වන ජීවී නියෝජ්‍ය ඇමතිනිය අලි වැටක් විවෘත කරයි..

September 7, 2017 at 2:14 am | lanka C news
වන ජීවී නියෝජ්‍ය ඇමතිනිය අලි වැටක් විවෘත කරයි..

අනුරාධපුර, කැකිරාව, මරදන්කඩවල රණවිරු ගම්මානය වන අලින්ගේ ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද ආරක්ෂිත විදුලිවැට විවෘත කිරීම තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රදානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

ආබාධිත රණවිරු පවුල් 48 ක් පමණ මෙම ගම්මානයේ ජීවත්වන අතර එම ගම්මානයේ නිවාසවලට හා වගාවන්වලට වන අලින්ගෙන් නිතර නිතර හානි සිදුවිය. මේ පිළිබඳව ස්වාධීන රුපවාහිනී සේවය විසින් තොරතුරු සොයාබලා ඒ ගැන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට සහ රණවිරු සේවා අධිකාරියටත් දැනුම් දෙන ලදී.

ඉන් පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම ආරක්ෂිත විදුලිවැට ඉදිකෙරුණු අතර ඒ සඳහා ස්වාධින රුපවාහිනී සේවය, රණවිරු සේවා අධිකාරිය, ශ්‍රී ලංකා යුධහමුදාව සිවිල් ආරක්ෂක බලකාය රාජ්‍ය දැව සංස්ථාව කැකිරාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන ආයතනවල සහාය හිමිවිය.

2003 වසරේදී ඉදිකරන ලද මෙම මරදන්කඩවල රණවිරු ගම්මානයෙහි ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවන් හා වැන්දඹු පවුල් 48ක් ජීවත් වෙති. ඉදිකරණලද ආරක්ෂිත විදුලිවැටෙහි දුරප්‍රමාණය කිලෝමීටර් 03කි. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ 15කි.

රට බේරාගත් රණවිරුවන් ආබාධයට ලක්වු පසුව ඔවුන් සියලුම දෙනා රැකබලාගැනීම සමස්ථ සමාජයේම වගකීමක් බවත් ආරක්ෂිත විදුලි වැට මෙම රණවිරු ගම්මානයේ ආරක්ෂාවට ඉදිකිරීම එහි එක් පියවරක් පමණක් බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

අපි අද මෙහෙම ජීවත්වෙන්නේ රණවිරුවන් නිසයි මේ ගම්මානයේ ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ දරුපවුල් ජීවත්වෙනවා. අද මේ රණවිරු පවුල්වල දරුවන්ගේ නිර්මාණ දක්ෂතා බලන්න අපට හැකිවුණා. එම දරුවන්ගේ අනාගතය සාර්ථක වනවා දැකීම මෙම ආබාධිත රණවිරුවන්ගේ තිබෙන එකම පැතුම. මේ ගම්මානයේ ආරක්ෂාවට ආරක්ෂිත විදුලිවැටක් ඉදිකිරීම ඉතාම කාලෝචිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොරොන්දු වුණා කිසිම රණවිරුවෙකුට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා රණවිරුවන් වෙනුවෙන් කරපු ප්‍රකාශය ඉතාම වැදගත් මෙන්ම කාලීනයි. එක එක රාජ්‍ය නොවන සංවිධානවලට වුවමනා විදියට වැඩකරන්නනේ නැහැ කියලා ජනාධිපතිතුමා සහතික වෙලා තියෙනවා.

අලි මිනිස් ගැටුම වෙනුවට සත්ව මිනිස් සංහිඳියාව ඇතිකරන්න සාර්ථක වැඩපිළිවෙලක් ගාමිණි ජයවික්‍රම පෙරෙරා ඇමතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙනවා.

විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට වන අලි 200ක් පමණ මියයනවා. වන අලි ප්‍රහාරයන්ට ලක්වී වසරකට මිනිස් ජීවිත 70ක් 80ක් අතර ප්‍රමාණයක් අහිමිවෙනවා.

සත්ව මිනිස් සංහිදියාව ඇතිකරන්න කටයුතු කිරීම නිසා වන අලින්ගේ ජීවීත මෙන්ම මිනිසුන්ගේ ජීවිතද බේරාගැනීමට කටයුතු කිරීම තමයි අපගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

ආරක්ෂිත විදුලි වැටවල් ආරක්ෂ කිරීමේ වගකීම් ගම්මට්ටමින් පිහිටුවන්න විවිධ කමිටුවලට පැවරීමටද තිරණය කර තිබෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අමතරව විදුලිවැට ආරක්ෂා කිරීමේ වගකීම ගම්වල සමිතිවලට ලබාදී ඔවුන්ට යම් දීමනාවක් ලබාදීමටද අවධානය යොමු වී තිබෙනවා.

යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළාය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අධිනීතිඥ දොන් කුමාරසිරි ජයවිර්ධන, ස්වාධින රුපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න යන මහත්වරු, ශ්‍රි ලංකා යුධහමුදා නිලධාරීහු, මරදන්කඩවල රණවිරු ගම්මානයේ රණවිරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රසාද් මංජු

2,276 Viewers

Leave a Comment

Main News