ශ‍්‍රී ලංකාව ලෝකයේ ආපදා අධි අවදානම් රටක් වෙයි..98 ස්ථානයේ සිට 04 වන ස්ථානයට..

August 23, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව ලෝකයේ ආපදා අධි අවදානම් රටක් වෙයි..98 ස්ථානයේ සිට 04 වන ස්ථානයට..

ආපදා අවදානම හමුවේ ඊට මුහුණ දීමේ අවස්ථාවන්ද ප්‍රවර්ධනය කළ යුතු බවත්, ඒ කෙරෙහි රජය මූලික අවදානයක් යොමු කර ඇති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය ඊට සූදානම් කිරීම හා සමානව ජනතාවද සූදානම් කිරීම සඳහා වූ පුළුල් වැඩපිළිවෙලක් සම්පාදනය කර ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

පසුගිය කාලය හා සැසදීමේදී ශ්‍රී ලංකාවට ඇති ආපදා අවදානම ඉහළ ගොස් ඇති බවත්, ආපදා අවදානම අනුව 98 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට එම අනුපිළිවෙලේ 04 වන ස්ථානයට පත්ව ඇති බවත් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ නිසාම ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ආපදාවන්ට දැඩිව ලක්වන රටක් ලෙසද ඒ මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

අපේ රටේ ඇතිවන භූ කම්පන ආදියේ බලපෑම් මෙන්ම ඊටත් වඩා පිටත රාජ්‍යවල හා අවට මුහුදේ සිදුවිය හැකි භූ කම්පනවල බලපෑම තදින් අපේ රටට එල්ල විය හැකියි. එබැවින් භූ කම්පන හා ඒ මතින් ඇතිවන සුනාමි අවදානම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා.

පසුගිය සති දෙක තුළද ඉන්දුනීසියාව හා ඊට සමීප ප්‍රදේශ කිහිපයක ප්‍රබල භූ කම්පන ඇති වුණා. එවැනි තත්ත්වයකදී ඇති විය හැකි සුනාමි බලපෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට විශේෂ යාන්ත්‍රණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙවැනි අවස්ථාවක කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම මූලික කාරණයයි. ඒ පිළිබඳ නිරන්තරයෙන් ප්‍රායෝගික සිද්ධාන්ත සහිතව පෙරහුරු පැවැත්වීමට නියමිතයි. එහි පළමු අදියර සැප්තැම්බර් 05 දා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මුහුදු ප්‍රදේශ ආවරණ වන පරිදි සුනාමි සංඥා කුළුණු 28 ක් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර විශේෂඥයින්ගේද අධීක්‍ෂණය මත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙවැනි අවස්ථාවක කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ වෙත විශේෂ පුහුණු සැසි පැවැත්වීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

7,719 Viewers
Main News