රුපියල් කෝටි හතක රත්තරන් ඉන්දියාවට අරන් යද්දි අත්අඩංගුවට…

January 30, 2018 at 2:06 am | lanka C news
රුපියල් කෝටි හතක රත්තරන් ඉන්දියාවට අරන් යද්දි අත්අඩංගුවට…

ඉතා රහසිගතව ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම් ඌරුමලෙයි මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරුමැද නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රම නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අද මන්නාරමේ ධීවරයින් දෙදෙනෙකු සමග අදාල රත්තරන් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රත්තරන් තොගය ග්‍රෑම් 100 කැබලි 120 වශයෙන් අසුරා තිබූ අතර රත්තරන් ඉන්දියාවට ප්‍රවාහනය කිරීම සදහා යොදාගෙන තිබු කුඩා ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයින් විසින් ධීවරයින් ලෙසින් වෙස්වලා රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කොට තිබූ බවටත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පලාත් රේගු කාර්යාලයට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,133 Viewers
Main News