විධායක ජනාධිපති ක්‍රමය සමඟ කොට්ඨාස ක්‍රමය ගෙනාවොත් ඒකාධිපතියෙකු බිහිවෙනවා..- එජාපය කියයි…

October 8, 2017 at 12:40 pm | lanka C news
විධායක ජනාධිපති ක්‍රමය සමඟ කොට්ඨාස ක්‍රමය ගෙනාවොත් ඒකාධිපතියෙකු බිහිවෙනවා..- එජාපය කියයි…

විධායක බලතල පැවරෙන බලවත් ජනාධිපති ධුරයක් තුළ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තේරීමේදී කොට්ඨාස ක්‍රමය ආදේශ කිරීම ඒකාධිපතිවාදයට පාර කැපීමක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙන්නප්පුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

විධායක ජනාධිපති ධුරය සහ ඒ මත පැවරී ඇති බලතල සම්බන්ධයෙන් මෙරට තුල කතාබහක් පවතින්නේ දීර්ඝ කාලයක සිටයි. සමහර අවස්ථා වල එම ධුරය හෙබවූ රාජ්‍ය නායකයන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් නිසා රටට හා ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වුණා.
පසු ගිය රාජපක්‍ෂ පාලන සමය සිවිල් සමාජය තුල විමර්ශනයට ලක් වන්නේද එවැනි විධායක බලතල පාර්ලිමේන්තු යටපත් කර ගෙන උපරිමව භාවිත කල ක්‍රමවේදයක් තුලයි. කෙසේ වෙතත් සර්ව ජන ඡන්ද බලය තුල හිමිව ඇති ජනතා පරමාධිපත්‍ය මගින් ඕනෑම විධායක බලතලයක් වෙනස් කිරීමේ හැකියාව මෙරට මැතිවරණ ක්‍රමය තුල සැකසී තිබෙනවා. ඊට ඇති ආසන්නතම සහ ප්‍රබලතම නිදර්ශනය 2015 ජනවාරි 08 වනදා සිදු වූ පාලන වෙනස බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තේරීමේදී මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයක් යෝජනා කර තිබේ. එය ප්‍රතිශතයක් ලෙස විග්‍රහ කර අත්තේ 60: 40 අනුපාතය ලෙසයි . පසු ගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් සභා සංශෝධන පනත මගින් එය පළාත් සභාව සදහා 50:50 අනුපාතය ලෙස තීරණය කර ඇත. මෙම ක්‍රමවේදයට අනුව මහජන නියෝජිතයෙකු තෝරා ගැනීමේ පුර්ණ අයිතිය මහජනතවගෙන් ගිලිහි යයි. යෝජිත ක්‍රමවේදයේදී පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් 60%ක් පමණක් තෝරාගැනීමේ පුර්ණ අයිතිය ජනතාවට හිමි වන අතර ඉතිරි 40%ක ප්‍රතිශතය ජනතාව තෝරා ගත්තද පුද්ගලයන් නම් කරනු ලබන්නේ දේශපාලන පක්‍ෂය විසිනි. පළාත් සභාවේදී ඍජුව මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ මහජනතාවගේ අයිතිය හරි අඩකට සිමා වන අතර ඉතිරිය දේශපාලන පක්‍ෂය විසින් තීරණය කරනු ලබයි.

යෝජිත ක්‍රමවේදයට අනුව 40%ක ප්‍රතිශතයක් පක්‍ෂය විසින් තෝරා ගැනීමේදී වැඩි වශයෙන් මුදල් තිබෙන, බලපෑම් කලහැකි කෙනෙකු විසින් දේශපාලන පක්‍ෂ වල තෝරා ගැනීමේ මණ්ඩලයක සිටින විට නිවැරදිම දේශපාලන නියෝජිතයා තෝරාගනු ඇතිදැයි බලාපොරොත්තු විය හැකිද? දැනට පවතින ක්‍රමය තුල ද නාම යෝජනා ලබා දීමට දැඩි ලෙස ගැටළු පවතී. එවැනි තත්ත්වයක් තුල 40%ක ප්‍රතිශතයක් පක්‍ෂය විසින් තෝරා ගනු ලබන මොහොතක කෙතරම් අනිසි බලපෑම් එල්ල විය හැකිදැයි අමුතුවෙන් කිවයුතු නැත. එවිට සිදුවන්නේ වර්තමානයේ මනාපයට ඇනකොටා ගන්නා පිරිස් අනාගතයේ පත් කිරීමේ ලැයිස්තුවට ඇනකොටා ගැනීමයි.

පාර්ලිමේන්තුව සඳහා කොට්ඨාස ක්‍රමය ආදේශ කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කාරණාව බවට විධායක ජනාධිපති ක්‍රමය පත්ව තිබේ. කොට්ඨාස ක්‍රමයක් තුලින් ජනතා පරමාධිපත්‍යයේ බලය හින වීමක් සිදු වුවහොත් එය වඩාත්ම බලපෑම් ඇති කල හැක්කේ විධායක බලතල පවතින වටපිටාවක් තුලදී යි.

ඊට අමතරව මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් නෙරපුවිට, ඉල්ලා අස්වූ විට හෝ මිය ගිය අවස්ථාවක අදාළ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීම සඳහාද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත. මේරට අතුරු මැතිවරණ ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී එය සුබවාදී අත්දැකීම් හිමිකර දී නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. පසුගිය රාජපක්‍ෂ පාලනය තුල කඩින් කඩ මැතිවරණ පැවැත් වූ සේම මෙම ක්‍රමය තුලින් අතුරු මැතිවරණ රැල්ලක් බිහිවිය හැකි අතර එමගින් දේශපාලන අස්ථාවරත්වයක් සහ මහජන මුදල් නාස්තියක් ද සිදුවේ .

1977 ජේ. ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ අනාගතයේ ස්ථාවර රජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පාලකයන් බිහි වෙනු ඇතැයි බලාපොරොත්තුවකින් යුතුවය. එමෙන්ම එතුමා අනාගතය වෙනුවෙන් ශක්තිමත් දෙවන පෙළක් ද නිර්මාණය කරනු ලැබුවා. එවැනි පසුබිමක් තුළදීත් දේශපාලන බලය අඛණ්ඩව රැක ගැනීමට හැකිවුයේ නැහැ. අනාගතයේ නව ව්‍යවස්ථාව සහ කොට්ඨාස ක්‍රමය යෝජනා කරන්නේ යහපත් අරමුණකින් යුතුව වුවද ගැටලුව වන්නේ තව වසර 20කින්-30කින් බිහිවන පාලකයා දේශපාලන ඒකාධිපති වියරුවෙකු හෝ පිස්සෙකු වී බලය වැරදියට භාවිත කර රට විනාශ කිරීමේ අවධානමක් පැවතීම යි.

ව්‍යවස්ථාව යනු රටේත් ජනතාවගේත් ඉදිරි ගමන තීරණය කරනු ලබන ප්‍රධානතම නීතිමය ලියවිල්ලයි. එය යහපත් පාලකයෙක් පත් වුවහොත් එහි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ආවරණය ජනතාවට ලැබෙන අතර ඒකාධිපතියෙකු හෝ පිස්සෙක් පත් වුවහොත් එයම විනාශයට හේතුවේ. වර්තමානයේ පවතින ක්‍රමවේදය අනුව බහුතර බලයෙන් ව්‍යවස්ථාවක් වෙනස් කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත් යෝජිත මැතිවරණ ක්‍රමවේදයන් අනුව ඒකාධිපතියෙකුට විකෘති බලයක් පාර්ලිමේන්තුව හරහා නිර්මාණය කර ගැනීමේ අවස්ථාවක් හිමි වුවහොත් රට ගොඩ ගත නොහැකි ඒකාධිපතිවාදයකට යටත් වී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සදහටම වැලලීයාමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.

– policy media

5,194 Viewers

One Comment to “විධායක ජනාධිපති ක්‍රමය සමඟ කොට්ඨාස ක්‍රමය ගෙනාවොත් ඒකාධිපතියෙකු බිහිවෙනවා..- එජාපය කියයි…”

  1. siran says:

    obathumagee dekma hariyata hari. oba dr. N .M perera ta pamanayi sama kala hekke anagatha viyawula kalin dakinnek lesa

Main News