මොන සන්ධාන හැදුවත් ලකුණ පොහොට්ටුවයි..

January 7, 2019 at 4:40 pm | lanka C news
මොන සන්ධාන හැදුවත් ලකුණ පොහොට්ටුවයි..

ඉදිරියේදී මොන සන්ධාන හැදුවද මැතිවරණ ලකුණ විය යුත්තේ පොහොට්ටුව බව ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.

ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.

අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.

සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා

මට මතකයි අපි බැසිල් මහත්තයා එක්ක එකතු වෙලා පොහොට්ටුව පක්ෂයක් විදියට හදාගෙන යන විට සමහරුන් අපට හිනා වුණ හැටි. සමහරු කිව්වා ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. සමහරු කිව්වා වැඩි කලක් යන්න ඉස්සර පොහොට්ටුව නට්ටං වෙනවයි කියලා. ගොඩක් අය අපි දිහා බැලුවේ පිස්සෝ රැලක් දිහා බලන විදියටයි.

හැබැයි දැන් හැමෝටම පොහොට්ටුවේ අගය තේරිලා තියෙනවා. පොහොට්ටුව තමයි මේ රටේ ලොකුම පක්ෂය බවට දැන් පත්වෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 50 ඉක්ම වූ දැවැන්ත ජනබලයක් තියෙනවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටටම ඔප්පු කරලා පෙන්වන්න අපට හැකිවුණා.

2019 කියන්නේ අපට තවත් ජයග්‍රාහී වසරක්. මම එහෙම කියන්නේ 2019 වසරේ පැවැත්වෙන්නට නියමිත මැතිවරණ දිහා බලලයි. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි හැමෝම දැන් පොහොට්ටුව වටේ පෙළගැහෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා. කාටවත් පොහොට්ටුව විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න නම් අපට පොහොට්ටු ලකුණ අනිවාර්යෙන්ම ඕනේ කියන එකත් අපි බැසිල් මැතිතුමාට මතක් කරන්න කැමැතියි.

– ප‍්‍රදීප් අනුර කුමාර

12,917 Viewers

4 Comments to “මොන සන්ධාන හැදුවත් ලකුණ පොහොට්ටුවයි..”

  1. "දෑතම එකතුකර දෙමි" says:

    රටටම පෙන්නලා අපෙ අළුත් පක්‍ෂයෙ දිවිල්ල
    දැන් නම් බැරිය බිඳලන්ට අප සමඟියෙ යැවිල්ල
    රටටම පෙනිල පොහොට්ටුවෙ ජනගඟ ගැලිල්ල
    දෑතම එකතුකර දෙමි චන්දය රටෙ මතු රැකිල්ල

    • සචිනි-සිඩ්නි says:

      කවුද මේ කවි ලියන්නා.. හරිම ලස්සනයි අනේ..!

  2. Sampath says:

    Lannai mhathyo ape apekshakaya thoranne Mahinda mahathya. Ai oyapakshe samajikayinta manthrilata okakaranna chandayak aithiyak nadda. Niyama wahallu. Mahi da kiyana oni ekek dinawanawa. Ethakata ogallanata wada godak adu deshapalana athdakimtiyena Namalwa dammath dinawana. Oyita wada hodai migamuwe wallata ghin suddoth ekka budiyana eka

  3. Rathgama MC says:

    ප්රසන්න රණතුංග මහත්තයෝ මොන සන්ධාන හැදුවත් ලකුණ පොහොට්ටුව වෙලා 2020 ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් සිරිසේන මහත්තය ඉදිරිපත් කලොත් ඔබතුමා සිරිසේන මහත්තයට වැඩ කරනවද?
    අපි මේවා කල් තියා කිවුව,මහින්ද මහත්තය බහුතරයක් නැතිව අගමැතිකම බාර ගත්තේ,සිරිසේන මහත්තය පොහොට්ටු-ශ්රීලනිප සන්ධානයේ ජනාද්ධිපති අපේක්ෂකයා කරන්න එකඟ වෙලයි කියල.දැන් සිංදු වෙන වැඩ වලින් එය එසේම වෙන බව පැහැදිලියි.සිරිසේන මහත්තය දවසින් දවස ශ්රීලනිපය ශක්තිමත් කරමින් සිටින අතර දවසින් දවසම මහින්දද මහත්තය අප්රසාදයට පත්වෙනවා,පොහොට්ටුව සෝදාපාලුවට ලක්වෙනවා,අවසානයේ මහින්ද කියන නාමයත් පිචන්ම වෙලා යයි තවදුරටත් සිරිසේන මහත්තය සමග ගියොත්.බලන්න හොඳට ආණ්ඩුකාරවරු පත්කළ ආකාරය,මෛත්රී ගුණරත්න කෙසෙල් අවරියේ,අසාද් සාලි තවත් මුස්ලිම් පක්ෂයක,කිර්ති කැෆේ සංවිධානයේ…. දැන් ශාන්ත බණ්ඩාරත් පාර්ලිමේන්තුවට එනවා.ඩඩ්ලි සිරිසේන මැදිරිගිරියේ සහ චතුරිකා පොළොන්නරුවේ ශ්රීලනිප සංවිධායක වෙනවා.ජාතික ආණ්ඩුවට මහින්ද මහත්තය බිත්ත්තියට හේත්තු කරන්න,නමුත් තනි සිරිසේන ඔන්න දැන් මහින්ද මහත්තය බිත්තියට හේත්තු කරලා බෙල්ලට තොන්දුවත් දමල තියෙන්නේ.අපට හරි වෙඅනාවයි අපේ අසහාය නායකයා මහින්ද මහත්තයට වෙච්ච දෙයට.කුමාර වෙල්ගම මහතා මේ තත්වය කලින්ම කිවුව.වසර තුන හමාරකටත් වඩා කට්ට කාව පොහොට්ටුවේ සංවිධායකයින් විශාල පිරිසක් අනාත වෙනවා,පොහොට්ටුවේ ජනතාව නන්නත්තාරයි.ප්රශ්නයක් නැත්තේ එහෙයියෝ,වහල්ලු සහ මොදයින්ටත් තක්කඩින්ටත් පමණයි.
    වහාම ප්රසන්න රනිතුංග,රමේශ පතිරණ,රන්ජිත් සොයිස ,වෙල්ගම … වගේ සිරිසේන විරෝධී මන්ත්රීවරුන් දැන්ම පෙරට ඇවිත් පොහොට්ටුව සුරැකීමේ සංවිධානයක් හදල,බැසිල් මහත්තයත් සමග එකතු වෙලා මහින්ද මහත්තයට බල කරන්න ඕන සිරිසේන සමග තියෙන සම්බන්ධය නවත්වන්න,එහෙම නැත්නම් ප්රකාශකරන්න කියල කීයටවත් සිරිසේන නොවේ කියල අපේ සන්ධානයේ 2020 ජනපති අපේක්ෂකයා.අනිවාර්යෙන්ම 2020 පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ඒකාබද්ධයේ මන්ත්රීවරයෙක් කියල.

Main News