හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට.. ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට…

July 10, 2018 at 8:40 am | lanka C news
හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට.. ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට…

චීනයට හම්බන්තොට වරාය විකුණා දමා ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ විකුණා දැමුවහොත් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව එකිනෙකා අතර බල ගැටුම් පවතින ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට පත්වීම නියත බවත් මේ අදබාල ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

හම්බන්තොට, බෙලිඅත්ත නිහිලුව පැවැති විරෝධතා ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මහතා මෙසේ ද මෙසේ ද පැවසීය.

“ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ඇඳුම් අස්සේ හැංගිලා ඉන්න මැරවරයින් තමයි අද මේ රටේ අහිංසක ජනයාගේ ජීවිතවල ඉරණම තීන්දු කරමින් සිටින්නේ. අනුරාධපුරයේදී ඒ පියා ගොදුරු වූයේ එවන් ඉරණමකටයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද්ධය අවසන් කළා පමණක් නොවෙයි මේ රටේ පාතාල කල්ලිවල පැවැත්මත් අහෝසි කළා. ඒ පැවැත්ම අහෝසි වූ පාතාල කල්ලි තමයි අද අළු ගසා දමලා ඇවිත් මේ රටේ කැලෑ නීතිය රජ කරවමින් ඉන්නේ.

‘තුන්වේල කනවාටත් ළඟදීම බදු’

ඒ විතරක් නොවෙයි, දැන් සුද්දාගේ කාලයටත් වඩා එහා ගිය බදු බරක් මේ ආණ්ඩුව ජනතාව මත පටවමින් ඉන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පසුගියදා ප්‍රකාශ කර තිබුණා ‘චාරිකා සඳහා විදේශගත වන අයටත්, වාහනයක් හිමි අයටත් ආදායම් බදු ෆයිල් එකක් විවෘත කරනවා’ කියලා. දැන් තුන්වේල කන එකත් සෑහෙන අමාරු වැඩක් නිසා, ළඟදීම තුන්වේල කාලා ජීවත් වන අයටත් බදු ෆයිල් එක ඇරේවි. මේ විදියට ජනතාව මත විශාල බදු බරක් පටවපු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු, ඔවුන්ගේ කාර්ය මණ්ඩල, කාර්යාල නඩත්තු කිරීමට වසරකට කෝටි දහස් ගණනක මුදලක් වැය කෙරෙනවා. සබීතා පෙරේරාගේ බිල්ඩිමට කෝටි ගණන් නිකරුණේ නාස්ති කළේ, මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. මේ විදියට ජනතාවගෙන් බදු අය කළත් රට තුළ කිසිම සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ. යුද්ධය පැවැති කාලයේ වුවත් මහින්ද රාජපක්‍ෂ පාලනය ජනතාව මත මෙවැනි බදු බරක් පැටවූයේ නැහැ. යුද්ධය ඉවර කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය 7%කටත් වඩා වැඩි අගයකට අපි ගෙන ආවා. හම්බන්තොටට ගුවන්තොටුපළක්, වරායක් රැගෙන ආවා. රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කළා. මේ පොළොවට දියුණුව ගෙන ආවා. නමුත් අද ‘අපි තමයි ලෝකයේ ඉන්න හොඳම ආර්ථික ඔස්තාර්ලා’ කියලා බලයට ආපු සිරිසේන – වික්‍රමසිංහ දෙබෑයන්ගේ ආණ්ඩුව මේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ටත් වඩා අඩු අගයකට ඇද දමා තිබෙනවා.

‘මෙහෙමත් විකට ආණ්ඩුවක්’

රුපියල අවප්‍රමාණය වීම නිදහසින් පසු ඉතිහාසයේ නොවූ විරූ අන්දමින් සිදු වෙලා. ඩොලරයට අද රුපියල් 160කට වැඩියෙන් ගෙවන්න ඕනෙ. නමුත් ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියනවා ‘රුපියල අවප්‍රමාණය වෙලා නැහැ. මෙතැනි දී වී ඇත්තේ ඩොලරය ශක්තිමත් වීමයි’ කියලා. මංගල සමරවීර මූල්‍ය අරමුදලේ මිල සූත්‍රයට අනුව ගැසට් එකක් ගහලා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමනකොට රෑ 10:00ට නිදාගත්තු ජනාධිපති සිරිසේන උදේ ඒක පත්තරවලින් දැන ගන්නවා. රෑට මංගල නග්ගපු එක උදේ ජනාධිපති සිරිසේන බස්සනවා. මේක ඉතිහාසයේ මෙතෙක් පහළ වූ විකටම ආණ්ඩුවයි.

‘රණවිරු දඩයම’

මේ ආණ්ඩුව ගෙවී ගිය අවුරුදු තුන ඇතුළත සොරකම හැර වෙන කිසිවක් මේ රටේ ජනතාව වෙනුවෙන් සිදු කර නැහැ. නමුත් බටහිර බලවතුන්ට හා දෙමළ ඩයස්පෝරාවට ලබාදුන් පොරොන්දු නම් නියමෙට ඉටු කර දෙනවා. දැන් රණවිරු දඩයම සඳහා පනත් ගෙනාපු හැටි බලන්න. දැනට ගෙනවිත් තිබෙන පනත් තුනම එකට තියලා බලපුවාම තමයි එහි භයානකකම තේරෙන්නේ. පළමුවෙන් ‘අතුරුදහන්වීම’ කියන යුද අපරාධය සිදු කර ඇති බවට හමුදාවට චෝදනා කරන්න, සාක්‍ෂි පනතත් වෙනස් කරලා බොරු සාක්‍ෂි එකතු කරන අර්ථ අධිකරණ කොමිසමක් හැදීමට ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ සම්මත කර ගත්තා. අද ඒ කාර්යාලය පිහිටුවා අවසන්.

ඊට ලැබෙන පැමිණිලි විභාග කරන්න විශේෂ අධිකරණයක් උවමනායි. ඒ සඳහා ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට පනතක් ගෙනවා. ඒකත් දැන් සම්මතයි. මේ අනුව රණවිරුවන්ට අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා හදලා මේ රටේ හදපු විශේෂ අධිකරණයක් මගින් නඩු අහන්න පුළුවන්. මේ රටේ විතරක් නොවෙයි ඒ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කරපු රටක අධිකරණයකට ලැබෙන පැමිණිල්ලක් අනුව අපේ රණවිරුවන්ට විරුද්ධව මේ යටතේ නඩු අහන්න පුළුවන්. දැන් ඒ වැඩ දෙකම හරි. තවත් ප්‍රශනයක් මේ අයට තිබෙනවා. ඒ තමයි ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට’ අත්සන් නොකළ රටක අධිකරණයකට අපේ රටේ රණවිරුවකු කැඳවා නඩු අහන්න බැරි එක. ඒකටත් දැන් තවත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. ඒ අලුත් පනත සම්මත වුණාම ලෝකයේ ඕනෑම රටක අධිකරණයක් අපේ රටේ පුරවැසියකු සාක්‍ෂිකරුවකු ලෙස ඉල්ලා සිටියොත් අපි ඔහුව ඒ රටට ‘උදර්පණය’ හෙවත් පිටුවහල් කරන්න ඕනෙ. අවුරුදු තුනක් තුළ මේ වැඩබැරි ආණ්ඩුව රණවිරු දඩයමට පාර කපපු හැටි කොහොමද? නීතිය හරි විදියට ක්‍රියාත්මක කරපු බුද්ධි අංශ නිලධාරීන්, පාතාලය මර්දනය කරපු පොලිස් නිලධාරින් අද හිරේ. නමුත් නීතියට පිටින් යන පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අද නීතියෙන් සහන ලැබී තිබෙනවා.

‘ණය බර බොරුව’

හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපළත් විකුණා දැමීම සඳහා ආණ්ඩුව පවසන්නේ එහි ණය වාරික ගෙවීමේ අපහසුතාවයි. හම්බන්තොට වරාය සඳහා චීනයෙන් ගත් ණය සඳහා ණය වාරිකය ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් නොවෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනුයි. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ හැදීම සඳහා ගත්තු ණය සඳහා ණය වාරිකය ගෙවන්නේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමයි. මේ දෙකම ලාභ ලබන රාජ්‍ය සමාගම්. ඒ නිසා හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ සඳහා ගත්තු ණය නිසා මහා භාණ්ඩාගාරයට කිසිදු බරක් පැටවී නැහැ. මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාම අගමැතිවරයා බොරුවක් කීවා. ණය බර නිසා හම්බන්තොට වරාය විකුණුවා සහ මත්තල ගුවන් තොටුපළ විකුණනවා කියා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පවසන්නේ සම්පූර්ණයෙන් අසත්‍යයක්. ඉදිරියේදී චීනය කැපූ ‘ක්‍රා ඇළ’ හරහා තායිලන්තයේ සිට නව සේද මාවතේ පැමිණෙන නැව්වලට ඉන්ධන හා වතුර පමණක් සැපයුවත් හම්බන්තොට වරාය ලාභ ලබන තැනක් බවට පත් වෙනවා. ඉහත ආකාරයට බොරුම කියමින් මේ ආණ්ඩුව කරන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනය හදපු ජාතිය සතු ආර්ථික උපායමාර්ගික මහා සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමයි.

‘බලවතුන්ගේ කටගැස්මක් බවට පත්වීම’

දැන් හම්බන්තොට වරාය චීනයට ලබාදී මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දුන්නාම මොකද වෙන්නේ? ගැටුම් පවතින බලවතුන් දෙදෙනෙකුගේ කටගැස්මක් බවට අපේ ජනතාව පත්වීම නොවෙයි ද? දැන් බලන්න සිරියාවට සිදු වුණු දේ. සිරියාව තුළ රුසියානු හමුදා කඳවුරු සහ රුසියානු ව්‍යාපාර තිබුණා. ඒ නිසා ඇමෙරිකාව තලේබාන් සහ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් හරහා සිරියාවට පහර දෙන විට රුසියාව මැදිහත් වුණා. ඒ හින්දා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් පහර දුන්නත් රුසියාව උඩින් යටින් පහර දුන්නත් මියයාමට සිදුව ඇත්තේ සිරියානුවන්ටයි. ඇත්ත කතාව තමයි, ‘බලවතුන්ගේ දඩබිමක් බවට කිසිම රටක් පත්වීමට ඉඩ දිය යුතු නැහැ’ කියන එක. මේ අඳබාල, නරිනාටක හවුල අද හම්බන්තොට පමණක් නොවෙයි මුළු රටම බලවතුන්ගේ කෙළිමඩලක් බවට පත්කර තිබෙනවා. ‘මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට චීනයේ ණය උගුලක හිර කළා. පගාව අරගෙන හම්බන්තොට වරාය චීනයට විකුණන්න සූදානම් වුණා’ කියලා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් මඩ ගසා තිබෙනවා. නමුත් ‘මහින්ද රාජපක්‍ෂ පාලනය තිබුණානම් අද හම්බන්තොට වරාය චීනයට විකුණන්නෙත් නැහැ. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න ඉඩ ලැබෙන්නෙත් නැහැ.’ කියා අපි කියනවා. ඒවා හැදුවේ මේ රටේ ප්‍රයෝජනයටයි.

‘උතුර දවසින් දවස අස්ථාවර වෙනවා’

දැන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් කියනවා ‘උතුරට එල්ටීටීඊය ඕනා’ කියලා. ඊළාම් සිතියම පසුබිමේ තියාගෙන ඡන්දය ඉල්ලපු විජයකලාගෙන් ‘එහෙම ප්‍රකාශයක් කළේ ඇයි ?’ කියලා ඇහුවාම කියන්නේ, ‘උතුරේ ළමයි දූෂණය වෙනවා. හැමතැනම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒකට මට ආතතිය හැදුණා. ඊට පස්සේ එල්ටීටීඊය ඕනෙ කීවා’ කියලයි. අපි කියනවා විජයකලා නෝනාට, උතුරේ ළමයි දූෂණය වෙන්නේ, මත්ද්‍රව්‍ය විකුණන්නේ, ආවා කල්ලිය කපලා කොටලා මිනිස්සු මරන්නේ ඔයාලා ආණ්ඩු කරන්න පටන් ගත්තාට පස්සේයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ සාමකාමීව පැවැති උතුර තමයි අද මේ විදියට නීතියක් ක්‍රියාත්මක නොවන තත්වයට පත්ව තිබෙන්නේ’ කියා.

‘උතුරේ පොලිස් ආදර්ශ පාඨය’

පසුගියදා උතුරේ අන්තවාදීන් නිදහසේ කළු කොටි සමරනු ලැබුවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් මරා දැමූ, මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් තමයි උතුරේ තොරන් ගහලා, පහන් පත්තු කරලා, එල්ටීටීඊ ලාංඡන පාරේ ඇදලා සමරනු ලැබුවේ. කළු කොටි සමරන විට නීතිය නැමීමේ මහා කප්පිත්තා පොලිස්පති පූජිත ජයසුන්දර අපූරු උපදෙස් ටිකක් පොලිසිය වෙත ලබා දෙනවා. ‘මේවා දැක්කේ නැහැ වගේ ඉන්න. ඉනේ පිස්තෝල දා ගන්නත් එපා. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න’ කියලයි එයා උපදෙස් දෙන්නේ. දැන් උතුරේ පොලිසියේ ආදර්ශ පාඨය තමයි ‘දෙන දේ කා – වෙන දේ බලා සිටීම’ මැර කල්ලි, පාතාල කල්ලි, ත්‍රස්ත කල්ලි දැන් උතුරේ බලා ඉදිද්දි හිස ඔසවනවා. එහෙම තියෙද්දි විජයකලා කොටින්ට ආරාධනා පත්‍ර යවනවා. උතුර ඒ විදියට අරාජික වෙද්දි අද නන්දිකඩාල් ඇතුළු උතුරේ යුදමය මර්මස්ථානවල පිහිටි හමුදා කඳවුරු 33ක් ගැලවෙනවා. යුද හමුදාව 25%කින් කප්පාදු කෙරෙනවා.

‘මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය’

අද උතුරේ නාවික හමුදා සෝදිසි කිරීම් නවතා තිබෙනවා. දකුණු ඉන්දියාවේ සිට කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය නිදහසේ උතුරට එනවා. යාපනය ඇතුළු උතුරේ බොහෝ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය යහමින් පැතිරෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් තමයි අද ඒ විෂම මනසින් කුඩා දරුවන් පවා දූෂණය කර මරා දමන්නේ. යාපනය ප්‍රදේශයේ පමණක් නොවෙයි අද රට පුරාම වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් යනවා. ගම්බද තරුණයන් පවා ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් තියෙනවා.

දැන් රෑ 10න් පස්සේ රටේ නායකයා අගමැතිවරයා. උදේ 10 ඉඳලා රෑ 10 වෙනකම් නායකයා ජනාධිපතිවරයා. මේ දෙබෑයන් රටම විනාශ කරනවා. නමුත් අපේ හෘදසාක්‍ෂිය අපෙන් අහනවා ‘මේ රට ඒ දෙන්නගේ රට ද? මේක අපෙත් රට. මේ රටට එහෙම විනාශ වෙන්න ඉඩ දී නිහඬව සිටිය හැකි ද?’ කියා. ඒ නිසා මේ මව් පොළොව මේ ත්‍රාඩ පාලනයෙන් ගලවාගෙන නැවත හරි මඟට ගැනීම එයට ආදරය කරන අප සැමගේ අනුල්ලංඝණීය වගකීමක්. එහෙම නොකළොත් වෙන්නේ ‘අපිත් වැනසී රටත් වැනසීම’ පමණයි.

‘අංක 01, මේ ආණ්ඩුව බිඳවැට්ටවීම’

උතුර අස්ථාවර වෙද්දී, පාතාලය හිස ඔසවද්දී අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාන්තාවකට බැන වැදුණා කියා ස්වාමීන්වහන්සේලා හිරේ දැම්මාට, තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා කියා පිළිගන්නා විජයකලා මහේෂ්වරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක් අයකුට හෝ හරියට නීතිය ක්‍රියාත්මක වුණොත් තමයි අනෙක් අය කට පරිස්සම් කර ගන්නේ. මේ සියල්ල සිදු වෙද්දී සැබෑ විපක්‍ෂය මර්දනය කරනවා. සැබෑ විපක්‍ෂය තමයි ඒකාබද්ධ විපක්‍ෂය. එය දැන් මර්දනය මැද්දේ ශක්තිමත්ව පෙරට එනවා. දැන් ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70යි. ඒ ගණන අපි 113 දක්වා වැඩිකර ගත යුතුයි. 113ට එහා ඒ ගණන වැඩිකර ගන්නකොට අපට පොඩි අපුලක් දැනෙන අයත් ඉන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ, අංක 01 තමයි මේ ‘ත්‍රාඩ පාලනය බිඳවැට්ටවීම.’ අපි මේ ආණ්ඩුව වට්ටලා මහින්ද රාජපක්ෂ අගමැති කරපු ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව යටතේ ජනාධිපතිවරණයකට යාමටයි සූදානම් විය යුත්තේ.

‘ගම් පෙරළිය වුණේ පෙබරවාරි 10 වැනිදායි’

දැන් මංගල පින්සිරි මහත්තයා ‘ගම් පෙරළියක්’ අරන් එනවා. ‘සමෘද්ධිය දෙන්නම්, අරවා මේවා දෙන්නම්’ කියමින් තමයි එන්නේ. ඒවා සියල්ල ගන්න. ඒවා 2018 පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණයේ ප්‍රතිඵල. නමුත් මතක තියා ගන්න මංගල පින්සිරි මහත්තයෝ,‘සැබෑ ගම් පෙරළිය සිදු වුණේ පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයේදීයි. ඔයාලා දැන් මොන පෙරළිය ගෙනාවත් අපි පෙබරවාරි 10 වැනිදා ලැබූ ජයග්‍රහණයත් සමඟම ඉදිරියට ගිහිල්ලා ළඟදීම ඊළඟ ආණ්ඩු පෙරළියත් සිදු කරනවා.’ කියලා.

අපි සැබෑ විපක්‍ෂය ලෙස එහෙම කටයුතු කරද්දී ආණ්ඩුවේ ඇතුළේ ඉන්න විපක්‍ෂය ලෙස දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. දැන් මේ ජවිපෙ රතු අලි පැටියාට විජයකලා ‘උතුරට එල්ටීටීඊය යළි උවමනායි’ කීවාම ඇහෙන්නේ නැහැ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ විකුණන ඒවා, පාතාලය හිස එසවීම, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන එයා නිහඬයි. ඒ හැම දෙයකදීම කට වහන් ඉන්නවා. නමුත් ‘මහින්ද රාජපක්‍ෂ’ කියන වචනය ඇහුනොත් කට ඇරගෙනම ඉන්නවා.

‘රතු අලි පැටියාට මළ පැනීම’

පසුගිය සිකුරාදා රතු අලි පැටියාට පාර්ලිමේන්තුවේදී මළ පැන්නා. අපි එදා පාර්ලිමේන්තුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමා පාඨය කීවා. ‘රටකට ඕනේ අපමණ අගයක් – ඒකට ඕනේ මෛත්‍රී යුගයක්’ කියලයි අපි කීවේ. ’අර කාටද ගහනකොට චංචලාට ඇඩෙනවා’ කියලා කියනවානේ. ඒ වගේ මේ සිංදුව අහලා එදා රතු අලි පැටියාට යකා වැහුණා. ඔයාලටත් හම්බන්තොට රතු අලි පැටියෙක් කේන්ති ගස්සන්න ඕනෙ නම් තියෙන්නේ අර තේමා පාඨය මතක් කරන එක විතරයි. එහෙම මළ පනින්නේ ඒ අය කර ගහලා මේ ගෝත ආණ්ඩුව 2015 දී බලයට ගෙනාපු නිසයි. එදා බොරු බේගල් දෙසාබාලා දෙමළ බෙදුම්වාදයට පාර කපන මේ ආණ්ඩුව ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ඉටු කළේ තමන් හින්දයි මේ විදියට එයාලාට කේන්ති යන්නේ. රතු අලි පැටව්, සම්බන්ධන්ලා විතරක් නොවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අල්ලාගෙනයි මේ පාපතර මෙහෙයුම ඉදිරියට යන්නේ. ඒ නිසා මේ පාපතර මෙහෙයුම පැරදවීමේ වගකීම තිබෙන්නේ අපටයි. ඒ සඳහා රටම පෙළගස්වන අතරේ ඔබ වෙත ආවේ ඔබත් එහි කොටස්කරුවකු කර ගන්නයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

6,660 Viewers

5 Comments to “හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට.. ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට…”

  1. Asan says:

    Mathala vikinima itha hodadi.mahindaga thavath ek asarthaka vyapruthiyak.mahinda hambanthota lankava capital city eka kirima Moda asarthaka vadapilivala avasan Kala uthuii

  2. Gayantha says:

    Toyyanta jeppanta anuwa Ranil haamu kiyanne mola gediyak lu nai !

    • බබා says:

      ඇත්තටම මොළයක් තමයි.නැත්තම් 8පාස් බයි හැත්ත වනසපු රට⁣ ගොඩගන්න එක ලේසිද? හම්බන්තොට අගනුවර කරන්න බයියට ඇතිවෙච්ච මෝඩ ආසාව නිසා රටක් ලෝකෙට පරම්පරා ගාණකට ණය කලා.මේව සහගහන අපරාධ. ඒ මදිවට ඒ ටිකවත් සාධාරණව කලේ නෑ.කෝටි ගනන් ගසා කෑවා. දැන් විකුණලාවත් ගොඩගන්න බෑ.හැබැයි මේ විකිණුවා නෙවෙයි.බදු දෙනවා. පර්සි මහේන්ද්‍ර ශ්‍රැන්ගිලා චීනෙට දුන්නෙ රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරමින් සින්නක්කරව.බයියට කඩේ යන තමුන් වගේ වහලුන්ට ඒව පේන්නෙ නැද්ද?

  3. 8 පාස් says:

    නියමයි.

  4. sunil says:

    ඔව්වා කියාපිය මැරිලා ඉපදුන උන්ට

Main News