හෙද උපාධිධාරීන් සදහා වෙනම වැටුප් තලයක්…

April 17, 2018 at 2:04 am | lanka C news
හෙද උපාධිධාරීන් සදහා වෙනම වැටුප් තලයක්…

හෙද උපාධිධාරීන් සදහා වෙනම වැටුප් තලයක් නිර්මාණය කිරීම සදහා යෝජනා ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව අවසන් කළ උපාධිධාරින් 93 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මේ බව ප්‍රකාශ කළේය.

පත්වීම් ලිපි ප්‍රදානය පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“හෙද හෙදියන්ට උපාධියක් ලබාදීමේ සටන ආරම්භ කළේ 2002 එක්සත් ජාතික පක්ෂ රජය සමයේයි. ඒ සදහා කැබිනට් අනුකාරක සභාවක් ද පත් කළා. රුපියල් සත වලට ආරගල නොකර උපාධිය හිමිකර ගත යුතු බවයි මම පෙන්වා දුන්නේ. වෘත්තීයවේදීන්ට සංවර්ධිත රටවල දී වැඩි වැටුප් හිමි වෙනවා. මෙම යෝජනාවට වෛද්‍ය සංගම් විරෝධය පළ කළත් අද වන විට එම විරෝධතා අවසන් වී තිබෙනවා. හෙද හෙදියන් 38000 ක් අවශ්‍ය වුවත්, දැනට සිටින්නේ 31000 ක් පමණයි. හෙද හෙදියන් වැඩි කිරිම සදහා හෙද පාසල් 04 ක් ද සංවර්ධනය කරනවා. හෙද උපාධිධාරීන් 2000 බැගින් පුහුණු කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද පීඨයක් ආරම්භ කර තිබෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධක්ෂවරුන් සහ වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

5,391 Viewers
Main News