වාහන දුම් පරීක්ෂාව අන්ත දූෂිතයි.. රටේ ජනතාව දූෂණයට යොමු කරයි හා පුහුණු කරයි..

July 10, 2018 at 4:40 pm | lanka C news
වාහන දුම් පරීක්ෂාව අන්ත දූෂිතයි.. රටේ ජනතාව දූෂණයට යොමු කරයි හා පුහුණු කරයි..

සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලේකම්,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
සොබාදම් පියස, බත්තරමුල්ල.

රටේ ජනතාව දූෂණයට යොමු කරනා හා පුහුණු කරනා අන්ත දූෂිත දුම් පරීක්ෂාව

2003 ජුනි 30 වනදා දිනති 1295/11 ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාවේ වාහන හා යතුරුපැදි සඳහා නිකුත් කෙරෙන වායු විමෝචන සමත් කිරීමේ අගයන් ප්‍රකාශයට පත් කර තිබේ.

1. එහි සඳහන් 2007 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන අගයන් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැන නැගී තිබූ අතර ඒ හේතුවෙන් 2016 තෙක් එය ක්‍රියාත්මක කිරීම සිදුවූයේ නැත.

2. 2016 සිට ක්‍රියාත්මක වන එම වායු විමෝචන අගයන්ට ලංකාවට ගෙන්වා ඇති ඇතැම් වාහන හා බොහෝමයක් යතුරුපැදි සුසර කරමින් ගෙන ඒමට නොහැකි අතර, එසේ එම අගයන්ට ගෙන ඒමට ඉන්ධන හා වාතය සම්මිශ්‍රකය (carburetor) තුලට කම්බි කැබලි ඇතුළත් කර සුසර කරන අතර එවිට එම වාහනය හෝ යතුරුපැදිය සිසිල් වූ පසු පන ගැන්වීම දුෂ්කර වනවා පමණක් නොව ධාවනය ද කර නොහැකි තරමට එන්ජිමේ ක්‍රියාකාරිත්වය අඩු වේ. මේ හේතුවෙන් අල්ලස් මුදල් දී පරීක්ෂණ කිරීමටත් නැතහොත් පරීක්ෂණය සමත්වූ පසු නැවත ධාවනය කර හැකි ප්‍රායෝගික අගයකට සුසර කිරීමටත් යතුරුපැදි / වාහන හිමිකරුවන් කටයුතු කරයි.

3. මේ හේතුවෙන් සමස්ත වාහන හා යතුරුපැදිකරුවන් ඉතාමත් විශාල දුෂ්කරතාවකට පත්වනවා පමණක් නොව, නීති ගරුකව සිටිනා පුද්ගලයන්ට පවා දූෂිත ක්‍රමවේදයන් තුලට යොමු වීමට සිදුවේ. සමාජය බලහත්කාරයෙන් දූෂණයට යොමු කරනා හා පුහුණු කරනා සන්ධිස්ථානයක් බවට මෙම පරීක්ෂාව පත්ව තිබේ.

4. වායු විමෝචන පරීක්ෂාව සඳහා ලබා දෙන උත්සාහ කිරීමේ වාර ගණන ද ප්‍රමාණවත් නොවේ. තවද, මෙම පරික්ෂාව නොමැතිව ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි නිසාත්, සහන කාලයක් නොමැති නිසාත්, යතුරුපැදිකරුවන් හා රියදුරුන් විශාල අපහසුතාවකට පත්වේ.

5. මෙම කාරනාවේදී දූෂිතම කාරණාවන් වන්නේ යතුරුපැදි/වාහනය විකුණන මුල් වසරේ වායු විමෝචන සහතිකය අවශ්‍ය නොවීමයි. රජයේ වාහනවලට එය අවශ්‍ය නොවීමයි. එම නිසා වායු විමෝචන පරීක්ෂාව ජනතාව හා පරිසර පද්ධතිය රැවටීමක් ලෙස සැලකිය හැක. ආනයන අවස්ථාවේ මෙම පරීක්ෂාව සිදුකර නොමැත.

6. යතුරුපැදි / වාහන නිෂ්පාදකයින් ද තම ඇඟ බේරා ගැනීමට ඔවුන්ගේ අලුත් වැඩියා මධ්‍යස්ථාන හරහා කරන්නේ දුම් පරීක්ෂණ සමාගම්වල පුද්ගලයන්ට අත යටින් මුදල් කුට්ටි ලබා දීමය.

7. විද්‍යාත්මකව, වායු විමෝචන සහතිකයේ අගයන් වලංගු වන්නේ සීමිත කාල සීමාවක් සඳහා පමණි. මන්ද, ඕනෑම කාර්මික දෙයක් පළුදු වන අතර, වාහනයක / යතුරුපැදියක වායු පෙරනය ද කලක් ඇතුළත දූවිලි ගොස් සිරවී ඒ හරහා ගමන් ගන්නා වායු ප්‍රමාණය වෙනස් වේ. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රොනික ඉන්ධන හා වායු සම්මිශ්‍රණය පද්ධතියක් නොමැති වාහනයක් / යතුරුපැදියක් නැවත පරික්ෂා කරන විට වායු විමෝචන අගයන්ට බෝහෝ විට අනුකූල නොවේ. මෙම තත්ත්වය හේතු කරගෙන යතුරුපැදිකරුවන් හා වාහන රියදුරුන් මහමඟ අල්ලා, අගයේ කුඩා වෙනස් කමකට අපහසුතාවට පත් කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි.

8. වායු විමෝචනය සිදුකරන සියලුම උපකරණ මසකට වරක් වත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරික්ෂා කර යුතුය. ප්‍රමිතියට අනුකූල බවට සහිත කර යුතුය. අවශ්‍ය නම් වෙනත් යන්ත්‍රයක් හරහා එය සිදුකර බැලීමේ හැකියාවක් තිබිය යුතුය. මේ සඳහා ක්‍රමවේදයක් නොමැත. බොහෝමයක් දෙනෙකු එක් තැනක අසමත් වූ යතුරුපැදියක් තවත් තැනක දැමූ විට එය සමත් වේ. මේ සඳහා සාක්ෂි අප සංගමය සතුව ඇත.

9. බොහොමයක් වායු විමෝචන යන්ත්‍ර පරීක්ෂාව අවස්ථාවේ එන්ජිමේ වේගය නිසියාකාරව සටහන් කර නොගනී. මේ හේතුවෙන් පරීක්ෂකවරයාට අවශ්‍ය නම් වාහනයක් වායු විමෝචනය සමත් කිරීමට හෝ අවශ්‍ය නම් අසමත් කිරීමට හැකියාවක් ඇත.

10. 2016 සිට ක්‍රියාත්මක වන එම වායු විමෝචන අගයන්ට ලෝකෙ දියුණු රටවල් ද ප්‍රතික්ෂේප කරනා ලංකාවේ ධාවනය වන ප්‍රමිතියක් නොමැති මෙම වාහන / යතුරුපැදි සුසර කර හැකි බවට සඳහන් කර ඇති වාර්තාවේ පිටපතක් හා එය ප්‍රායෝගික බවට සිදුකර සමීක්ෂණවල පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි මින් ඉල්ලා සිටිමු.

11. මෙහි සඳහන් කරුණු අනුව මෙම ගැටලුව ස්ථිර විසඳුමක් ලබා දීමටත්, මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා අපට අවස්ථාවක් සලසා දීමටත් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

චිරන්ත අමරසිංහ
සභාපති

14,103 Viewers

11 Comments to “වාහන දුම් පරීක්ෂාව අන්ත දූෂිතයි.. රටේ ජනතාව දූෂණයට යොමු කරයි හා පුහුණු කරයි..”

  1. Love nature says:

    වාහන දුම් පරීක්‍ෂාව අහිංසක මහජනතාවගේ පොකැට්‌ටුවට විදින ජාවාරමක්‌ බැව් කිව යුතුය. ඊට හොඳම නිදසුන වනුයේ, රජයේ වාහන, ලංගම බස්‌රථ, දුම්රිය ආදී ඉන්ධන භාවිතා කරන සියලුම වාහන දුම් පරීක්‍ෂාවෙන් නිදහස්‌කර මහජනතාවගේ වාහන පමණක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීමට නීති හැදීමය.

    බොහෝ දුම් පරීක්‍ෂණ ස්‌ථානයන්ට දුම් පරීක්‍ෂාව සඳහා ගියවිට එහි සේවකයන් සියලු දෙනාටම වාහන තාක්‌ෂණය පිළිබඳව කිසිදු දැනුමක්‌ නැත. රජයට ලැබෙන ආදායමක්‌ද නැත. සුළු බදු මුදලක්‌ රජයට ලැබෙන අතර විශාල මුදලක්‌ සෘජුව බසින්නේ සත් ගුණවත් මුදලාලාගේ සාක්‌කුවටය.

    රටේ දූෂණය හෙළා දකින බව කී යහපාලන ආණ්‌ඩුවට දැන් මේවා නොපෙනීම විමතියට කරුණකි.

    • AC vs DC Duvili Condition දූවිලි කන්ඩිෂන් says:

      ඒසී සැප වාහන වල යන අපෙ මැති ඇමති
      නොදකී දුවිලි වායු විෂ පරිසරට වින කරති
      වේගයෙන් ඔලු උදුම්මා තවත් දුම පිට කරති
      වීණා බීරි අලියට වයා රකිනු පාපැදියට කියති

      • විදේශිකයෙක් ඇහුවා says:

        මම වරක් සංචාරකයො කිහිප දෙනෙක් නුවර මාලිගාව ලඟට එක්කරගෙන ගියා පෙන්නන්න.
        කාර් විසි හයක් ලඟ ලඟින්ම පාක් කරල තියෙනව දැකල සමහර ඒවගේ එන්ජිම දිගටම දුවනව දැකල මගෙන් විදේශිකයෙක් ඇහුවා ඒ මොකද කියල? ??
        මම කීව අපේ ලොකු ඇමති කෙනෙක් ඇවිල්ලා ඒකයි ඒ,,,! එයාගෙ බොඩිගාඩ්ලත් ඇවිල්ල එයත් එක්ක කියල!! විදේශකයා ගත් කටටම කීවේ මොන තරම් නාස්තියක්ද? පරිසර දූෂනයක්ද කියල දුම නිසා..!
        අපේ රටෙ රැජිනි ගමනක් යනකොටත් යන්නේ වාහන හතරමයි ..! අගමැතිටත් එච්චරමයි..!

    • Gamarala says:

      Well said bro.this is really bullshit law in bananaland.

    • Kamal says:

      මෙය ආරම්භ කලේ රාජපක්ෂලාගේද අනුමැතිව ඇතිව චම්පික-ගම්මන්පිල නඩය විසිනි. එකල ඔවුන් කුට්ටිය බෙදාගත් අතර දැන් සිරිසේනලා සමග කුට්ටිය බෙදා ගනී.

  2. ඉතා කාලෝචිත කාරණයකි. ඉදිරිපත් වීම ගැන අගය කරමි. වංචාව, ජනතාව වංචාවර පෙළඹවීම, ජනතාව සූරාකෑම,තම තමන්ගේ සාක්කු පුරවා ගැනීම හැරුන විට ජනතාවට ආදරයක්,කරුණාවක් ඇති වැඩ පිළිවෙලක් නොවේ.

    • O2 vs CO2 says:

      මැති ඇමතිවරු පිටරට සවාරි ගියාද
      හොඳටම දකිත් වාහන පාලන ක්‍රියාද
      රාජකාරි වෙලාවෙ නගරයට ඇතුලුවීද
      මුදල ගෙවා ඇතුල්වෙ පරිසර හිතවැදීද

  3. Love nature says:

    වාහන දුම් දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්

    හුස්ම ගැනීමේ අපහසුතා 02.ඇස් දැවිල්ල ඇතිවීම 03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග 04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම ස්නායු ආබාධ ඇතිවීම 06.බෙලහීනතා තත්ව 07.පිලිකා තත්ව
    කාබන්මොනොක්සයිඩ් වල බලපෑම

    රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි.
    උත්තේජන සංජානනය (දැනීම) දුබල වීම.
    දෘෂ්ටියට බාධා ඇති වීම.
    නිදිමත ඇති වීම.
    පේශි සමායෝජනය දුර්වල වීම.
    ඔක්කාරය
    දිගු කාලයක් ඉහළ කාබන්මොනොක්සයිඩ් සාන්ද්‍රණ වලට නිරාවරණය වීම මරණය ඇති කරයි.

  4. Love nature says:

    පිට වන විෂ වායු වලින් වන විපාක

    අප හුස්ම ගන්නා විට නාසය හරහා වාතය පෙනහළු ඇතුළට ගමන් කරන අතර වාතය තිබෙන ඔක්සිජන් පෙනහළු බිත්තිය හරහා රුධිරයට ඇතුළු වී මුළු ශරීරය පුරාම ගමන් කරනවා. අපේ ශරීරයෙන් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස වාතයත්සමඟපරිසරයට මුදා හැරේ. මෙම ක්‍රියාවලියයථා පරිදි සිදු විමටනම් අප ආශ්වාස කැන වාකය වායු දුෂණයෙන් තොර විය යුතුයි.
    පිරිසිදු වාතයෙහි නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්, නිෂ්ක්‍රිය වායු ඇත. නමුත් මිනිසුන් විසින් සිදුකරන පාරිසරික බලපෑම් නිසා ආශ්වාස වාතයට එනම් පරිසරයට විවිධ විෂ වායු වර්ග සහ අංශු වර්ග එක්විය හැක. මේ ආකාරයට වාතය අපිරිසිදු වීම “ වායු දුෂණය “ ලෙස හැඳින්වේ.
    වායු දුෂණය සිදුවන්නේ කෙසේද?
    ලාංකීය සමාජයේ වැඩීම වායු දුෂණය සිදුවන්නේ රථ වාහන වලින් බව ඔබ දන්නවාද? රථ වාහන වලින් පිටවන අනවශ්‍ය දුමාරය අප හුස්ම ගන්නා මට්ටමේ තියෙන වාතයට එක්වේ.

    වාහනය පණ ගැනිවීමට යොදන ඉන්ධන එන්ජීම තුලදී ඉන්ධන ඔකිසිජන් සමඟ සිදුවන දහනයෙන් කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන්(නොදැවුණු ඉන්ධන) , නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් වැනි විවිධ වායු වර්ග පිටවේ. ඒ පමණක් නොවේ. ඒ සමඟම නිකුත්වන අවලම්බිත අංශුත් පරිසරයට මුදාහැරේ. ඒ අනුව වාහන වලින් පිටවන අනවශ්‍ය දුමාරය පරිසරයට ඉතාමත්ම අහිතකර වේ.

  5. Kalu says:

    Well written and presented case study.

    If those officers are serventa of the people, will act swiftly.

    I’m sure they will not, that much I confident. Because the fucking political fools and the robbery minded officials are not bothered and concerned. All servers and political thives are dependents of these type of incomes.

  6. siran says:

    වසර 15 කට වඩා පරණ වාහන වලට වත් මේකෙන් නිදහස් කරන්න ඒ වෙනුවට කාබන් බද්දක් අය කරන්න ….

Main News