වසර 40 කට පසු ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කරයි..

January 8, 2018 at 2:06 am | lanka C news
වසර 40 කට පසු ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කරයි..

පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සම්මේලනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී වසර 40 කට පසු යාවත්කාලීන කරන ලද ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි මහත්මිය විසිනි.

සාමාජිකයින් 15 කගෙන් යුත් කමිටුවක් විසින් මෙම ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැළැස්ම සකස් කළ අතර, එය නිසි පරිදි සකස් කිරීම සදහා වසර 05 ක කාලයක් ගත වන බව එම කමිටුව සදහන් කරයි.

ආයුර්වේද ඖෂධවල ප්‍රමිතිය පාලනය කිරිම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් එම ඖෂධ පිළීගැනීම සදහා ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් එල්.එචි තිලකරත්න මහතා, ගීතමනී කරුණාරත්න මහත්මිය, ආයුර්වේද කොමසාරිස් මංගලා කරුණාරත්න මහත්මිය සහ පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්, නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

1,027 Viewers
Main News