හෙරොයින් සමග අක්ක නගෝ අල්ලති…

November 24, 2018 at 5:30 pm | lanka C news
හෙරොයින් සමග අක්ක නගෝ අල්ලති…

හෙරොයින් මිලිග්‍රෑම් 4270 ක් සන්තකයේ තබාගෙන සය (06) හැවිරිදි මිනිපිරියද සමග ත්‍රිරෝද රථයකින් අම්බලන්ගොඩ නගරයේ ජාවාරම් කරමින් සිටි අක්ක – නගෝ දෙදෙනකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් දෙදෙනා බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 දෙසැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මෝදරපාර, පටබැදිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කුඩා විදානලාගේ ඉරෝෂණී (40) සහ කුඩා විදානලාගේ ප්‍රබෝධනී (38) යන අක්ක – නගෝ දෙදෙනාය. මෙයින් පළමු සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2160 ක් සහ දෙවන සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2110 ක් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලැබුණ තොරතුරකට අනුව අම්බලන්ගොඩ නගරයේ ධාවනය කරමින් තිබූ අදාල ත්‍රිරෝද රථය සැකකාරියන්ද සමග අත් අඩංගුවට ගෙන පොලීසියට රැගෙන විත් කාන්තා පොලිස් නිලධාරිණියන් ලවා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් තොගය සොයා ගෙන තිබේ. මෙයින් දෙවන සැකකාරිය තමා සන්තකයේ තිබූ හෙරොයින් තොගය පොලීසියේ අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඇයගේ මිනිපිරියගේ (දියණියගේ දියණිය) යට කලිසමේ සගවා තිබියදී සොයාගත් බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකාරියන් දෙදෙනා හෙරොයින් සමග අවස්ථා ගණනාවකදීම අත් අඩංගුවට පත්ව දඩ නියම වූ දෙදෙනෙක් බවත් ඔවුන්ට එරෙහිව නඩු කීපයක් තවමත් විභාග වෙමින් තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඒ අතර ගංජා හා කසිප්පු ජාවාරම් කිරීම් සම්බන්ධයෙන්ද නඩු තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. මෙයින් පළමු සැකකාරියගේ ස්වාමිපුරුෂයා මියගොස් තිබෙන අතර දෙවන සැකකාරියගේ ස්වාමිපුරුෂයා විදේශ ගත වී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

සැකකාරියන් දෙදෙනාගේ මවද අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි ප්‍රකට කාන්තාවක් බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. ඇය අවස්ථා ගණනාවකදීම හෙරොයින් සමග අත් අඩංගුවට ගෙන දඩ නියම කර තිබූ බවත් දිගින් දිගටම හෙරොයින් ජාවාරමේ නිරත වීම මත මේවන විට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

– ජයකාන්ත ලියනගේ

7,478 Viewers