ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට…

October 27, 2017 at 2:08 am | lanka C news
ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට…

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ බෝනොවන රෝග මැඩපැවැත්වීම පිළිබද ගෝලීය සම්මන්ත්‍රණය උරුගුවේ මොන්ටිවීඩියෝ අගනුවර දී පසුගියදා පැවැත්විනි. රටවල් 18 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බෝනොවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී අදහස් පළ කරන ලදි.

සම්මන්ත්‍රණයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවාව සදහා ශ්‍රී ලංකා රජය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 03 කට වැඩි මුදලක් වෙන් කරනවා. 2020 වනවිට එය සියයට 4.5 ක් දක්වා වර්ධනය කර ගැනීම අපගේ අපේක්ෂාවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයත් සමගම බෝනොවන රෝග අභියෝගයට ශ්‍රී ලංකාව ද මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාවේ රෝහල් වල දී සිදුවන මරණ වලින් සියයට 65 ක් ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන්. මෙම තත්ත්වය පාලනය කිරිම සදහා රජය විසින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.

දුම්පානය ආශ්‍රිත රෝගවලින් වසරකට මියයන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 25000 කට ආසන්න වෙනවා. එය සංඛ්‍යාත්මකව ගත් විට දිනකට මියයන සංඛ්‍යාව 60 ක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොල පාලනය කිරීමේ සම්මුතියට ද ශ්‍රි ලංකාව අත්සන් තබා තිබෙනවා. දුම්වැටි භාවිතය අවම කිරීම සදහා සිගරට් පැකට්ටුක රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොල බද්ධ සියයට 90 දක්වා ඉහළ නැංවීම වැනි ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. දුම්කොල වගාවෙන් ජීවත්වන ජනතාව වෙනුවෙන් විකල්ප වගා ක්‍රම හදුන්වා දී තිබෙනවා. ජනමාධ්‍ය තුල දුම්කොළ දැන්වීම් පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද සියලු දුම් රහිත දුම්කොළ නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

බෝනොවන රෝග පාලනය කිරිම සදහා සීනි භාවිතය අවම කිරීමට පියවර ගැනීම ද ඉතාම වැදගත් වෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය තරුණ ප්‍රජාවට මෙන්ම පාසල් සිසුන්ට ද බලපෑම් එල්ල කර ඇති බව අපි හදුනාගෙන තිබෙනවා. අයහපත් ආහාර රටාව ඊට ප්‍රධාන හේතුවක්. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය හදුන්වා දී ජනතාව සීනි පරිභෝජනයෙන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා. රසකැවිලි නිෂ්පාදන සදහා ද මෙවැනිම ක්‍රමයක් හදුන්වාදීමට ද මම බලාපොරොත්තු වෙනවා. බෝනොවන රෝග සදහා අවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල යටතේ එම මිල අඩු කිරීම ද සිදු කළා. ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ද දියත් කර තිබෙනවා”

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීමේ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

– ප‍්‍රසන්න අධිකාරී

391 Viewers
Main News