ගල්යිෆොසෙට් භාවිතය හේ්තුවෙන් මිරිදිය කකුළුවන්ට සිදු වන හානි පිළිබඳ ව අධ්‍යයන කර තිබේ. මෙම රසායනිකයට නිරාවරණ වූ කකුළු පැටවුන් මිය යාම හා රූපාන්තරණයට ගත වන කාලය අඩු වන බව සොයගෙන ඇත. ගෙම්බන්ගේ වර්ධනයේ මුලික අදියර යාමනය කරනු ලබන හෝමෝන යාන්ත‍්‍රණය වෙනස් කිරීම සහ උපතින් විකෘති සහිත සතුන් බිහි වීමටත්, ඉස්ගෙඩියන්ගේ කරමලෙහි රූපකායේ වෙනස්කම් ඇති කිරීමටත් රූපාන්තරණයේ වෙනස්කම් සිදු කිරීමටත් ග්ලයිෆොසෙට් රසායනිකය බලපාන බව සොයාගෙන ඇත. මිරිදිය මත්ස්‍ය විශේෂවල අක්මාවට හානි සිදු කිරීම ග්ලයිෆොසෙට් රසායනික මගින් සිදු වෙන බව සොයාගෙන ඇති අතර එම සතුන්ගේ විෂහරණ පටක නැවත ගොඩනැගීමේ හැකියාව ද මෙම රසායනික හේතුවෙන් අවම කරන බව සොයා ගෙන තිබේ. මෙම රසායනිකයට ගොදුරු වන මත්ස්‍යයින්ගේ ඇසිටයිල්කෝලීන් නම් එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම හේතුවෙන් ප‍්‍රජනන චර්යාවලට බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වන ගොළුබෙල්ලන්ගේ විකෘතිතාවන් ඇති වන බව ද පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

මීට අමතර ව ජලජ පරිසරවල ග්ලයිෆොසෙට් බහුල ව සාන්ද්‍රගත වීම හේතුවෙන් ජලජ ශාකවල පැවැත්මට ඉතා හානි කර බලපෑම් ඇති වන බව සොයා ගෙන ඇති අතර බොහෝ ජලජ ශාක විශේෂ ව`දවීමට මෙන් ම එම ජලජ ශාක ආශ‍්‍රිත ව බෝ වීම සිදු වන ජීවි විශේෂවල පැවැත්මට මේ නිසා බලපෑම් එල්ල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ග්ලයිෆොසෙට් රසායනය මගින් පස තුළ ජීවත් වන නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවල පැවැත්මට ඉතා අහිතකර බලපෑම් සිදු කරන අතර සමස්තයක් ලෙස පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ට ග්ලයිෆොසෙට් අහිතකර ය. පස තුළ ජීවත්වන විවිධාකාර වු ක්‍ෂුද්‍රජීවී ප‍්‍රජාවන් විනාශ වී යාම නිසා පසේ පෝෂක සමතුළිතතාව බිඳ වැටී නිසරු, ව`ද පසක් බවට ග්ලයිෆොසෙට් භාවිතා කළ බෝග සහිත පස පරිවර්තනය වෙයි.

ග්්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශක සෑම වර්ගයක ම ඒක වාර්ෂික හා බහුවාර්ෂික, පළල් පත‍්‍ර තෘණ හා පන් වර්ග විනාශ කරනු ලබයි. නමුත් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශකවලට එරෙහිව ප‍්‍රතිරෝධීතාවක් ගොඩන`ගාගත් වල්පැළෑටි බිහි වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ දී බිහි වු ප‍්‍රතිරෝධී වල් පැළෑටි වලට උදාහරණ ලෙස ගැටකොළ, වල් රබර් සහ ඩෙරිස් නම් වැල් වර්ගයක් හ`දුනා ගෙන ඇත. මෙය කාලයත් සම`ග නිර්මාණය වූ පරිසරයට අහිතකර වු තත්වයකි. මෙවැනි වල් පැළෑටි විශේෂයන් සුපිරි වල් පැළෑටි (Super Weeds) ලෙස හ`දුන්වනු ලබයි. මෙවැනි ප‍්‍රතිරෝධකතාවයන් සහිත සුපිරි වල් පැළෑටි ප‍්‍රභේදයක් මුලින් ම වාර්තා වුයේ 1996 දී ඕස්ටේ‍්‍රලියාවේ දී ය. එය නමින් රිජිඞ් රයි නම් තෘණ විශේෂයයි. මීට අමතර ව ගෝලීය වශයෙන් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනයට ප‍්‍රතිරෝධී වල් පැළෑටි විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල් වලින් වාර්තා වී ඇත.

තම ලාභ අපේක්‍ෂාව මුලික අරමුණ කරගත් මොන්සැන්ටෝ සමාගමේ තවත් විනාශකාරී නිර්මාණයක් ලෙස ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී බෝග හ`දුන්වාදිය හැකිි ය. එම බෝග හ`දුන්වන්නේ ‘‘රවුන්ඞ්අප් රෙඩි ක්‍රොප්ස්’’ (Roundup Ready Crops) නමිනි. එහි දී ජාන ඉංජිනේරු තාක්‍ෂණය යොදාගනිමින් ග්ලයිෆොසෙට් වලට සුදානම් වු ජානයක් ශාක ෙසෙලයට ඇතුළු කරනු ලබයි. ඉන් පසු එම ජානය මගින් වෙනස් වු බෝගය ග්ලයිෆොසෙට් වල්නාශකයට ප‍්‍රතිචාර නොදක්වයි. එවිට කිසිදු බාධාවකින් තොරව වගා ක්‍ෂේත‍්‍රයට ග්ලයිෆොසෙට් යෙදිය හැකි අතර එමගින් අදාළ බෝගය හැරුණු විට අනෙක් සියලූ ම පැළ මර්දනය වේ. මේ මගින් බීජ ඒකාධිකාරය ද සමාගම් සතු කර ගැනීම පහසු වේ.

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑම

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදු වේ. එක් බලපෑමක් වන්නේ ග්ලයිිෆොසෙට් සංයෝගයෙන් සිදු කරන බලපෑම ය. අනෙක ග්ලයිෆොසෙට් භාවිතා කර වල්නාශක නිෂ්පාදනයේ දී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටක මගින් ඇති කරන බලපෑමයි. මේ දෙක ම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ග්ලයිෆොසෙට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදු වේ. ජලය මගින්, ආහාර මගින්, ශරීරයේ තැවරීමෙන් හා ආග‍්‍රානයෙන් ග්ලයිෆොසෙට් ශරීර ගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයට ග්ලයිෆොසෙට් එක් වුව ද ඇති කරන බලපෑම ඉතා ම දරුණු ය.

අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක් වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ගලයිෆොසෙට් සැකසේ්. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසෙට් එක් වූ විට ශරීරයේ දී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසෙට් ආදේශ වී ඉතා හානි කර බලපෑම් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩු වීම හා වකුගඩු ආබාධ ඇති කිරීමට මේ තත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසෙට් හා දියවැඩියා රෝගය අතර සම්බන්ධයක් පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා ෙසෙල මගින් නිකුත් වන එන්සයිමවල ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියා රෝගී තත්වයන් ඇති කිරීමට ග්ලයිෆොසෙට් දායක වේ.

ග්ලයිෆොසෙට් ආහාර මාර්ගයට එක් වූ විට අන්ත‍්‍රයේ (බඩවැල්වල) සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන් පෙළෙන අයට ඉතා ම දරුණු අහිතකර බලපෑම් ඇති වේ.

ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය (Lung alcoholic liver deceases) ඇති වීමට ග්ලයිෆොසෙට් ඍජුව ම බලපායි. මේ බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී . ජර්මනියේ (Federal Institute for Risk Assesment) ආයතනය මගින් ගල්යිෆොසෙට් රසායනික පිළිබඳ ව කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වී ඇත්තේ පිළිකා ඇති වීමට මෙම රසායනිකය ඍජු ව දායක වන බව ය. ඒ අතුරින් වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන non-hodkin lymphoma නම් පිළිකා තත්වය ඇති වන අතර ගෙල ප‍්‍රදේශයේ වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන පිළිකා බහුල ව ගල්යිෆොසෙට් ශරීරගත වීම නිසා සිදු වේ.

යුරෝපා රසායනික ආයතනය(European chemical agency ) විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඇස් ආබාධ ඇති කිරීමට ප‍්‍රබල බලපෑමක් ග්ලයිෆොසෙට් මගින් සිදු කරන බව ය.

2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා රෝග පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණායතනය (International Agency for Reseach cencer) විසින් ග්ලයිෆොසෙට් මිනිසාට පිළිකා ඇති කිරීමට හේතුවන රසායනික සංයෝගයක් ලෙසට නම් කරන ලදී. නමුත් මොන්සැන්ටෝ සමාගමෙන් ප‍්‍රතිලාභ ලබන විද්‍යාඥයින්ගේ දැඩි බලපෑම මත එම තත්වය වෙනස් කිරීමට පවා පසුගිය කාලයේ බලපෑම් එල්ල කෙරිණ.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ මව් කිරිවලට ද ග්ලයිෆොසෙට් රසායනිකය එක් වී ඇති බව ය.

එපමණක් නොව ග්ලයිෆොසෙට් ඉතා අවම මාත‍්‍රාවකින් භාවිත කළ ද මිනිසාගේ සමෙහි ෙසෙල මරාදැමීමට සමත් වන බව සොයා ගෙන ඇත. සමේ ෙසෙල තුළ පිහිටි මයිටකොන්ඩි‍්‍රයාවල බිත්තිය ඔක්සිකරණයෙන් බිඳ දැමීමට ග්ලයිෆොසෙට් රසායනිකය උත්පේ‍්‍රරණය කරන බවත් පළුදු වූ සමේ ෙසෙල පිළිකාජනක තත්වයට පත් කිරීමට ග්ලයිෆොසෙට්වලට හැකියාව ඇති බවත් හ`දුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය නිර්දේශිත මාත‍්‍රාවෙන් 450 ගුණයක් තරම් තනුක සාන්ද්‍රණයකට මිනිත්තු 20 ක් නිරාවරණය වුවහොත් මිනිස් මුඛයේ ෙසෙලවල වර්ණදේහ හානියට ලක් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව මෙම රසායනික ආඝ‍්‍රාණය කිරීමෙන් මුඛය තුළ හා ස්වසන පටකවල ෙසෙල තුළ පිහිටන වර්ණදේහ හානියට ලක් කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

අධ්‍යයන කිහිපයකින් අනාවරණය වී ඇත්තේ පාකින්සන් රෝගයට ග්ලයිෆොසෙට් රසායනිකය ඍජු සම්බන්ධයක් ඇති බව ය. ග්ලයිෆොසෙට් රසායනිකයෙන් ඩිපැමිනජික් නම් ස්නායුවල බිඳවැටීම සිදු කර පාකින්සන්් රෝගයට හේතුසාධක ගොඩනැංවෙන බව අනාවරණය වී තිබේ.

බර්ලින්වල ග්ලයිෆොසෙට් සමග ඍජු සම්බන්ධතාවක් නොමැති ජනතාව යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ජනතාවගේ මුත‍්‍රාවල ග්ලයිෆොසෙට් රසායනිකය වාර්තා වූ බව ය. ඊට හේතුව ලෙස එම පර්යේෂණයෙන් නිිගමනය කර ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනික තැවැරුණු ආහාර කෑමට ගැනීමෙන් ග්ලයිෆොසෙට් රසායනිකය ශරීරගත වී ඇති බව ය.

හිතාමතා ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ශරීරගත කර ගැනීම හේතුවෙන් වාර්තා වූ සිද්ධීන්ට අනුව ශ‍්‍රී ලංකාවේ 887 දෙනෙකුගෙන් 21 දෙනෙක් මරණයට පත් වී ඇත. ආජන්ටිනියානු වෛද්‍යවරු වාර්තා කරන ආකාරයට ග්ලයිෆොසෙට් වල්නාශකය ට කෙටිකාලීන ව නිරාවරණය වීම නිසා ස්වශනාබාධ, පාචනය, වමනය සහ සම මත කුෂ්ඨ ඇති වීම මෙන් ම දිගුකාලීන ව පිළිකා, ව`දභාවය, ගැබ් ගැනීම් සම්බන්ධ ප‍්‍රශ්න, උපත් ගැටලූ සහ ස්වශන රෝග ඇති වන බව ද හ`දුනාගෙන ඇත.

ආජන්ටිනාවේ චැකෝ ප‍්‍රදේශයේ රජය ප‍්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පිළිකා වැළදීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙම ප‍්‍රදේශයේ අනපේක්ෂිත ළමා පිළිකාවල තෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වී ඇති බව ය. මෙලෙස වර්ධනය වී ඇති පිළිකා ලෙස ලිවුකේමියා, ලිම්ෆෝමා සහ මස්තිෂ්ක ඉදිමුම හ`දුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජාන වෙනස් කරන ලද බෝග වගාව පමණක් නොව අධික ලෙස ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම ද සිදු වන බව ස`දහන් කර ඇත. මේ පිළිබ`ද ව රසායනාගාර අධ්‍යයන වලින් පැහැදිලි වී ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකය මෙම පිළිකා ඇති වීම සමඟ සෘජු සම්බන්ධතා පවතින බව ය. අජන්ටිනාවේ චාකෝ ප‍්‍රදේශයේ 2000 සිට 2009 කාල පරාසවල දී උපත් ඌනතාවන් ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහළ යාමට හේතු ලෙස ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි හා වී වගාවට ඉතා විශාල වශයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය යෙදීම හේතු වී ඇති බව ද සොයාගෙන ඇත.

පැරගුවේ රටෙහි දිගුකාලීන ව ග්ලයිෆොසෙට් භාවිතා කරන ප‍්‍රදේශවල ජනතාවගේ මොළයෙහි විකෘති ඇති වීම, හිස්කබල කුඩා වීම හා හිස් කබලේ විකෘති ඇති වීම සිදු වී තිබෙන බව අනාවරණය වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ගර්භණී සමයේ දී ස්නායු නාල වැසීමට අපොහොසත් වීම බව හ`දුනාගෙන ඇත. මෙම විකෘතිතාවන් ග්ලයිෆොසෙට් ශරීරගත වීමෙන් සිදු වී ඇති අතර ජාන වෙනස් කළ සෝයා බෝංචි වගාවන්ට ග්ලයිෆොසෙට් බහුල ව භාවිත කිරීම ඊට හේතුව බව හ`දුනාගෙන තිබේ.

ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වූ පිිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 35% කින් අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග‍්‍රන්ති බිඳ වැටීම මගින් ජීවි ශුක‍්‍රාණු ෙසෙලවල විකෘති වර්ණ දේහ මට්ටම ඉහළ යාමත් සිදු වී ඇති බව සොයාගෙන ඇත.

පසට තදින්් අවශෝෂණය වන ග්ලයිෆොසෙට් රසායනිකය බැර ලෝහ සම`ග සම්බන්ධ වීමේ වැඩි හැකියාවක් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

මොන්සැන්ටෝ සමාගම ග්ලයිෆොසෙට් පිළිබ`ද ව ව්‍යාජ වෙළෙද දැන්වීම් පළ කිරීමේ ප‍්‍රතිඵල

ඇමෙරිකාවේ කෘෂිකාර්මික බිම්වල පමණක් නොව ගෙවතුවල බහුල ව භාවිත කරන වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට ගෙන ඇත්තේ මොන්සැන්ටෝ සමාගම එරට මාධ්‍යවල පළ කළ වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. 2007 වසර වනවිට ඇමෙරිකාවේ බහුල ව ම භාවිත කරන වල්නාශකය ලෙස ග්ලයිෆොසෙට් පත් විය. මේ නිසා ඇමෙරිකාවේ මෙම රසායනිකට ගොදුරු වූ ගොවීන් බොහෝමයක් පිළිකා ඇතුළු ව රෝග බොහෝමයක් හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මිය ගිය අයගේ ඥාතීන් විසින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළ කර ගොවි ජනතාව මුලා කර ඔවුන් ව රෝගාබාධ වලට ගොදුරු කර මරණයට පත් කිරීමට මෙම සමාගම වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළ යුතු බව ය. 1996 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝක් මහාධිකරණයේ විනිසුරුවන් විසින් මොන්සැන්ටෝ සමාගම වැරදි ලෙස ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සැකසීම පිළිබඳ ව දඩ ගැසීම සිදු කර ඇත. මීට අමතර ව බ‍්‍රසීලයේ ද මෙලෙස වැරදි වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කර ජනතාව මුලා කර ග්ලයිෆොසෙට් භාවිතයට හුරු කිරීමට එරෙහිව අධිකරණය මොන්සැන්්ටෝ සමාගමට දඩ නියම කර තිබේ. අද වන විට ඇමෙරිකාවේ අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ජනතාව විසින් ගොනු කළ නඩු 1000 කට වැඩි ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතී.

2001 වසරේ දී නිත්‍යනුකූල නොවන ලෙස කොලොම්බියානු හා ඉක්වදෝර දේශසීමාවේ කොකෝවා වගා බිම් වලට ගුවනින් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම නැවැත්වීමට කොලොම්බියානු අධිකරණය තහනම් නියෝගයන් නිකුත් කර ඇත. එසේ ම ඊශ‍්‍රායලයේ නිගුව් නම් ප‍්‍රදේශයේ ගොවියන්ගේ බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය 2002 වසරේ දී අධිකරණ නියෝගයක් මගින් තහනම් කර ඇත. ඉන් පසුව 2010 වසරේ දී අරාබි මානව හිමිකම් කණ්ඩායමක් සහ ඊශ‍්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දී ඇත්තේ සත්ව පාලනයේ දී තෘණ භූමි නඩත්තු කිරීම සඳහා යොදන ග්ලයිෆොසෙට් රසායනිකය හේතුවෙන් මිනිස් මරණ, ගබ්සාවීම් හා රෝගි තත්වයට පත් වීම් වර්ධනය වී ඇති බව ය. 2010 වසරේ දී ආජන්ටිනාවේ ප‍්‍රාදේශීය අධිකරණය ෆැන්ටාෆී පළාත තුළ ජනගහනය අධික ප‍්‍රදේශවල ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම තහනම් කර ඇත. 2012 වසරේ දී කායික වෛද්‍යවරුන් 160 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් සෞඛ්‍ය සේවකයන් හා පර්යේෂකයන් පිරිසක් ආජන්ටිනාවේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධනාශක වගා බිම් වලට ගුවනින් හෙළීම තහනම් කිරීම සඳහා ඉල්ලීම් කර ඇත. මෙහි දී ඔවුන් ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී ජාන විකරණය කරන ලද සෝයා බෝංචි නිසා පිළිකා ඇති වීම ඉහළ යාම සහ අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ ව ද සාක්ෂි ඉදිරිපත් කර ඇත.

2012 මැයි මාසයේ දී යුරෝපයේ Pestiside Action Network ආයතනය සහ ග‍්‍රීන්පීස් සංවිධානය විසින් යුරෝපා එකමුතුවෙන් සාමාන්‍ය අධිකරණයේ කොමිසමක් මගින් ග්ලයිෆොසෙට් නැවත ඇගයීම අවුරුදු 3 කින් පමා කිරීමට ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙහි දී ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයන් වලින් අනාවරණය වූ පිළිකාකාරක ගුණය, ජන්මානු ෙසෙලවල වර්ණදේහ වලට සිදු කරන හානිය හා උපත් අවම වීම වැනි සෞඛ්‍ය බලපෑම් ගැන සාක්ෂි නොසළකා හැරීම පිළිබඳ ව ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත

.ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර ඇති රටවල්

මේ වනවිට ලොවපුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කිරීමට හා සීමා කිිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවෙට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන් හා ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිතය තහනම් කර තිබේ. ප‍්‍රංශය ඉදිරි වසර තුන තුළ දී ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ම ග්ලයිෆොසෙට් භාවිතය ඉදිරි වසර 5 තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කර තිබේ.

ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසෙට් භාවිතය අඩු කිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආජන්ටිනාව, බර්මුඩා, කොලොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසෙට් භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවල භාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.

මේ සියලූ තත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසෙට් තහනම නැවත ගෙන ආ යුතු ය. මේ වනවිට දේශීය සුළු පරිමාණ ගොවි ජනතාව මොන්සැන්ටෝ ඇතුළු බහුජාතික සමාගම්වල වෙළෙඳ මාෆියාවට හසු වී කෘෂි රසායනිකවල දැඩි ගොදුරක් බවට පත් ව සිටී. ඒ හේතුවෙන් අවශ්‍යතාව මත පමණක් නොව පුරුද්දට කෘෂි රසායනික භාවිතා කරන සමාජයක් තත්වයට අද වන විට කෘෂිකර්මාන්තයේ නිරත ජනතාව පත් කර ඇත. මේ නිසා දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහල ලංකාවේ ස්ථාපිත කිරීමටත්, පිළිකා රෝහල වසරින් වසර පුළුල් කිරීමටත් සිදු ව තිබේ. එපමණක් නොව අද වනවිට අපනයන කෘෂි වෙළෙඳපොළ සීමා වීමට ද අප රටේ සිදු කෙරෙන අධික කෘෂි රසායනික භාවිතය හේතු වී තිබේ. විශේෂයෙන් තේ වගාව සඳහා යොදන අධික කෘෂි රසායනික හේතුවෙන් සමහර රටවල තේ වෙළෙඳපොළ අප රටට අහිමි වීමේ ආසන්න අවස්ථාවක පවතී.

අප රටේ ගොවියා අධික ලෙස කෘෂි රසායනික භාවිතයට ගොදුරු කළ බහුජාතික කෘෂි රසායනික සමාගම් අද වන විට වැඩි දියුණු කළ හා ජාන තාක්‍ෂණයෙන් නිපද වූ බීජ වර්ග අප රට තුළ ස්ථාපිත කරමින් සිටී. මේ නිසා සාම්ප‍්‍රදායික ගොවිතැනේ පැවති ඊළඟ කන්නය සඳහා බීජ ඉතිරි කර ගැනීම වැනි පුරුදු ද නතර වී තිබේ. මේ නිසා අද වන විට සුළු පරිමාණ ගොවි ජනතාවට වගා කිරීම සඳහා අමතර යෙදවුම් විශාල ප‍්‍රමාණයක් වගා බිම් වලට යෙදවීමටත් මේ නිසා ම ප‍්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමටත් නොහැකි වී ඇත.

එපමණක් නොව කෘෂි රසායනික සමාගම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන තත්වයට පරිවර්තනය වී ඇත. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ සේවකයින් කෘෂි රසායනික සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ කෘෂි රසායනික ප‍්‍රචලිත කිරීමේ කාර්යයේ යෙදී සිටී. මෙය සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවකි. නමුත් අද වනවිට අප රට තුළ මෙය සාමාන්‍යකරණය වී ඇත.

මේ නිසා අප අවධාරණය කරන්නේ ග්ලයිෆොසෙට් ඇතුළු ව සියලූ කෘෂි රසායනික අප රට තුළ භාවිතය තහනම් කර මෙරට කෘෂිකර්මාන්තය පාරිසරික ගොවිතැනක් බවට පරිවර්තනය කර සුළු පරිමාණ ගොවි ජනයා ශක්තිමත් කර රටේ ආහාර සුරක්‍ෂිතාව, ආහාර ස්වෛරීභාවය ඇති කර සෞඛ්‍යසම්පන්න පරපුරක් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

8,864 Viewers

9 Comments to “මොන්සැන්ටෝ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවතට..”

  1. Asaranaya says:

    අතන මෙතන රතන හොර ගණයානෙනි දැන් සනීපද? අපෙ බදු මුදල් වලින් පින්පඩි නොකා සිවුරු හැර පලයන් ගම් රටෙ පව් නොදී

    • The Truth says:

      Toxicologist critical of ‘dodgy science’ in glyphosate bans

      By the end of 2015, gardeners in the Netherlands will not be able to buy the common herbicide, glyphosate.
      The Netherlands joins Sri Lanka and El Salvador in banning glyphosate, with pressure from interest groups mounting in other countries.
      The backyard ban coincides with a World Health Organisation ruling that it probably causes cancer.
      But Australian toxicologist Dr Ian Musgrave said the ban flies in the face of good science, as glyphosate (commonly sold as Roundup) is ranked 2A, lower than alcoholic beverages and formaldehyde, which are class one proven carcinogens.
      “Glyphosate is a fairly non-toxic chemical to humans,” he said.
      “In fact, if you tried to get the concentrations we see in animal studies, you’d have to eat something like a half a kilogram of glyphosate a day.
      “If you tried to eat the same amount of sodium chloride, table salt, you’d be very sick indeed.”
      Dr Musgrave said the WHO ruling did not release the study behind its findings, and it came as a surprise to toxicologists in Europe.
      “The European toxicology panel realised in 2014 an extensive review of the carcinogenicity and toxicity of glyphosate coming to the conclusion that there is no substantial cancer risk,” he said.
      A web search turns up dozens of articles of health concern about glyphosate, which Dr Musgrave debunks.
      “The chronic kidney disease found in parts of Sri Lanka is due to arsenic found in the phosphate fertiliser they’re using, nothing to do with glyphosate,” he said.
      “The idea there might be human birth defects is due to a study where they soaked frog eggs in concentrate of glyphosate that were 11,000 times higher than are present in the environment.
      “We should be basing our use of any chemical, be it herbicide or a drug on good science.
      “And a lot of what people are reacting to is stuff that has been disproven.”
      Dr Musgrave said he worried that governments were responding to fear about glyphosate causing Parkinson’s disease.
      “It doesn’t,” he said.
      “The largest agricultural study in the United States found no link between Hodgkin’s disease and glyphosate.
      “There are about 14 long-term animal studies with rats, showing no link between glyphosate and any form of significant disease.”
      In toxicology there is a saying ‘it’s the dose that makes the poison, even table salt is toxic in the right concentrations.’
      Dr Musgrave is speaking at the 2015 National Horticultural Convention on the Gold Coast, Queensland on 25-27th June..
      He is in the Great Debate, about whether “The benefits of organic produce outweigh those benefits grown in conventional methods”.

  2. upali says:

    වැදගත් ලිපියකි. නමුත් එහි කිසි තැනක පිටරටවල උදාහරණ මගින් වකුගඩු රෝගයට ග්ලයිෆොසෙට් හ්ව්තුවූ බව පෙන්වා නැත. මෙයත් ශ්‍රී ලංකික මඩ ව්‍යාපාරයේ කොටසකි.

    • Nuwan says:

      ඇයි නැත්තේ. “Dewayne Johnson,46, was diagnosed with non-Hodgkin’s lymphoma in 2014, having used Roundup and Ranger Pro in large quantities while working for a school.” …”Cancer Council Australia’s chief executive officer Professor Sanchia Aranda said the International Agency for Research on Cancers has classified glyphosate as a probable carcinogen.” Round Up වල තියෙන්නේ ග්ලය්ෆොසෙට් තමා. ලැබුණු වන්දිය පවුම් මිලියන 289. අපේ අසරණ වකුගඩු රෝගීන්ට තියෙන්නේ මේ ක්රොප් ලියිෆ් එකට නඩු දාන්න. ඕන් රතන හාමුදුරුවන්ට කරනවානම් වැඩක්.

  3. climax says:

    සජීව චාමිකර Are you a chemist??? don’t translate articles based on pseudo science. There is no science behind banning of glyphosate. look at the wikipedia article on glyphosate. we don’t like රතන too!

  4. Kolitha says:

    රතන බඩ කපාගෙන මුහුදට පැනපන්බං…..

  5. Gayantha says:

    Mu jiwitheta wawapu ekek nemai pissu rathana wagema. Organic farming karanna puluwan yam pramanayak witharai, yana wiyadama bailuwahama. Anika paladawath saihenna adui. anika rubber tea wathu walata mai gon rathanaya nisa kelawuna witharak nemai rupiyalath baaldu wuna export adu wuna nisa. Chamika kiyana ekath oya pissu parasara wediyo kiyaganna ewungema kotasak. Mun dagalana haitiyata thama munta pita ratawal walin dollar gewanne.
    Munwa ratin pituwahal karanna ona kalakanni.

  6. Chaminda says:

    Mu hithanne glyphoset kiyanne monsanto eke budalayak kiyala..mu kiyala tiyana widiyata ආහර සුරක්ෂියතාව hariyata balanawanm lankawe kema wikunana kada 99%kma wahanna ona.ewata katha karapallako pennama minissunta jarawa kawanawane.wena ratawal ewa pawathwagenayana heti kiyannako.ewa wedak nene munta NGO salli enne nene ethakota.

  7. podu says:

    වැදගත් ලිපියකි

Main News