වසා දැමුනු යාපනය සරසවිය ලබන 13 වනදා සිට යලි විවෘතයි…

November 8, 2017 at 2:02 am | lanka C news
වසා දැමුනු යාපනය සරසවිය ලබන 13 වනදා සිට යලි විවෘතයි…

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සියලු දෙනා පංති වර්ජනය කිරීම හේතුවෙන් වසා දැමුනු යාපනය සරසවියේ සියලු පීඨයන්හි අධ්‍යාපනික කටයුතු ලබන 13 වන සඳුදා සිට සිදු කෙරෙන බවට යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සිසු සිසුවියන්ට නිවේදනයකින් දැනුම් දී ඇත.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් අනුරාධපුර බන්ධනාගාරගේ උපවාසයේ යෙදී ඇති සිරුකරුවන් තිදෙනාට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් යාපනය සරසවි සිසු සිසුවියන් පංති වර්ජනය කිරීම හේතුවෙන් කලා ,විදයා හා කලමණාකරණ පීඨයන් පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා වසා දැමුනේ දින නියමයික් නොමැතිවය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී වරුන් පිරිසක් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් පිරිසක් විසින් අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටි සිරකරුවන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව උපවාස කරුවන් උපවාසය අතහැරම නිසා යාපනය සරසවියේ පංති වර්ජනය කරමින් සරසවිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි සිසුන්ද එම විරෝධතාවයන් අවසන් කිරීමත් සමග යාපනය සරසවියේ උපකුලපති වරයා විසින් සරසවිය නැවත විවෘත්ත කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව යාපනය සරසවිය වසා දැමීම හේතුවෙන් නිවෙස් වෙතට ගිය සියලු සිසු සිසුවියන්ට ලබාන 13 වන සඳුදාට පෙර නැවත සරසවියේ නේවාසිකාගාර වෙතට එන ලෙසටද යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා විසින් වැඩි දුරටත් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

488 Viewers
Main News