රනිල් මහත්තයෝ ඔයාට වැඩි ආයුෂ නැහැ…

February 17, 2017 at 7:06 am | lanka C news
රනිල් මහත්තයෝ ඔයාට වැඩි ආයුෂ නැහැ…

නීතිවිරෝධි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය FCID යොදා ගනිමින් සිරගතකර සිටින විමල් වීරවංශ මහතා නිදහස්කර ගැනීමේ සටන වඩා බලවත්ව රටපුරා රැගෙන යාමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

බත්තරමුල්ල නගරයේදී ‘විමල් වීරවංශ නිදහස් කරනු!’ යන තේමාව යටතේ පැවැති පොදුජන විරෝධතාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

පොලිස් බාධා කිරීම් මැද පැවැති මෙම පොදුජන විරෝධතාවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

“රටේ සම්පත් විකුණමින්, ඊට එරෙහිවූ සංඝරත්නයේ ලේ සොලවමින්, ජනතා විරෝධි ගමනක යෙදී සිටින මේ ආණ්ඩුව අනෙක් පැත්තෙන් කොටින්ට සහන දෙනවා, කිරි පොවනවා. මේ ජනතා විරෝධි ගමනට එරෙහි වන ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සිරගත කිරිම අද මේ ආණ්ඩුවේ උවමනාව වී තිබෙනවා. විමල් වීරවංශ සහෝදරයාට මේ ඉරණම අත්වුණේ ඒ නිසයි. ඔහු නිදහස් කර ගැනීමේ සටන වඩා බලවත්ව රටපුරා රැගෙන යන්න අපි සූදානම් බව මේ මොහොතේ අවධාරණය කරනවා”

මෙහිදී අදහස් දැක්වූ ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා

ආණ්ඩුව නීතියත් අධිකරණයත් අවභාවිතාවේ යොදවමින් ඉන්න මොහොතක් අද නිර්මාණය වී තිබෙනවා. අද නීතිය නමලා, අධිකරණයට බලපෑම් කරලා අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ සිරගත කරලා මොකක්ද මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ? මේ රටට, ජනතාවට ආදරය කරන, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නායකයන්ට මේ රනිල් වික්‍රමසිංහ එමගින් පොඩි තරවටුවක් කරලා තිබෙනවා ‘මට විරුද්ධව කටයුතු කරන උඹලා ඔක්කෝම හිරේ දමනවා’ කියලා. පුළුවන් නම් ඒ දේ කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට අභියෝගය කරනවා

‘රනිල් මහත්තයෝ ඔයාට වැඩි ආයුෂ නැහැ. ළගදීම අපි ඔයාව ගෙදර යවනවා’ කියන පණිවිඩය දෙන්නයි අපි මෙතැනට ආවේ. අද සාමකාමීව උද්ඝෝෂණයක් කරන්න දෙන්නේ නැහැ. අද මෙතැන රැස්වුණු ජනතාවට සහ විපක්‍ෂයේ නායකයන්ට පොලීසිය යොදා ගෙන මොනතරම් බාධා කළාද? නමුත් අපි ඒවට යටත් වෙන මිනිස්සු නොවෙයි. අපි හෙට(16) ‘විමල් වහා නිදහස් කරනුෟ’ කියන ජාතික විරෝධතා ව්‍යාපාරය අනුරාධපුරයෙන් අරඔනවා, එය අවසන් වන්නේ විමල් නිදහස් කරගැනීමෙන් පසුවයි.”
මෙම පොදුජන විරෝධතාවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විමලවීර දිසානායක, ගාමිණි ලොකුගේ යන පාර්ල්මේන්තු මන්ත්‍රීවරු ද ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15,650 Viewers
Main News