යුද අපරාධ ජාත්‍යන්තර අධිකරණ නම වෙනස් කර එයි..

July 2, 2017 at 6:48 pm | lanka C news
යුද අපරාධ ජාත්‍යන්තර අධිකරණ නම වෙනස් කර එයි..

‘ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට විදෙස් රටවලට හා ජාත්‍යන්තර අධිකරණවලට බලය ලබාදෙන යෝජිත නව නීතිය’ මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරක ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2017ජූලි 2

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට විදෙස් රටවලට හා ජාත්‍යන්තර අධිකරණවලට බලය ලබාදෙන යෝජිත නව නීතිය

වත්මන් ආණ්ඩුව කඩිමුඩියේ අත්සන් කර තහවුරු කරනු ලැබූ “අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය” ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සදහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. මෙකී පනත් කෙටුම්පතේ අටවන වගන්තියට අනුව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයෙකු අතුරුදහන් කරවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු, චූදිතයෙකු, හෝ වරද කරුවකු වන ඕනෑම පුද්ගලයෙකු තමාට බාරදෙන මෙන් විදේශීය රටකට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට හැකිවේ. එවන් ඉල්ලීමක් විදෙස් රටකින් ලැබුණු විට, අදාල පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට නැතිනම් ඔහුව එම විදේශීය රටට බාරදීමට ශ්‍රී ලංකාවට සිදු වේ. එම පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ලංකාව තුළ අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සදහා විධිවිධාන සැලසීමට විධායකයට බලය ලැබේ. පනත් කෙටුම්පතේ 23 වන වගන්තියට අනුව මෙම නීතිය වෙනත් සියළුම ලිඛිත නීති අභිබවමින් බලාත්මක වේ.

අතරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ 10 හා 11 වගන්ති වලට අනුව එම ප්‍ර‍ඥප්තියේ සාමාජික රටකට වෙනත් සාමාජික රටක අතුරුදහන් කරවීමකට වගකිව යුතු යැයි සැක කරන විදේශිකයකු වුවත් සිරභාරයට ගැනීමට බලය පැවරේ. එසේ සිරභාරයට ගත්පසු, එම පුද්ගලයා ඔහුගේ රටට නොයවා එම රට තුළම ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරිය හැකිය. හිරභාරයට ගනු ලබන පුද්ගලයාගේ මවුරට අදාල ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලක්‍ෂේත්‍ර‍ට අයත් නොවුවත්, එම පුද්ගලයා හිරභාරයට ගැනීම කරන රටේ අභිමතය පරිදි ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට බාරදීමට හැකිය.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ 32 වන වගන්තියට අනුව එම ප්‍ර‍ඥප්තිය පිළිගන්නා ඕනෑම විදේශීය රටකට ලංකාව එම ප්‍ර‍ඥප්තිය යටතේ වගකීම් ඉටු නොකරන බවට ජිනීවාහි ‘අතුරුදහන් කරවීම් පිළිබද කමිටුවට’ පැමිණිලි කල හැක. එවැනි පැමිණිල්ලක් ලැබුණ විට එම කමිටුවට ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලතල ලැබේ. ලංකාවේ ආණ්ඩුව මේ 32 වගන්තිය වෙනම ප්‍ර‍කාශයකින් පිළිගෙන තිබීමද මෙහි විශේෂිත කරුණක් වේ. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඕස්ටේලියාව හා කැනඩාව ඇතුළු තවත් රටවල් විශාල ගණනක් මේ ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියට අත්සන් තබා නැත. ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, අයර්ලන්තය හා ඉන්දියාව මීට අවුරුදු දහයකට පෙර 2007 දී මෙයට අත්සන් තැබුවත්, අද වනතුරුත් තහවුරු කර නැත. රටවල් බොහෝ ගණනක් මේ ප්‍ර‍ඥප්තිය පිළිගැනීමෙන් වැලකී සිට ඇත්තේ එමඟින් තම රටවල් වල පුරවැසියන්ගේ පුද්ගලික අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ නිසා බව පැහැදිලිය.

එක් රටක සිදුවූවා යැයි කියන අපරාධයක් සඳහා වෙනත් රටක අධිකරණයක, නැතිනම් වෙනත් රටවල් සමූහයක් විසින් මුදල් වැය කරමින් පවත්වාගෙන යන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක නඩුවකට මුහුණ දෙන චූදිතයෙකුට කිසිදාක යුක්තියක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ ආකාරයට නඩු පැවරීමක් සිදු වන්නේ, හැමවිටම දේශපාලන අභිමතාර්ථයක් ඉටුකරගැනීම සදහාය. අතුරුදහන් කරවීම් වලට සම්බන්ධ සියළුම කාරණා – එනම් පැහැරගෙන යාම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටීම, ඝාතනය කිරීම හා නීත්‍යානුකූල නොවන ආකාරයට මෘතදේහ විනාශ කිරීම හෝ සැඟවීම, වැනි කාරණා සියල්ලම අපේ රටේ දණ්ඩ නීති සංග්‍ර‍හයේ විධිවිධාන වලින් හා පවතින අපරාධ නීතියෙන් ආවරණය වෙයි. මේ නිසා යෝජිත නව නීතියෙන් සිදුකරන සැබෑ කාර්යභාර්ය වන්නේ විදේශීය පාර්ශවයන්ට ලංකවේ යුක්තිය පසිඳලීමේ ක්‍ර‍මයට අත පෙවීමට ඉඩ සැලසීම පමණි.

මෙහිදී අපගේ වාසියට ඇති කරුණක් වන්නේ ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව හා 2006 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‘නල්ලරත්නම් සින්නරාසා එරෙහිව නීතිපති’ යන නඩුවේ දුන් තීන්දුවට අනුව ලංකාවේ ආණ්ඩුව විසින් යම් ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියක් අත්සන් කොට තහවුරු කිරීමෙන් පමණක් එය ලංකාව තුළ බලාත්මක නොවීමයි. එවැනි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියක් ලංකාවේ බලාත්මක වීමට නම් එහි වගන්ති, වෙනම පනතක් මාර්ගයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කල යුතු වේ. වෙනත් බොහෝ රටවල් අත්සන් කිරීමෙන් නැතිනම් තහවුරු කිරීමෙන් වැලකුණු මේ ජාත්‍යන්තර සම්මුතිය ලංකාවේ යහපාලන ආණ්ඩුව විසින් පිළිගෙන තිබුණත්, එහි වගන්ති ලංකාව තුළ බලාත්මක කිරීමට ගෙන ඒමට යන මේ නීති කෙටුම්පතට විරුද්ධව ඡන්දය දීමෙන්, සිදුවී ඇති හානිය අවම කිරීමට පාර්ලිමේන්තුවට කටයුතු කල හැක.

මේ නව නීති කෙටුම්පතෙන් කෙරෙන්නේ යුද අපරාධ යන වචනය පාවිච්චි නොකර, එය ‘අතුරැදන්වීම්’ වශයෙන් වෙනස්කොට, අපේ රණවිරුවන් විදේශීය රටවල අධිකරණ වලට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණවලට පාවාදීමය. ‘අතුරැදන්වීම්’ යන වචනය ඇසූ විට කාට වුවත් සිතෙන්නේ මෙය අතුරුදහන් වූවන් සෙවීමට ගන්නා අහිංසක උත්සාහයක් වන බවකි. නමුත් මෙහි අරමුණ අතුරුදහන් වූවන් සෙවීම නොව ත්‍ර‍ස්තවාදය නැති කළ අය දඩයම් කිරීම පමණි. යුද්ධයේදී අතුරුදන් වූ දහස් ගණනක් වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් දැනටමත් ‘මිය ගොස් ඇති බවට සැලකෙන’ නිසා, මේ යෝජිත නව නීතිය යටතේ සැළකිල්ලට ගැනෙන්නේ කොටි සංවිධානයේ අතුරුදහන් වූවන් පමණි. කොටි ඩයස්පෝරා සංවිධාන මෙන්ම ඔවුන්ට උදවු කරන ජාත්‍යන්තර පාර්ශවද, යුද්ධයේදී මිය ගිය කොටි ත්‍ර‍ස්තවාදීන් මෙන්ම විදෙස් රටවලට පලා ගොස් වෙනත් අනන්‍යතාවයන් හදාගෙන ජීවත්වෙන කොටින්ද ‘අතුරුදහන් වූවන්’ ලෙස සලකයි. මෙකී පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ප්‍ර‍කාශ කිරීම, කොටි ඩයස්පෝරාවට හා ඔවුන්ට උඩගෙඩි දෙන විදේශීය බලවතුන්ට මේ රට පාවා දීමක් වෙන බව සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිල්ලට ගත යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

5,687 Viewers

2 Comments to “යුද අපරාධ ජාත්‍යන්තර අධිකරණ නම වෙනස් කර එයි..”

  1. NARAYANA says:

    Sir, Please safe gard our write from this Police Junta and sirvely funished those KALAKANNI GROUP OF YAMAPALANA

  2. CHANDA says:

    රතන චම්පික ඇතුළු සියල උරුමේ කරුම තක්කඩි ගොන් හැත්ත, වසක් විසක් වත් නොගෙන තව අවු; පහක් හයක් වත් නොමැරී හිටපියව්,තොපි කරපු දේශපාලන විගඩන් වලින් රට
    ජාතිය ආගමට කල හානියේ තරම බලන්න.

Main News