සුවනාරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට 80%ක ඉළක්කයක්.

December 9, 2017 at 2:31 am | lanka C news
සුවනාරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට 80%ක ඉළක්කයක්.

සුවනාරි විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

‘බෝනොවන රෝග පාලනය කිරිම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද වර්තමානයේ දිර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 75 ක් මියයන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග පාලනය කිරිම සදහා 2015 සිට අඛණ්ඩව වැඩසටහන් දියත් කළා. සුවදිවි, සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් රෝග පරීක්ෂා කිරීම සිදු කරනවා. මෙම වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කරනවා. මෙම වැඩපිළිවෙල ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. ලෝක බැංකුව ද බෝ නොවන රෝග පාලනය කිරිමට සහ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය ගොඩනැංවීම තුලින් රටක ආර්ථිකය ගොඩනැංවිය හැකි බව ලෝක බැංකුව ද පිළිගෙන තිබෙනවා. මෙම මුදල වසර 05 ක කාලයකට තමයි ලබාදී තිබෙන්නේ. මුදල් ලබාගන්නවා පමණක් නොව පැහැදිලි වැඩපිළිවෙළක් යටතේ මුදල් වැය කළ යුතුයි. සුවනාරි වැඩපිළීවෙල සියයට 80 ක් දක්වා සාර්ථක කර ගැනීමේ ඉළක්කයක් කරා ලබන වසරේ දී අප යොමු වෙනවා. දැනට ඇත්තේ සියයට 55 ක ප්‍රගතියක් පමණයි.

බෝනොවන රෝග පාලනය කිරීම සදහා වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඇතැම් සුවනාරි මධ්‍යස්ථාන වලින් මේ වන විටත් සියයට 60 ක ඉළක්කයක් ලබා තිබෙනවා. එවැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 100 ක් පමණ තිබෙනවා. ඒ සදහා කැපවිය යුතුයි. රාජකාරිය පමණක් නොව යුතුකමක් ලෙස සළකා කටයුතු කරන්න. බෝනොවන රෝග වලින් අහිංසක ජනතාව බේරා ගත යුතුයි. ලෝකයම ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දෙස බලාගෙන සිටිනවා. විවිධ බලපෑම් මත දුම්කොල බදු, සීනි සදහා වර්ණ සංකේත ක්‍රමය, ඖෂධ මිල අඩු කිරීම අපි විසින් සිදු කළා. ඒ සෑම වැඩපිළිවෙලක්ම දියත් කළේ ජනතාවගේ යහපතට යි.

ගැබ්ගෙල ශ්‍රාව පටල වැඩි වශයෙන් පරීක්ෂා කළ මාතර මහ රෝහලේ ඩී.ඒ.එස් ජයලත් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සම්මාන ලැබීය.

සුවනාරි සේවා සැපයීම අතින් දිස්ත්‍රික් මට්ටමින් වූ විශිෂ්ට සම්මාන මොණරාගල, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්ක විසින් හිමිකර ගත්හ. ළමා හා මාතෘ මරණ වෛද්‍ය නිලධාරීන් ද සම්මාන හිමිකර ගත් අතර, සංඛ්‍යාත්මකව සුවනාරි සේවාව ලබා දුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ ලෙස අත්තනගල්ල, මීරිගම සහ බියගම සම්මාන ලබාගන්නා ලදි.

ලබාදුන් ඉළක්ක ජයගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස පයාගල, රාජාංගනය සහ නාඋල සම්මාන හිමිකර ගන්නා ලදි. සුවනාරි සේවාව නංවාලීම සදහා කළ සේවාව අගය කරමින් මහාචාර්ය මේනකා දිලානි ලොකුහෙට්ටි මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන හිමිකර ගත්තේය.

– ප‍්‍රසන්න අධිකාරී

850 Viewers
Main News