හෝටලයක් කඩා ඉවත් කරයි.. කොස්ගොඩ උණුසුම් තත්වයක්..

August 10, 2018 at 8:02 am | lanka C news
හෝටලයක් කඩා ඉවත් කරයි.. කොස්ගොඩ උණුසුම් තත්වයක්..

කොස්ගොඩ, මහ පැලෑන ප්‍රදේශයේ මුහුදු වෙරළේ අනවසරයෙන් ඉදිකරන ලද කුඩා හෝටලයක් සහ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් කඩා ඉවත් කිරීමට කටයුතු කල බව කොස්ගොඩ පොලීසිය කියයි.

රජයේ නියෝගයකට අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කුඩා හෝටලය කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මෙම කුඩා හෝටලය කඩා ඉවත් කිරීමට පියවර ගත් බව කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයද මෙම කුඩා හෝටලයට යාබදව වෙරළ තීරයේ ඉදිකර තිබෙන බැවින් එයද කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි සිටි කැස්බෑවන් සහ කැස්බෑ පැටවුන් වන ජීවී දෙපාර්තමේතුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන මුහුදට මුදාහැරීමට කටයුතු කළේය.

මේවා කඩා ඉවත් කිරීමේදී එවායේ අයිතිකරුවන් විසින් විරෝධය දැක්වූ බවද පොලීසිය කියයි. විරෝධතාකරුවන් ගාලු – කොළඹ මාර්ගය වසා විරෝධතා දැක්වීමට උත්සාහ කලද එය ස්වල්ප වේලාවකට පමණක් සීමා විය. සියළු විරෝධතා කරුවන් විසුරුවා හැරීමටද පොලිසිය කටයුතු කල අතර සිද්ධිය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියත් ඔවුන් විරෝධතාවයන්ට සහභාගී නොවූ බවද පොලීසිය කියයි.

හෝටලය සහ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය ඉවත් කිරීමට එරෙහිව යම් පිරිසක් විරෝධතාවයේද නිරත විය. මෙම ස්ථානයට 200 ක පමණ පිරිසක්ද එක්ව සිටි අතර විරෝධතාවයේ නිරත වූයේ සුළු පිරිසක් පමණි. කොස්ගොඩ පොලිසිය සදහන් කරන්නේ එම විරෝධතාකරුවන් අනවසර ඉදි කිරීම් වල අයිතිකරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් වන බවයි. පැමිණ සිටි පිරිසෙන් විශාල පිරිසක් සිද්ධිය නැරඹීමට පැමිණ සිටි අය බවත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමට පක්ෂව කටයුතු කරන අය බවත් කොස්ගොඩ පොලීසිය කියයි. විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කළේ සිය ජීවන වෘත්තිය සලසා ගත් ව්‍යාපාර මෙසේ ඉවත් කිරීම ඉතා අසාධාරණ බවයි. මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරීමක් හෝ නොකල බවද ඔවුහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අනවසර ඉවත් කිරීම නැරඹීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීම සදහා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කල යුතු බවයි. එසේ නොවුන හොත් තමන්ට මුහුදු වෙරළට හෝ යෑමට අවස්ථාවක් නොසැලසෙන බවද ඔවුන් ප්‍රකාශ කළේය. මෙම අනවසර ඉදි කිරීම් තිබීම තුල තවත් අනවසර ඉදි කිරීම් කීපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවත් මෙම සිද්ධියෙන් පසු බොහෝ විට ඒවා ඉදි නොකිරීමට ඉඩ තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කළේය.

ඉදිකිරීම් ඉවත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ යම් විරෝධයක් මතු වුවත් තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් පසු අනවර ඉදිකිරීම් වල අයිතිකරුවන් විරෝධය දැක්වීමෙන් වැලකී සිටි බව කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. තමන් මෙහිදී මහජන සාමය ආරක්ෂා කර ගැනීමට කටයතු කල බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව හා වන ජීවී දෙපාර්තමේන්තුව ඔවුන්ගේ කාර්යය කල බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන්, පොලිස් කොස්තාපල් රවීන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මහජන හා දේපල ආරක්ෂා කිරීම සදහා කටයුතු කලහ.

– ජයකාන්ත ලියනගේ

13,193 Viewers

One Comment to “හෝටලයක් කඩා ඉවත් කරයි.. කොස්ගොඩ උණුසුම් තත්වයක්..”

  1. Sanidu Sooriarachchi says:

    Good start if not any political influence.

Main News