හාල් කිලෝව සීයට, පොල් ගෙඩිය එකසිය පනහට ගියාමයි මුන්ට වගා සංග‍්‍රම මතක් වෙන්නේ..- දිලූම් දිදුලන කතාවක් කරයි..

October 8, 2017 at 3:00 pm | lanka C news
හාල් කිලෝව සීයට, පොල් ගෙඩිය එකසිය පනහට ගියාමයි මුන්ට වගා සංග‍්‍රම මතක් වෙන්නේ..- දිලූම් දිදුලන කතාවක් කරයි..

බලයට පත්ව වසර දෙකහමාරක් යනතුරුම ගොවියාත් ගොවිතැනත් අමතක කර දමා රටේ කෘෂිකර්මාන්තය වලපල්ලට යැවූ ආණ්ඩුව දැන් ව්‍යාජ වගා සංග්‍රාම කරමින් ජනතාව නැවත වරක් ගොනාට ඇන්දවීමට උත්සාහ දරමින් සිටින බවත් දිලුම් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

දිලුම් අමුණුගම මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් තරුණ සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අලුතෙන් පක්ෂයක් ගොඩනැගෙන විට ඒ වටා ඒකරාශී වන තරුණ ජවය ඉතා වැදගත්. පසුගිය ආණ්ඩුව වෙනස් කරන්න හේතු වූ හේතුව කුමක් වුවත් වෙනසට මුල් වූ ප්‍රධාන සාධයක් ලෙස තරුණ ඡන්දවල හැසිරීම පෙන්වා දිය හැකියි. ඒ නිසයි ඕනෑම පක්ෂයක මැතිවරණ පොරොන්දු අතර ඉහළින්ම තරුණයන් ඉලක්ක කරගත් පොරොන්දු සඳහන් කරලා තියෙන්නේ.

මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි දීපු පොරොන්දු ප්‍රකාශය තමයි ඊට හොඳම සාක්ෂිය. ඒකේ පළමුවෙන්ම සඳහන් වෙච්ච කරණා වැඩිහිටියන්ට වැදගත් දේවල් නොවෙයි. ෆ්‍රී වයිෆයි හෝ නොතෙමී යන්න පුංචි කාර් ගන්න එක වැඩිහිටියන්ට තැකීමක් තියෙන දේවල් නොවෙයි. රැකියා දස ලක්ෂය, වොක්ස්වැගන් කර්මාන්තශාලා වගේ සියල්ලෙන් බලාපොරොත්තු දුන්නේ තරුණයන්ටයි.

වෙනස කියන වචනය භාවිතා කළෙත් තරුණයන් ඉලක්ක කරගෙනයි. අද රටේ තරුණ තරුණියන්ගෙන් බහුතරයක ඉපදුණෙත් අපේ රජයේ පාලන කාලයෙයි. ඒ නිසා ඒ අය හැමදාම දැක්කෙ අපේ ආණ්ඩු. ඒ අයට බලාපොරොත්තුවක් දුන්නා මොකක් හරි වෙනසක් කරමු කියලා. තරුණයන්ගේ ඡන්ද ටික පෙට්ටියට දාගැනීම තමයි මේ අයගෙ අරමුණ වුණේ.

ජනතා විමුක්ති පෙරමුණ වුණත් සයිටම් එකට විරුද්ධව වැඩකරන්නේ ඇත්තටම සයිටම් විරෝධී නිසා ද එහෙමත් නැත්නම් සයිටම් විරෝධී ඡන්ද ටික එකතු කර ගැනීමේ අරමුණෙන් ද කියන එක අපි කල්පනා කළ යුතුයි. පසුගිය දවස්වල පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කරන්න කියලා. පනත ගෙනාව ගමන් තියන්න තිබුණු පළාත සභා මැතිවරණයත් කල්ගියා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් යටපත් කරලා පළාත සභා පනතට සංශෝධනයක් ගෙනාවා කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කරන්න කොට්ඨාස ක්‍රමය යටතේ. එතකොට මුළු පළාත් සභා සියල්ලම කොට්ඨාස ක්‍රමයට යනකම් මැතිවරණ තියන්න බැහැ. මේ පනත සම්මත වුණේ නැත්නම් මේ වෙනකොට උතුරු මැද, සබරගමුව පළාත් සභා විසුරුවා හැරලා ඉවරයි.

එහෙම වුණා නම් දැන් මැතිවරණ සටන ආරම්භ වෙලා තියෙන්නේ. රනිල් පාර්ශ්වය වගේම මෛත්‍රී පාර්ශ්වයත් අන්ත පරාජයක් ලබලා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ආණ්ඩුව පරදින්න යනකොට රට ඉස්සරහා බොරුවට සයිටම් එකට විරුද්ධව ආණ්ඩුව ගෙදර යා යුතුයි කියන ජනතා විමුක්ති පෙරමුණත් මේ පනතට පක්ෂව ඡන්දය දුන්නා.

ඒකෙන්ම පේනවා ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන ආදරේ සයිටම් විරෝධී සටනට ද එහෙමත් නැත්නම් කොල්ලො ටිකගේ ඡන්දවලට ද කියලා. ඉතිහාසය ගත්තම ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එල්. ටී. ටී. ඊ එක කියන මේ කොයි කවුරුත් තරුණයන් ඝාතනය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි තරුණයන ඝාතනය නොකළ එකම පක්ෂය.

එක්සත් ජාතික පක්ෂය උපාධිධාරීන්ගේ ඔලු පැලුවා. හැබැයි මහින්ද මහත්තයා උපාධිධාරීන් සියලුදෙනාට රැකියා දුන්නා. කොටි ත්‍රස්තවාදීන්ගේ අඳුරු යුගය නිමා කරන්න මූලික වුණෙත් නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එහෙනම් තමුන්නාන්සේලාට හිතෙනවා ඇති මහින්ද මහත්තයා වගේම රෙජී රණතුංග මහත්තයාගේ පුතා ප්‍රසන්න රණතුංග මහත්තයලා අපි එකතු වෙලාමේ මොකක්ද කරන්න යන්නේ කිලා.

මොකටද මේ නෙලුම් මල පොහොට්ටුවක් හදාගෙන දගලන්නේ කියන එක අපි පැහැදිලි කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ක්‍රියාත්මක වූ බටහිර කුමන්ත්‍රණය තමුන්නාන්සේලා දන්නවා. මහින්ද මහත්තයා බටහිරට අවනත නොවූ නිසා තමයි මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිවරණයේ දී සුළු ගණනකින් මහින්ද මහත්තයා පරාජයට පත් වුණා.

මහින්ද මහත්තයා ගෙදර ගියේ නැවත දේශපාලනයට එන්න නොවෙයි. ගම්වල මිනිස්සු බස් අරගෙන මහින්ද මහත්තයා බලන්න ගියා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ප්‍රසන්න මහත්තයලා අපි එකතු වෙල තීන්දුවක් ගත්තා ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න නම් මහින්ද මහත්තයා ආයෙත් දේශපාලනයට ගෙන එන්න ඕනේ කියලා.

ඒ සඳහා තමයි මහින්ද සුළඟ ආරම්භ කළේ. ප්‍රසන්න කියන්නේ එහි මුල සිටම හිටප නායකයෙක්. මහින්ද සුළඟ නිසා මෛත්‍රීපාල මහත්තයාට අකමැත්තෙන් හරි සිදුවුණා මහින්ද මහත්තයාට සටන භාරදෙන්න. ඇයි අකමැත්තෙන් කියන්නේ. එතුමා කවදත් කැමැත්තෙන් හිටියේ රනිල් මහත්තයාට තුනෙන් දෙකක ආණ්ඩුවක් හදලා දෙන්න මිසක් අපෙ පක්ෂය දිනවන්න නොවෙයි.

නමුත් ඒක කරගන්න බැරි වුණා. මැතිවරණයේ දී සන්ධානය දිනනවා කියලා බුද්ධි අංශ වාර්තාව ලැබුණම ලියුම් ගැහුවා, ජාතිය අමතලා කිව්වා දින්නත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ කුමන්ත්‍රණය හරිගියේ නැහැ. හැබැයි පක්ෂයේ සභාපතිවරයා අපේ පක්ෂයේ හතළිස් පස්දෙනෙක් යවලා රනිල්ට ආණ්ඩුවක් හදලා දුන්නා.

මෙච්චර රනිල් වික්‍රමසිංහට තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්න යන කෙනා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? බලන්න දැන් අපේ පක්ෂයේ හොඳම සංවිධායකවරුන් අයින් කරලා දුර්වල සංවිධායකයෝ දානවා. ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දය ඉල්ලා දිනන්න බැරි අය තමයි දාන්නේ. පක්ෂය දුර්වල කරලා 2020 දි රනිල් ජනාධිපති කරවලා පුළුවන් නම් අගමැති කට්ටවත් ඉල්ලගන්න තමයි මේ උත්සාහ කරන්නේ.

ඒ දිහා බලාගෙන අන්ධයෝ වගේ ඉන්නද අපට කියන්නේ? 2020 දී රනිල් ජනාධිපති වෙනකම් උඩ බලන් ඉන්නද අපට කියන්නේ? ඒක කරන්න අපට පුළුවන්කමක් නැහැ. ඉතිහාසයේ තිබ්බ සියලුදේ අද වෙනස් කරමින් යනවා. මහින්ද මහත්තයාට අපි ආදරය කරන්නේ අපේ රට බේරා දුන් නායකයා නිසයි. ඈත අතීතයේ පටන් අපෙ රජවරුන්ගෙ සිට මහින්ද මහත්තයා වෙනකම් නායකයෝ මේ රට එකම රටක් ලෙස ආරක්ෂා කරලා දුන්නා.

දැන් රටේ සම්පත් විකුණගෙන යනවා. හම්බන්තොට වරාය වික්කා. මත්තල ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ටික විකුණන්න යනවා. මම ඊයේ දැක්කා වගා සංග්‍රාමයක්. පොල් ගෙඩිය රුපියල් 150ට ගිහින්, හාල් සීයට ගියාම තමයි හිටපු කෘෂිකර්ම ඇමැතිතුමාට වගා කරන්න මතක් වෙලා තියෙන්නේ. රට කෑලි නවයකට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් එනවා. ජනතාව මේකට විරුද්ධයි.

මේ වැඩේට විරුද්ධව මොකුත් නොකළොත් පාර්ලිමේන්තුවේ හිටපු කාලකණ්නින් 225 දෙනා අතරට අපිත් එකතු වෙනවා. අන්න ඒ නිසා තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය එනවා. එදාට ඡන්ද පොළට ගිහින් ආණ්ඩුව ගෙදර යවන්න කියලා කතිරය ගහන්නේ කාටද?

නිදහස් පක්ෂය එපා කියලා අලියට ගැහුවත් අලියා එපා කියලා නිදහස් පකෂයට ගැහුවත් සීනුවට ගැහුවත් දෙමළ සන්ධානයට ගැහුවත් මුස්ලිම් කොංග්‍රසයට ගැහුවත් ඒ හැම ඡන්දයක්ම යන්නේ ආණ්ඩුව. ඡන්ද පත්‍රිකාවේ මොන ලකුණට ගැහුවත් වැටෙන්නේ ආණ්ඩුවට.

එතකොට ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? ආණ්ඩුව ගෙදර යවන ලකුණ මේ වෙනකොට ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි පොදුජන පෙරමුණේ නෙලුම් පොහොට්ටුව. මේ ආණ්ඩුව ගෙදර යවන ලකුණ තමයි නෙලුම් පොහොට්ටුව’

– ප‍්‍රදීප් අනුර කුමාර

6,739 Viewers

One Comment to “හාල් කිලෝව සීයට, පොල් ගෙඩිය එකසිය පනහට ගියාමයි මුන්ට වගා සංග‍්‍රම මතක් වෙන්නේ..- දිලූම් දිදුලන කතාවක් කරයි..”

  1. චොප්පේ මල්ලි says:

    රුසියාවෙන් යුද නැවකුත් ගත්ත. කොරියාවට සම්බාදක දැම්ම. ලකාව බෙදල බුද්ද්ගම පන්චිකවත්තට ගිහිල්ල දාලා මල් වත්හ් සුද්ද කරනවා.බය වෙන්න එපා.

Main News