සම්බෝලයි බතුයි කන්න විදිහක් නෑ.. එලොව පොල් පේනවා.. පොල් අධිකාරියේ ගල් පැලෙන බොරු මෙන්න..

September 24, 2017 at 6:48 pm | lanka C news
සම්බෝලයි බතුයි කන්න විදිහක් නෑ.. එලොව පොල් පේනවා.. පොල් අධිකාරියේ ගල් පැලෙන බොරු මෙන්න..

පාරිභෝගිකයින්ට එළව පොල් පෙනේ පොල් ගෙඩියක මිල වැඩිවීමේ වගකීම පොල් සංවර්ධනය අධිකාරිය විසින් ගත යුතුයි පොල් මිල පිළිබද පාලන මිලක් ඇතැයි කීම බොරුවක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘අද වනවිට වෙළදපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති අතර පාරිභෝගිකයාට පොල් සම්බෝලයක් සමග බත් කෑමට පවා නොහැකි වී ඇති මෙම තත්වයට පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය සෘජුව වගකිව යුතුය.

පොල් සංවර්ධන මණ්ඩලයේ හා පොල් වගා කිරීමේ මණ්ඩලයට නිළධාරීන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම වීම නිසා එම ආයතනවල සුදුසුකම් සහිත පුද්ගලයින් සේවය නොකරයි.

රටතුල ඇති වී ඇති පොල් හිගයට එකම විසදුම ලෙස ඔවුන් සිතන්නේ පොල් පැල බෙදා දීමයි. පොල් පැල බෙදාදීම මගින් පොල් හිගයට විසදුම් ලැබේයැයි සිතීම මුලාවකි.

මේවන විට පොල් සදහා පාලන මිලක් ඇතැයි ප‍්‍රකාශ කිරීමද පොල් සංවර්ධන අධිකාරියේ ගල් පැලෙන බොරුවකි. පොල් සදහා පාලන මිලක් පැනවිය හැක්කේ පාරිභෝගකි කටයුතු අධිකාරියට පමණි. ඒ සදහා ප‍්‍රථමයෙන්ම පොල් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කල යුතුය. එහෙත් පොල් සදහා පාලන මිලක් ඇති කිරීම ප‍්‍රායෝගික නොවන්නේ එක් එක් ප‍්‍රමාණයේ පොල් ගෙඩි ඇති බැවිනි. කෙසේ වෙතත් පොල් සදහා පාලන මිලක් තවම ගැසට් කර නැත.

පොල් මිල අඩු කිරීම සදහා දිගු කාලීන වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් ආරම්භ කරන ලෙස අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

5,110 Viewers
Main News