අද අපේ රටේ සංවර්ධනය මදි..- රෙජිනෝල්ඩ්

January 10, 2018 at 8:40 am | lanka C news
අද අපේ රටේ සංවර්ධනය මදි..- රෙජිනෝල්ඩ්

‘අප ලග ඇති රත්තරං මුතු මැණික් සියල්ල සොරකම් කලත් ලබා ඇති අධ්‍යාපනය සොරකම් කරන්න බෑ’ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ යාපනයේ මාරවන්පුලව් සකලකලා වල්ලි විද්‍යාලයේ දරු දැරියන් සඳහා නොමිලේ උපකරණ බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

‘මෙම ප්‍රදේශයේ ඉගෙනුම ලබන දරුදැරියන්ට අවශ්‍ය අධ්‍යාපන උපකරණ කොළඹ ප්‍රදේශයේ සිංහල ජනතාව ඔබ වෙනුවෙන් රැගෙන ඇවිත් තිබෙනවා.ඔවුන් ජාති, ආගම්, කුල, භාෂා භේදයකින් තොරව සියලුදෙනාම  මිනිස්සු කියා පමණක් සිතමින් තමයි මෙම ගමන ඇවිත් තියෙන්නේ.

ඔබ හොඳින් දන්නවා අවුරුදු 30 කුරීරු යුද්ධය නිසා අප වින්ද දුක් කරදර පිළිබඳ. යුද්ධය අවසන් වීමත් සමග මේ පළාතේ සංවර්ධනය උදෙසා අප සියලුදෙනා සමගියෙන් කටයුතු කළ යුතුයි.උතුරු පළාතේ ඇති ගැටළු විසඳීමට තියෙන එකම මග අධ්‍යාපනයයි.ඔබ සියලුදෙනා දන්නා තවත් කරුණක් තමයි මේ රටේ හොඳම අධ්‍යාපනය ලැබුවන් බිහි වුනේ යාපනයෙන් බව.කොළඹ ප්‍රදේශයට ගොස් බැලුවොත් දැනගන්නට පුළුවන් එහි සේවය කරන වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පීඨාධිපතිවරු යන බොහෝදෙනා පැමිණියේ යාපනයෙන් බව.

බ්‍රිතාන්‍ය කාලවකවානුවේදී පවා යාපනය ප්‍රදේශයේ සංවර්ධනයක් දක්නට ලැබුණේ නැහැ. ඔවුන් සංවර්ධනයක් වශයෙන් දකුණු පළාතේ තේ,පොල්,රබර් වැනි වාණිජ භෝග වගා කිරීම් කළා. ඒ කාලයේ දී යාපනයේ කිසිඳු සංවර්ධනයක් තිබුණේ නෑ.  නිදහසෙන් පසුව තමයි පුංචි සංවර්ධනයක්හරි  සිදු වුණේ.

නමුත් වර්තමානය වන විට අප රටේ ඇති සංවර්ධනය ප්‍රමාණවත් නැහැ. මේ දරුවන්ට ඇති ගැටළු විසඳීමට තියෙන එකම මග අධ්‍යාපනයයි. ඔබ හොඳින් අධ්‍යාපනය ලැබුවොත් ඔබ කොහේ ගියත් ඔබට සියලුදෙනාම ගරු කරනවා. එතකොට කිසිඳු ජාති ආගම් කුල භේදයක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඔබ හොඳ වෛද්‍යවරයෙක් වුනානම් කුලභේදයක් නොතකා සියලුදෙනා ඔබ ළඟට බෙහෙත් ගන්න එනවා. එබැවින් සමාජයට මුහුණ දෙන්න අධ්‍යාපනය හැර වෙන කිසිඳු දෙයක් අවශ්‍ය නැහැ. එපමණක් නොව අප ළඟ තිබෙන සැප සම්පත් මුතුමැණික්, රත්තරන් සියල්ල සොරුන් විසින් සොරකම් කළ හැකියි. එහෙත් කිසිම කෙනෙකුට අධ්‍යාපනය සොරකම් කරන්න බැහැ. එනම් අපි ළඟ තිබෙන වටිනාම සම්පත අධ්‍යාපනයයි. සියලු දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකි සියලුම උදව් ලබා දිය යුතුයි. ඔබ දන්නා තවත් කරුණක් තමයි යුධ සමයේ මේ පළාතේ සිටි හොඳ අධ්‍යාපන මට්ටමක් ඇති, දක්ෂයින් බොහොමයක් යන්නේ පිටරටවල් වලට තවත් සමහරක් සැපසම්පත් බලාපොරොත්තුවෙන් කොළඹ ප්‍රදේශයට ගියා. අවසානයේ මෙහි ඉතුරු වුනේ මොකුත් කරගන්නට බැරි අහිංසක අසරණ ජනතාව පමණයි. එහෙත් අපි සියලුදෙනා ඔවුන්ට උදව් කළ යුතුයි. ඔවුන්ගේ සංවර්ධනය ඉහළ නංවාගැනීමට අප ඔවුන් දිරිමත් කළ යුතුයි.

මා මේ මොහොතේ මතක් කළ යුතු තවත් කරුණක් තමයි අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් එක් දරුවෙක් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇත්තටම මා ඒ ගැන සතුටු වෙනවා.අනාගතයේ දී තවත් මෙවැනි දරුවන් බිහිවිය යුතුයි. නැවත වතාවක් මෙම උපකරණ ගෙනා එම මහතාට මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා. එම මහතා මේ ප්‍රදේශයට එනකොට ගෙනාවේ   ස්නේහය, දයාව, කරුණාව පමණයි. වෙනත් කිසිඳු භේදයක් ඔහු තුළ ඇත්තේ නැ. ඒවගේම මේ සඳහා ඔහු  ඔබලාගෙන් කිසිඳු උදව්වක් බලාපොරොත්තු වුනෙත් නෑ.

මේ රටේ සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත්, මුස්ලීම් ජනතාවත් කිසිඳු භේදයකින් තොරව එකමවකගේ දරුවන් ලෙසින් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් විය යුතුයි’

– වජිර කොඩිතුවක්කු

3,237 Viewers

2 Comments to “අද අපේ රටේ සංවර්ධනය මදි..- රෙජිනෝල්ඩ්”

  1. lion says:

    කොටි දෙමලට කඩේ යන කුරුස කාරයා පන්නමු

  2. indunil says:

    uthurata una lokuma sanwardanaya uddaya nimakireemaya……..

Main News