හරි වැඩපිලිවෙලක් නැතිව බොරු කයිවාරු එපා..- අමරවීරට විරෝධය

July 29, 2018 at 8:40 am | lanka C news
හරි වැඩපිලිවෙලක් නැතිව බොරු කයිවාරු එපා..- අමරවීරට විරෝධය

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අමාත්‍යතුමනි,

පාන්පිටි බද්දක් අය කිරීමේ මෙහෙයුම දියත් කරනවා යනුවෙන් ඔබ විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව.

ඔබ විසින් කරන ලද උක්ත ප්‍රකාශයට  ප්‍රතිචාර දක්වන සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංමය සදහන් කරන්නේ තිරිගු පිටි සදහා වන බද්ද ඉහළ නැංවීමට කටයුතු කල හොත් සිය නිෂ්පාදන සදහා අය කරන මිල ගණන් ද ඉහළ දමන බවයි.

තවදුරටත් ඔවුන් පවසන්නේ පාන් සදහා අය තරමින් ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද හා අනෙකුත් බදු අඩු නොකරන්නේ නම් පාන්ගෙඩියක මිල රැපියල් 10 කින් ඉහළ දමන බවයි.

තිරිගු පිටි නිෂ්පාදන පරිභෝජනය කිරීම පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යට මහත් තර්ජනයක් වුවද තිරිගු පිටි නිෂ්පාදන සදහා විධිමත් විකල්ප නිෂ්පාදන නොමැති වීම පාරිභෝගිකයින්ට මහත් ගැටලුවකි.

එවන් වටපිටාවක් තුළ තිරිගු පිටි පරිභෝජනය කිරීම හැර වෙනත් විකල්පයක් පාරිභෝගිකයින්ට නොමැති අවස්ථාවක ඔබගේ  ප්‍රකාශය මත අදාල නිෂ්පාදනවල මිල ඉහළ දැමුවහොත් පාරිභෝගිකයාට සිදුවන්නේ මහත් අසාධාරණයක් බැවින් තිරිගු පිටි නිෂ්පාදනවලට විකල්ප නිෂ්පාදන හදුන්වා දෙමින් එවැනි  ප්‍රකාශ නිකුත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින අතර අප රටේ ඉදිරියේදී ඇතිවන වී නිෂ්පාදනයේ අතිරික්තයේ ප්‍රතිලාභ ලබා ගනු ලබන්නේ මෙරට මහාපරිමාණයේ වී මොල් හිමියන් අතලොස්සක් බව ඔබ නොදැන සිටීම පුදුම සහගත බවද අවධාරණය කරමි.

තිරිගුපිටි නිෂ්පාදන සදහා වන විකල්ප නිෂ්පාදන ආපනශාලාවල ඇති දැයි හොදින් නීරීක්ෂණය කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින අතර තිරිගු පිටි නිෂ්පාදන සදහා තිත තැබීම අපගේ අරමුණ වුවද පැහැදිලි වැඩ පිළිවලක් ඒ සදහා නොමැතිව හුදු දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කරමින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොකරන ලෙසද අප සංවිධානය ඔබගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

9,859 Viewers
Main News