යාපනය නගරය හරිත නගරයක් කිරීමට නව සැලැස්මක්…

May 16, 2018 at 2:10 am | lanka C news
යාපනය නගරය හරිත නගරයක් කිරීමට නව සැලැස්මක්…

එළඹෙන ජූනි මස 5 වනදින යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් අනුව ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා යාපනය නගරාධිපතිතුමන් ඇතුළු මහ නගර සභාවත් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සරවේෂ්වරන් මහතා ඇතුළු සියලූම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහයෝගය ලබාදෙන අතර ප‍්‍රදේශය පුරා පැල 3000ක් පමණ සිටුවීමට කටයුතු සූදානම් කරඇත.

මේ සඳහා කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී වැනි පැල තෝරා ගෙන ඇති අතර පන්නෙයි පාර, පන්නෙයි වෙරළ පාර, කෙරෙයිනගර් පාර, කොළොම්බතුරෙයි පාර, සෙන් පැට්ට‍්‍රික් වෙරළ පාර යන ස්ථාන වල මූලික වශයෙන් මෙම පැල සිටුවීම කරගෙන යනු ලබයි. අවශ්‍ය පැල වර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයනු ලබන අතර විශේෂයෙන් උතුරු පලාතේ පවතින දැඩි හිරු රශ්මිය පාලනය කර ගැනීමටත් මෙය මහත් පිටිවහලක් වනු ඇත.

මෙම පැල පළාතේ කාළගුණයටත්, පරිසරයටත්, පසටත්, ජලයටත් ඔරොත්තු දෙන ආකාරයේ පැල වර්ග වන අතර මෙය රෝපණය කිරීමෙන් පසුව යාපනය මහ නගර සභාව මගින් එම පැල නඩත්තු කරගෙන යනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ප‍්‍රදේශයේ මෙන්ම දිස්ත‍්‍රික්කයේද පළාතේද සියලූම දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ආණ්ඩුකාරතුමා ප‍්‍රකාශ කල අතර යාපනය නගරය හරිත නගරයක් කිරීමට සියලූ දෙනාගේ සහයෝගය ලබදෙනමෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම මාධ්‍ය සාකච්ඡුාව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර යාපනය නගරාධිපති එමානුවල් ආර්නෝල්ඞ් මහතා, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගරු කන්දයියා සරවේෂ්වරන් මහතා සහ ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

– වජිර කොඩිතුවක්කු

1,993 Viewers
Main News