සයිටම් ප‍්‍රශ්ණය එලෙසමයි… නම වෙනස් කරනවා විතරයි..

November 5, 2017 at 3:50 pm | lanka C news
සයිටම් ප‍්‍රශ්ණය එලෙසමයි… නම වෙනස් කරනවා විතරයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

සයිටම් ප්‍රශ්නය විසදුවා කියලයි ආණ්ඩුව දැන් කියන්නේ.  සයිටම් ගැන තිබුනු ප්‍රශ්නය මොකක්ද?  මේ රටේ ජනතාව සයිටම් එකට විරුද්ධ වුනේ නෙවිල් ප්‍රනාන්දු වෛද්‍ය තුමාගේ මූන කැතයි කියලනම්, එහෙනම් නෙවිල් ප්‍රනාන්දු මහතා ඉවත් කලාම මේ ප්‍රශ්නය විසදෙන්න තිබුනා.

ජනතාව සයිටම් එකට විරුද්ධ වුනේ සයිටම් කියන වචනයේ හරියට ඝණ පිහිටුවලා නෑ මේ සයිටම් කියන වචනය වැරදියි කියලනම් ඒ වචනය වෙනස් කලාම ප්‍රශ්නය විසදගන්න තිබුනා.

නමුත් ජනතාව විරුද්ධ වුනේ පෞද්ගලික අංශය හරහා මුදලට වෛද්‍ය උපාධිය විකිණීමට එරෙහිව. ඒ ප්‍රශ්නය අදටත් විසදී නෑ. ආයතනයේ නම සහ හිමිකාරීත්වය මාරුකළාට ජනතාව වීදි බැස්ස සැබෑ ප්‍රශ්නය තවම විසදී නෑ.

දැන් සමහරුන් අහනවා රජයේ මේ සයිටම් විසදුමත් එක්ක සයිටම් විරෝධීන් බෙදිලා නේද කියලා. සයිටම් වලට විරුද්ධ පිරිස් තුන් කොටසක් ඉන්නවා. පළමු පිරිස තමයි සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොරයි ඒ නිසා එය අහෝසි කළ යුතුයි කියන පිරිස. ඒ අයට අවශ්‍ය ප්‍රමිතියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදා දුන්නොත් ඒ අයගේ ප්‍රශ්නය විසදෙනවා.

දෙවෙනි පිරිස තමයි ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමීන් වැනි අයගෙන් සමන්විත අධ්‍යාපනයට මිල නියම නොකළ යුතුයි ඒ නිසා කිසිම ලෙසකින් මුදලට උපාධිය පිරිනොනැමිය යුතුයි කියලා කියන කණ්ඩායම. ඒ අයගේ ප්‍රශ්නය විසදිලා නැ. ඒ වගේම පොඩි විසන්වාදයක් තියෙනවා. ඇයි වෛද්‍ය උපාධිය විතරක් මුදලට විකිනීමට එරෙහි වෙන්නේ.  සෞඛ්‍ය සේවාව මුදලට විකිනෙනවා. ටියුෂන් පන්ති තියෙනවා. අනිත් උපාධී මුදලට විකිනෙනවා. ඒ නිසා එතනදී ප්‍රතිතර්ක ගණනාවක් මතු වෙනවා.

තුන්වන කාණ්ඩය තමයි මා දන්නා තරමින් මගේ පුර්වගාමියා වන ජාතික හෙළ උරුමයත්  අපි පිවිතුරු හෙළ උරුමයත් ඉන්න මතය. ඒ තමයි අධ්‍යාපනය මිලට විකුණුවත් එය සිදුවිය යුත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල හරහායි. එහිදී නොමිලේ අධ්‍යාපනය ලබාදෙන පාඨමාලාවම ඒ ගුරුවරුන්ම, ඒ විභාගම මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුන්ටද දිය යුත්තේ.

ප්‍රමිතිය හැදුවොත් පළමු ඛාණ්ඩයේ ප්‍රශ්නය විසදෙනවා. නමුත් දෙවෙනි තෙවෙනි කණ්ඩායම්වල ප්‍රශ්නය විසදෙන් නෑ.

ඒ නිසා මේ සයිටම් විරෝදීන්ගේ බෙදීමක් නෙවෙයි. සයිටම් විරෝධයක් තිබුනට ඒ විරෝධය තිබුනේ විවිධ හේතු මත. සමහරුන්ට ප්‍රශ්න විසදුනාට අනික් අයගේ ප්‍රශ්නය තවමත් විසදී නෑ. ඔබට මතක ඇති ඉන්දු ලංකා ගිවිසුමට උතුරත් විරුද්ධයි. දකුණත් විරුද්ධයි. දකුණ විරුද්ධ වුනේ බෙදුව බලය වැඩි කියලා. උතුර විරුද්ධවුනේ බෙදුව බලය මදියි කියලයි. දෙගොල්ලොම විරුද්ධවුනාට ඒ විරෝධය අහසයි පොලවයි වගේ වෙනස් හේතුන් මතයි ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා සියටම් විරෝධයේ කාණ්ඩ තුනක් සිටි බව අප අමතක කලොත් තමයි මෙන්න සයිටම් විරෝධීන් අතර බෙදීමක් ඇතිවෙලා කියන මතය සමාජයේ ඇතිවෙන්නේ.

– අරවින්ද අතුකෝරල

5,603 Viewers

2 Comments to “සයිටම් ප‍්‍රශ්ණය එලෙසමයි… නම වෙනස් කරනවා විතරයි..”

  1. බන්ඩය්යා says:

    අද මේ රටේ විවිධ උපාධිවලට සිසුන්ට උගන්වන ලාභ උපදවන ආයතන කොපමණ තියෙනවා ද? ඒ ආයතන පවත්වගෙන යන්නෙ හුදෙක් සිසුන්ට දැනුම ලබා දීමට නම් නො වෙයි. මේ ආයතනවල මුදල් අයකරනවාට පෙරටුගාමි නාම්බන් හා ජ වි පෙ වයෝවෘද්ධ තප්පු ලන්නන් විරුද්ධ නැද්ද? – නලින් ද සිල්වා

  2. බන්ඩය්යා says:

    ගම්මන්පිලලා අනෙක් උපාධි පුද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙනවට විරැද්දද? නැහැ නේද එහෙනම් ඇයි වෛද්‍ය උපාධිය විතරක් මුදලට විකිනීමට එරෙහි වෙන්නේ? දොස්තරල තම ඒකාධිකාරය රැක ගැනීමට නිදහස් අධ්‍යාපනය යොදා ගන්නවා නේද? වෙෙද්‍ය උපාධිය හා දන්ත වෛද්‍ය උපාධිය හැරෙන්න වෙනත් වෛද්‍ය ක්‍ෂෙත්‍රවල උපාධි පාඨමාලා අවුරුදු තුනකට වඩා පවත්වාගෙන යෑමට වෛද්‍ය සංගමය කැමති නැහැ නේද? උත්තර දෙනු?

Main News