සුවද විලවුන් නියාමනය සදහා නීති හදයි..

May 6, 2018 at 2:08 am | lanka C news
සුවද විලවුන් නියාමනය සදහා නීති හදයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික අධිකාරිය සුවද විලවුන් නියාමනය සදහා නීති සෑදීම පාරිභෝගිකයා ලැබූ ජයක්.

2015 වසරට පෙර මෙරට සුවද විලවූන් නියාමනය වූයේ 1980 අංක 27 දරණ ඖෂධ හා සුවද විලවුන් නියාමන පනත මගින් පිහිටුවන ලද ඖෂධ හා සුවද විලවුන් නියාමන අධිකාරිය මගින් වූ අතර 2015 අංක 5 දරණ ඖෂධ නියාමන අධිකාරි පනත හදුන්වාදීමත් සමගම අප රටේ සුවද විලවූන් නියාමනය කිරීම සදහා කිසිදු ආයතනයක් නොවීය.

ඒඅනුව ලෝකයේ ඕනෑම රටකින් කිසිදු බාධාවකින් තොරව සුවද විලවුන් මෙරටට ආනයනය කිරීමට හැකියාව පැවතීම නිසා පාරිභෝගිකයාට අහිතකර නිෂ්පාදන අප රට තුළට විශාල වශයෙන් ගලා ඒමක් සිදුවිය.

එම නිෂ්පාදන පරිභෝජනය කල සමහර පාරිභෝගිකයන් රූපලාවන්‍යාගාර තුළ මියගිය අතර තවත් පාරිභෝගිකයන් විශාල පිරිසක් දිගු කාලීන රෝගාබාධ වලට ගොදුරු විය. මෙය සමාජයේ කතාබහට ලක්වූ කාරණයක් වූ බැවින් 2016 අය-වැයේ 27 වන යෝජනාව මගින් සුවද විලවූන් නියාමනය සදහා නීතී සැකසීම පාරිභෝගික අධිකාරියට පවරනු ලැබුවත් විවිධ දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් එසේ නීති සැදීම ප්‍රමාදවිය.

කෙසේවෙතත් මෙරට සුවද විලවූන් පාරිභෝගිකයා කූට ව්‍යාපාරිකයින් විසින් ගසා කෑම නැවැත්වීම සදහා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා පාරිභෝගික අධිකාරිය විසින් සුවද විලවූන් නියාමනය කිරීම සදහා වන නීති සකසා පාරිභෝගික අධිකාරියේ සභාපති වරයා විසින් අදාල ගැසට්පත්‍රයට අද දින අත්සන් තබා ඇත.

මෙරට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා සුවද විලවූන් නියාමනයට අවශ්‍ය නීති සැකසීම පිලිබදව අප පාරිභෝගික අධිකාරියට ප්‍රණාමය පුදකරන අතර අදාල නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

3,073 Viewers
Main News