ලෝක බෞද්ධ සමුළුව අදින් අවසන්..

May 14, 2017 at 2:39 am | lanka C news
ලෝක බෞද්ධ සමුළුව අදින් අවසන්..

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර‍ ශාලාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුවේ දෙවැනි දිනය වූ ඊයේ (13) ” සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය හා බුදුදහම” යන තේමාව යටතේ සැසිවාර 4ක් පැවැත්විණි.

ලෝකයේ රටවල් 72කින් පැමිණ සිටි බෞද්ධ නියෝජිතයන් දහසකට ආසන්න පිරිසක් මෙම සැසිවාරවලට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු අන්‍යාගමික නායකයින් ගණනාවක් ද මෙහිදී අදහස් දැක්වූහ.

සම්මන්ත්‍ර‍ණ ශාලාවේ කාරක සභා ශාලා හතරකදී මාතෘකා හතරක් යටතේ පැවති මෙම සැසිවාරවලදී විවිධ රටවලින් පැමිණ සිටි ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් ගණනාවක් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළහ.

මෙම සැසිවාරවලදී සාකච්ඡා වූ කරුණු ඇතුළත් යෝජනා මාලාවක් බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ණ ශාලාවේ ප්‍ර‍ධාන ශාලාවේ පැවති අවසන් සැසියේදී සම්මත කෙරිණි.

අවසන් සැසියේ ප්‍ර‍ධාන දේශනය පැවැත් වූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.

මේ අතර එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය අද (14) පස්වරු 3.00ට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී නේපාල ජනාධිපති බිද්‍යා දේවි බන්ඩාරී මහත්මියගේ ප්‍ර‍ධානත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

– news.lk

1,051 Viewers
Main News