රෝස මලක් රුපියල් 35-50ත් අතර.. මල් වගාකරුවන්ට හොද ආදායමක්..

October 11, 2017 at 2:23 am | lanka C news
රෝස මලක් රුපියල් 35-50ත් අතර.. මල් වගාකරුවන්ට හොද ආදායමක්..

රෝස මල් ලක්ෂ 5ක් පමණ මාසයකට නිෂ්පාදනය වුවත් ඇතැම් මාසවලදී රෝසමල්  ඉල්ලුම වැඩිවී රෝස මල්, පිච්ච මල් වැනි මල්වර්ග ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවන බවත් මෙවැනි මල් වර්ග වැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවානම් විශාල ආදායමක් උපයාගත හැකි බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

රෝස මලක් රුපියල් 35–50 ත් අතර මිලකට අලෙවි කිරීමට හැකි බවත් රෝසමල් වල ඉල්ලුම වැඩි වූ විට නෙදර්ලන්තයෙන් හා ඉන්දියාවෙන් රෝසමල් ආනයනය කරයි. එම නිසා රෝසමල්, පිච්ච මල්  වගාකිරීම  ගැන වැඩි අවධානයක් යොමු කිරීම මගින් සැළකිය යුතු ආදායමක් උපයාගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ වැල්ලවාය ඇතිලිවැව ශ්‍රී චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේදී පැවති  මල්වගාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුවකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

එහිදී අදහස් දැක්වූ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

“දිවයින පුරා සිටින මල් වගාකරුවන් දිරිගැන්වීම සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමෙන්තුව රටපුරා ක්‍රියාත්මක කරන වැඩසටහනේ තවත් පියවරක් අද වැල්ලවායෙ පැවැත්වෙනවා. මීට පෙර මොණරාගලත් මෙවැනි වැඩසටහනක් පැවැත්වුවා. අද වැල්ලවාය වැඩසටහනට වැල්ලවාය, තණමල්විල, සෙවණගල ප්‍රදේශවල මල් සමිති නියෝජනය කරමින් 200 ක් සහභාගීවෙනවා. ඔවුන්ට මල්පෝචිචි 1000ක් ලබාදෙනවා. විශේෂ පුහුණුවක් ලබාදෙනවා. ඉදිරියේදී දැල් ආම්පන්න ලබාදෙනවා.මල්වගා කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගන්න පුළුවන්. එසේ ආර්ථිකය ගොඩනගාගත් සැළකිය යුතු පිරිසක් අද අපේ රටේ ඉන්නවා.

විනෝදාංශයක් වශයෙන් මෙන්ම ජීවනෝපාය වශයෙන්ද මල් වගා කරන්න පුළුවන්. විනෝදාංශයට මෙන් ආරම්භ කළත් දැනට එය ජීවනෝපාය කරගත්තු සළකිය යුතු පිරිසකුත් ඉන්නවා.

මල්වගාකරුවන් දිරිමත් කරන්න එම කර්මාන්තයට අළුතින් පිරිස් එක්කරගන්න අපගේ අවධානය යොමුවුණා. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ උපදෙස් අනුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

අළුතින් මල්වගාවට එන පිරිස් ලියාපදිංචි කිරීම ඉතාම වැදගත්. මීට අමතරව දැනට ලියාපදිංචි නොවී 3500 ක් පමණ පිරිසක් මල් වගාකිරීමට එක්ව සිටිනවා. දැනට ලියාපදිංචි වී සිටින මල් වගාකරන්නන්ගේ සංඛ්‍යාව 6500 ක් පමණ වනවා. ලියාපදිංචි නොවූ පිරිසත් එක්වූ විට මල් වගා කිරීමේ කර්මාන්තයට මුළු රටපුරා එක්ව සිටින ප්‍රමාණය දස දහසකට අධිකයි.

මෙම ලියාපදිංචි නොවී සිටින මල්වගාකරුවන් කඩිනමින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්ද ජාතික උදභිද උද්‍යාන දෙපාර්තමේනතුව මගින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මල් වගාකරුවන්ට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික පුහුණුව පමණක් නොවෙයි, සෙවණ දැල්  ලබාදීම,  මල් පෝච්චි ලබාදීම සිදුකරන්නේ කිසිදු අයකිරීමක් තොරවයි. එය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් සිදුකරණු ලබන්නේ සේවාවක් විදියට.

පිරිමි පාර්ශවයත් මල් වගා කිරීමට යම් උනන්දුවක් දක්වන බවක් පේනවා. මල් වගා කිරීමේ නිරතව සිටින පිරිසෙන් කාන්තාවන් 6 දෙනෙකුට පිරිමි එක්කෙනෙකු බැගින් මල් වගා කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම වැඩසටහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. දැනටමත් ජාතික  උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් මල් වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබීම සතුටට කරුණක්.

මල් වගාකිරීමට වයස් බේදයක් නැහැ.පාසැල් දරුවන් ද මල් වගා කිරීමේ වැඩසටහන්වලට සම්බන්ධ කරගත හැකියි. පාසැලේ හොඳින් මල් වගා කරන දරුවන්, ගුරුවරුන් දිරිමත් කිරීමේ වැඩසටහනක්ද ළඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. පාසැල් දරුවාගේ සිටම ගහකොළට, පරිසරයට, සතා සිවුපාවාට ආදරය කරන දරුවෙක් බිහිකිරීම ඉතාම වැදගත්. මිනිසාගෙන් සිදුවන බොහෝ පරිසර විනාශයන් වළක්වාගැනීමට නම් පාසැල් කාලයේ සිටම පරිසරයට ආදරය කරන දරුවෙක් බිහිකිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

2016 වසරේදී මල් අපනයනය කිරීම තුළින් අපේ රට ඇමෙරිකානු ඩොලර් මිලියන 13.6 ක් උපයාගෙන තිබෙනවා. 2015 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.9ක්, ඒ අනුව 2016 වසරේදී මල් අපනයනය කිරීමෙන් ලැබෙන ආදායමේ යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊට බලපා තිබෙන හේතු සොය බලා මෙම වසරේදී මල් අපනයනයෙන් රටට ලැබෙන ආදායම වැඩිකරන්න අපගේ අවධානය යොමුවී තිබෙනවා.

පත්‍රිකා ශාඛ, කොළ, ඕකිඩ්, ඇන්තූරියම්, රෝස, කානේෂන් මල්වලට විදේශ රටවලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. අපේ රටේ මල් වැඩිපුරම මිලදී ගන්නේ නෙදර්ලන්තය. ඊට  පසුව මිලදී ගන්නේ ජපානය. මැදපෙරදිග රටවලටත් සැළකියයුතු මල් ප්‍රමාණයක් අපනයනය කරනු ලබනවා.

දේශිය වශයෙන් මල් මිලදී ගැනීම සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊට හොඳම උදාහරණය මල් පුහුණු පංති පැවැත්වීම මේ වන විට 20% කින් 30% කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මංගල උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථා සඳහා ඒවගේම හෝටල් වල අලංකරණය සඳහා දේශිය වශයෙන් මල් ඉල්ලුම වැඩි වී තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමේදී මල් වගාකරුවන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළඳ පොළක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා මල්වල හොඳ ප්‍රමිතියක් පවත්වාගෙන යාම ඉතාම වැදගත්.

විසිතුරු පැල වර්ග, පත්‍රිකාවලට වැඩි අවධානයක් මල් වගාකරුවන්ගේ යොමුවීම නිසා මල් වැවීම සඳහා පසුගිය කාලය තුළ යම් අඩු අවධානයක් යොමු වුණා. මේ නිසා මල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙලා යළිත් වරක් මල් වගා කිරීම කෙරෙහි අවධානය යොමුවෙලා තිබෙනවා.

රෝස මල් ලක්ෂ 5ක් පමණ මාසයකට මෙරට තුළ නිෂ්පාදනය වෙනවා. විවාහ මංගල උත්සව වැඩිපුර පැවැත්වීම නිසා ඇතැම් මාසවල රෝස මල් මදි වෙනවා. එවිට අදාළ උත්සව සංවිධායකයින් පිටරටින් රෝසමල් ගෙන්වනවා. දැනට රෝස මලක් විකිණෙන්නේ රුපියල් පනහකට. රෝස මල් වැවීමට යොමුවුණොත් ඉතා හොඳ ආදායමක් ශ්‍රී ලංකාව තුළදීම උපයා ගැනීමට පුළුවන්.

මල් වගා කිරීමට අලුතින් එක්වන පිරිසට වගේම දැනට මල් වගා කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින පිරිස්වලට ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. අපේ රටේ දේශගුණය අනුව වගාකරන මල්වලට විදේශ රටවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම දේශිය වශයෙන් මල් සඳහා විශාල වෙළඳ පොළක් නිර්මාණය වී තිබෙන බවත් දක්නට ලැබෙනවා.

මල් වගාවක් ආරම්භ කිරීම ඉතා හොඳ ආයෝජනයක්. මල් වගාවක් ආරම්භ කළා කියලා ඒක පාරටම ආදායමක් ලබාගන්න බැහැ. ඒක තේරුම්ගතයුතුයි. සාමාන්‍යයෙන් මල් වගාවක් ආරම්භ කරලා හරියට සාත්තු කරගෙන අවුරුද්දක් දෙකක් කරගෙන ගියොත් ආදයම් ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගටම ආදායම් ලබන ගමන්ම මල් වගාව වැඩි දියුණු කරගන්නත් පුළුවන්.

මල් වගාකරුවන් අතරමං වන තත්වයන්ද අපට වාර්තා වෙනවා. ඔවුන් නිසි වෙළඳ පොළකට සම්බන්ධිකරණය කිරීම, මල් අපනයනකරුවන් හා මල් වගාකරුවන් අතර නිවැරදි සම්බන්ධතාවක් ගොඩනැගීම වැනි කරුණු කෙරෙහි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අවධානය යොමු කරාවි. මල් වගාකරුවන් හා මල් අපනයනකරුවන් අතරේ යම් අවබෝධතා ගිවිසුම් ඉදිරියේදී අත්සන් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හදුන්වාදෙන්නත් අප බලාපොරොත්තු වෙනවා.

විනෝදාංශයට මල්  වගා කිරීමෙන් විශාල මානසික තෘප්තියක් ලබාගන්න පුළුවන්. එය යහපත් සෞඛ්‍යයටත් බලපානවා. ඒ වගේම තමන්ගේ ආර්ථිකයටත් වාසියක් සලසාගන්න පුළුවන්. විනෝදාංශයට , ආත්ම තෘප්තිය ලබමින් ආර්ථිකය සරුකරගන්න තිබෙන හොඳම ව්‍යාපාරයක් වශයෙන් මල් වගාකිරීමේ කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ඔබ සියලුම දෙනාට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල් යාපා නානායක්කාර මහතා අධ්‍යක්ෂ සෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයට මගේ විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා. යනුවෙන්ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මල්වගාකරුවන්ට මල් පෝච්චි බෙදාදීමද සිදුකෙරුණේ නියෝජ්‍ය අමාත්‍යවරිය අතිනි.

මල්වගාකරුවන්ට මෙහිදී මල්වගාව ගැන වැඩමුළුවක්ද පැවැත්වුණු අතර එය සිදුකළේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

වැල්ලවාය, තණමල්විල, සෙවනගල ප්‍රදේශවල විවිධ සමිති නියෝජනය කරමින් මල් වගාකිරීමට උනන්දුවක් දක්වන කාන්තාවන් 200ක් මෙම අවස්ථාවට සහභාගීවූ අතර ඔවුන්ට මල් පෝච්චි 1000ක් මෙහිදී බෙදාහැරීමට පියවර ගැනුණි.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා තාක්ෂණ) ෂෙලොමි ක්‍රිෂ්ණරාජා මෙනවිය, නියෝජ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් ජයන්තා රුක්මණි සිරිවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරියගේ සම්බන්ධිකරණ ලේකම් එච්. ඩබ්ලිව්. අජිත් ප්‍රියන්ත මහත්ම මහත්මීහු, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, වැල්ලවාය, තණමල්විල, සෙවනගල ප්‍රදේශවල ගම්වාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.

– ප්‍රසාද් මංජු

5,640 Viewers

5 Comments to “රෝස මලක් රුපියල් 35-50ත් අතර.. මල් වගාකරුවන්ට හොද ආදායමක්..”

  1. රාහුල කොලුවා says:

    ඇමතිතුමියත් රෝස මලක් වගේ හින්දා රෝස මල් ගණන් යන එක අහන්න දෙයක්යැ…

  2. ඇත්ත says:

    නියමයි….රෝස මල් 3ක් දීලා පොල් ගෙඩියක් ගත්තැහිකි නේද? නෝනේ….

  3. බබා උක්කුන් says:

    අනේ මගේ රෝස මල.
    ඔයත් ඉතින් ලබන චන්දෙන් පස්සේ රෝස මල් පාත්තියක් වත් හදා ගන්න. මොනවා කරන්නද දුකයි තමයි.

  4. රෝසමල says:

    ඔයා කියන්නෙ තලන රෝසමලක් පනහයි කියලද? දෙය්යෝ සාක්කි.

  5. podu says:

    ගංජා වගාවට වඩා මල්වගාව හොදයි

Main News