අනුර කුමාර ජවිපෙ නායකයා අර්ජුන් ඇලෝසියස්ගෙත් කොන්ත්‍රාත්තුවක…

June 11, 2018 at 6:49 pm | lanka C news
අනුර කුමාර ජවිපෙ නායකයා අර්ජුන් ඇලෝසියස්ගෙත් කොන්ත්‍රාත්තුවක…

‘රටට හතුරු 20 එපා’ ජනහමුවට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මේ දවස් වල මොනවද අපිට රටේ තියෙන ප්‍රශ්න. උඩරටට නම් නායයෑම්, පහත රටට ගං වතුර, උතුරට කොටි නැගිටිම්, වෘත්තියවේදීන්ට නම් එක්ටා, ජාතිකවාදීන්ට නම් ෆෙඩරල්, අම්මලාට නම් වසංගත රෝග, තාත්තලාට අපරාධ රැල්ල, මේ සියලු ප්‍රශ්න වලට වගේ වගක් නැතුව ජවිපෙ නායකයාට නින්ද යන්නැති ප්‍රශ්නය විධායක ජනාධිපති ධූරය. අද රටේ ජනතාව ලොකු ප්‍රශ්නයක පොර බදිද්දී ජවිපෙ ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත් කරන්නේ, නිකන් ඉන්න විට විටක් වගේ හප හපා ඉන්න අපිට 20 ඉදිරිපත් කරලා තියෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන මේ විසි වන සංශෝධනයට එරෙහිව මේ වේදිකාවේ විවිධ මත දරන අය එකතු වෙලා සිටිනවා.

අපි විධායක ජනාධිපති ක්‍රමය ස්ථාවර රටක් සඳහා අවශ්‍යයි කියන අරමුණින් 20වන සංශෝධනයට විරුද්ධ  වෙනවා. තවත් පිරිසක් විසිවන සංශෝධනයේ යටි අරමුණ රට විනාශ කරන රනිල් වික්‍රමසිංහට  රටේ බලය මාරු කිරීම නිසා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණත් 20ට අපිට එකඟ වෙන්න බෑ කියන අරමුණින් විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම ජාතිකවාදී පිරිසක් ඉන්නවා විධායක ජනාධිපති ක්‍රමයටත් විරුද්ධයි, පෙඩරල් ක්‍රමයටත් විරුද්ධයි. මේ අය අද බය වෙලා ඉන්නවා විසිවන සංශෝධනය එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උනාට ඒක අස්සට ඔබලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් කාරක සභා අවස්ථාවේ ගෙන ඒවි, ආණ්ඩුව එවැනි පූර්වාදර්ශ දී තිබෙන නිසා මේකට විරුද්ධ වෙනවා.

20 හරහා ලංකාවේ මැතිවරණ සිතියම හකුලා දමයි ද?

ඒ වෙග්ම විසිවන සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම ඊළඟ පුංචි ඡන්දය පැවැත්විය යුතු 2023 දක්වා හකුලා දැමිමේ අවදානමක් තිබෙනවා. කොහොමද ඒක එහෙම වෙන්නේ.  අපි දන්නවා මේ ආණ්ඩුවට ඡන්ද වලට හරිම බයයි. ඡන්ද භීතිකාවක් තියෙනවා. පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවට වඩා මේ ආණ්ඩුව ඡන්දයකට ගෙනියන්න අමාරුයි. පුංචි ඡන්දය ගෙන ආවේ අවුරුදු දෙකහමාරක් පරක්කු කරලා. කුප්‍රකට  ව්‍යවස්ථා මගඩියකින් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමලයි තිබෙන්නේ. දැන් නම් කියනවා දෙසැම්බරයේ තියෙනවා කියලා. ඔය සුත්තරය ඔය විදියටම තමයි පුංචි ඡන්දයටත් ගෙනාවේ. දෙසැම්බරයේ කිට්ටු වෙද්දි ඕක මාර්තු වලට යනවා. මාර්තු ළංවෙද්දී ජූලි වලට යනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණයත් දින නියමයක් නොමැතිව කල් ගිහින් තියෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු උනාම මේ අයට කියන්න පුළුවන් පළාත් පාලන ආයතන ඡන්දය කොට්ඨාස ක්‍රමයට, පළාත් සභාවත් කොට්ඨාස ක්‍රමයට, ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය විතරක් පරණ ක්‍රමයට තියෙන එක ගැලපෙන් නෑ. ඒ නිසා අපි ඒකත් කොට්ඨාස ක්‍රමයට පවත්වමු කියලා. ඒ සදහා ව්‍යවස්ථාව සංශෝධනය කරලා සීමා නිර්ණ කොමිසම පත්කරලා ඒකේ වාර්තාව ක්‍රියාත්මක වනතුරු කියලා දින නියමයක් නොමැතිව ඡන්දය කල් දමන්න පුළුවන්.

2019 නොවැම්බර් නමයත් දෙසැම්බර් නවයත් අතර පැවැත්විය යුතු බවට නියම කරලා තියෙන ජනාධිපතිවරණය සීමා නිර්නය පෙන්නලා කල් දමන්න බැරි එකම මැතිවරණයයි. ඇයි ඒ අනිත් ඡන්ද වලට කොට්ඨාස තියෙනවා සීමා  නිර්ණය  කලාම. ජනාධිපතිවරණය කියන්නේ මුළු රටම එකම කොට්ඨාසයක් වන එකම මැතිවරණය ඒක නිසා ඒකට සීමා නිර්ණය අදාල නෑ. එහෙමනම් ජනාධිපතිවරණය අහෝසි කරලා පාර්ලිමේන්තු ඡන්දෙටත් සීමා නිර්ණ  කමිටුවක් පත් කරලා මැතිවරණ සිතියම හකුලා ගත්තොත් 2023 පුංචි ඡන්දය එනතුරාවට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අයට රට පාලනය කරගෙන යන්න පුළුවන්. එහෙම වුණොත්  අපේ ඉතිහාස පොත්වල ලියවේවි 2019 ගෙදර යෑමට සිටි රනිල්තුමෝ 2023 දක්වා සතුටින්  රට කෑහ කියලා.

මෙහි තියෙන තවත් භයානකම කාරණයක් විදියට මැතිවරණ සිතියම හකුලා ගැනීමත් අපි දකිනවා. මේකට අවශ්‍ය පදනම අද දේශපාලන වේදිකාවේ මතුවෙලා තිබෙනවා. ජාතික හෙළ උරුමය ඇවිල්ලා කියනවා විධායක ජනාධිපති ධූරයයි මැතිවරණ ක්‍රමයයි දෙකම එකට ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න. ජවිපෙත් ඉතින් ඒක සැබැයි ඒක සැබැයි කියලා ඒකට හූමිටි තියෙනවා. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රමය ඇතුලටම මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියන සංවාදය ආණ්ඩුවේ පාර්ශවකරුවන් දෙකක් වන ජවිපෙත් හෙළ උරුමයත් කියන දෙක සමාජයට කාන්දු කරලා අවසන්. ඒ නිසා 20 ගෙන එන පාර්ලිමේන්තු කාරක සභාවක් තුළ අනිවාර්යෙන්ම මැතිවරණ ක්‍රමයත් සංශෝධනය වන ක්‍රමයක් එනවා ඒ කියන්නේ 2023 වන තුරු මැතිවරණ පවත්වන්නේ නෑ කියන පණිවිඩය දැනටමත් ඉගි බිගි වලින් අපිට දිලා ඉවරයි.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ප්‍රශ්න 5 ක්

අපි විධායක ජනාධිපති ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ දක්වන විරෝධය තේරුම් ගන්න බැරි නිසා විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ ජවිපෙට අවබෝධයක් ලබා ගන්න අපි ජවිපෙන් ඇහුවා ප්‍රශ්න 5ක්

ප්‍රශ්න අංක 1

විධායක ජනාධිපති ක්‍රමය ඔබ කියන අයුරින් අතිශයීන්ම දරදඩු කූර පාලන ක්‍රමයක් නම් ලෝකයේ සාතිශය බහුතර රටවල් තෝරාගත් ලොව පවතින ජනප්‍රියම පාලන ක්‍රමය බවට විධායක ජනාධිපති ක්‍රමය පත් වුණේ ඇයි? මේ ලෝකයේ විධායක ජනාධිපති ක්‍රමය පවතින රටවල් 105 ක් තිබෙනවා නමුත් මෙතුමන්ලා යෝජනා කර නාමමාත්‍රික ජනාධිපති ක්‍රමය තියෙන්නේ රටවල් 37ක පමණයි. දැවැන්ත පරතරයක්. එහෙම වුණේ ඇයි?

ප්‍රශ්න අංක 2

විධායක ජනාධිපති ක්‍රමය නරක නම් ඒක මර්දනකාරී නම් මේ මර්දනයෙන් වැඩිපුරම පීඩාවට ලක්විය යුත්තේ ඇමරිකානු ජනතාවයි. අද වසර 229 අඛණ්ඩව ඇමරිකාව පාලනය වෙලා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයෙන්. විධායක ජනාධිපති ක්‍රමය මර්දනකාරී නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන උද්ඝෝෂණය ඉතාමත් තීවෘරව දැඩිව තිබියයුතු රට  ඇමරිකා එක්සත් ජනපදයයි. හැබැයි දීර්ඝ කාලයක් විධායක ජනාධිපති ක්‍රමය තිබුණු ඇමරිකාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු යන සටන් පාඨය උද්ඝෝෂණයක තබා මැසිවිලක් ලෙස වත් නැගෙන්නේ නැත්තේ ඇයි?

ප්‍රශ්න අංක 3

විධායක ජනාධිපති ක්‍රමය නරක නම් ලෝකයේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය නැත්නම් නාමමාත්‍රික ජනාධිපති ක්‍රමය අත්හරිමින්  විධායක ජනාධිපති ක්‍රමයට ලෝකයේ රටවල් පැමිණිමේ ප්‍රවණතාවයක් තිබෙන්නේ ඇයි? මම පුංචි පර්යේෂණයක් කරලා බැලුවා පහුගිය අවුරුදු 25 තුළ රටවල් 11ක් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් විධායක  ජනාධිපති ක්‍රමයට මාරු වෙලා තිබෙනවා. විසිපහකට නෙවෙයි වසර පනහකට ගත්තත්  රටවල් දෙකක් පමණයි විධායක ජනාධිපති ක්‍රමයෙන් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට මාරු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඇහුවා  මේ ක්‍රමය මෙච්චර නරක නම් තමුන්නාන්සේලා යෝජනා කරන ක්‍රමය ඉන්න කට්ටියත් මේ පැත්තට එන්නේ ඇයි?

ප්‍රශ්න අංක 4

මේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය  බිහි වුණේ එංගලන්තයේ 1200 ඉදන් එංගලන්තයේ රදලයන් සහ රජවරුන් අතර දැවැන්ත අරගලයක් ඇති වුණා බලය සඳහා. ක්‍රමක්‍රමයෙන් රජාගෙ බලතලය රදලයන්ටත් ඉන්පසුව ජනතාව විසින් තෝරා පත් කරගත් පාර්ලිමේන්තුවටත් ලැබෙන්න ගත්තා. අවසානයේ පසුගිය සියවස ආරම්භ වෙද්දී රජතුමාගේ සියළුම බලතල පාර්ලිමේන්තුවටත් ඇමති මණ්ඩලයටත් ඇවිල්ලා ඉවරයි. හැබැයි ඉතින් මුළු ලෝකෙන් තුනෙන් දෙකක් අල්ලගෙන ලෝකෙම හූරන් කාලා එංගලන්තය පොහොසත් කරපු රජ පරපුර පයින් ගහලා එලවලා දාන්න බෑ. මේ රාජ්‍ය ව්‍යුහය තුළ රාජයාව කොහේ හරි ස්ථානගත කරන්න ඕන නිසා තමයි මේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ඇති වුණේ. බලයක් නැති  නාමිකයෙක් රාජ්‍ය නායකයා විමේ  ක්‍රමයක් ඇති වුණේ. එංගලන්තය මේ ක්‍රමය තමන්ගේ යටත් විජිත සියල්ලටම නිදහස දෙද්දි හඳුන්වා දුන්නා. රාජ්‍ය නායකයා එංගලන්තයේ රැජින වන්නේය. ජනරජයක් වන විට රැජින වෙනුවට නාමමාත්‍රව ජනාධිපතිවරයෙක් හදාගත්තා. අද නාමමාත්‍ර ජනාධිපති ක්‍රමය තියෙන්නේ එංගලන්තයේ යටත් විජිතයක් වෙලා තිබුනු තවදුරටත් රජවරු ඉන්න රටවල් වල  පමණයි. ඉතින් අපි ඇහුවා එංගලන්තයේ රජ රැකගැනීමට ගෙනාපු වෙස්ට්මිනිස්ටර් ක්‍රමය රජෙක් නැති අපේ රටට හඳුන්වා දීලා නාමමාත්‍ර ජනාධිපති කෙනෙක් නඩත්තු කරන්න බිලියන ගණනින් මහජන මුදල් නාස්ති කරන්නේ ඇයි?

ප්‍රශ්න අංක 5

විධායක ජනාධිපති ක්‍රමය කුරිරු නම්  භයානක නම් දරුණු නම් රටවල් එකසිය පහක විධායක ජනාධිපති ක්‍රමය තිබියදී ඒ අය අහෝසි කරනු කියන උද්ඝෝෂණය ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි?

රනිල් සහ ඇලෝසියස් ජෝඩුවට රටේ බලය දෙමුද ?

දැන් පහුගිය මාස දෙක තුනක ඉදන් අපි ඔය ප්‍රශ්නය අහනවා. විජිත හේරත් මන්ත්‍රීතුමා හතරවැනි ප්‍රශ්න නම් උත්තර දෙන්න ඉදිරිපත් වුණා. මොකද්ද එතුමා කියන්නේ එතුමා ඇත්තක් කිව්වා. අපි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න 20 ගේනවා කිව්වාට ඒක තනිකර බොරුවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වට අපි ගෙනාව යෝජනාවෙන් ඒක එහෙම ආහෝසි වෙන්නේ නෑ. ජනාධිපතිටත් බලතල ටිකක් අපි තියලා තියෙනවා. ඒ නිසා එම ජනපති නාමමාත්‍රික ජනාධිපති  කෙනෙක් නෙවෙයි.

මොකක්ද මේ අය කරලා තියෙන්නේ. ජාතික ආරක්ෂාව පිළිබඳ, බලය බෙදීම පිළිබඳ, ජාතික සමගිය පිළිබඳ සියලු බලතල කාර්යයන් හා කර්තව්‍යයන් ජනාධිපතිවරයාට පවරා  තිබෙනවා. මේක තියනවාටත් වඩා භයානකයි. නාමමාත්‍ර ජනාධිපතිටත් වඩා භයානකයි. මේ ජනාධිපති පත් වෙන්නේ ජනතාව අතින් නෙවෙයි පාර්ලිමේන්තුවේ රහස් ඡන්දෙකින්. ඒ විතරක් නෙමෙයි කිසිම දේශපාලනඥයකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තහනම්. පාලන පක්ෂයක සාමාජිකයකුටවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තහනම්. මොකක්ද වෙන්නේ? එහෙමනම් දැන් ඉන්න ජනාධිපතිවරයා සතියකට වරක් ඇමති මණ්ඩලයට ගියාම ඇමති මණ්ඩලයට වගකියනවා උත්තර බඳිනවා. පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා. විරුද්ධ පක්ෂය කියල එකක් ජනාධිපතිවරයාට තිබෙනවා. අවුරුදු පහකට සැරයක් ජනතාව ඉදිරියට ජනාධිපතිවරයා එනවා. මේ ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයට වත් පාර්ලිමේන්තුවටවත් ජනතාවටවත් ඒවා ගැන නොකියා ආරක්ෂාවයි, බලය බෙදීමයි, ජාතික සමගියයි කියන වැදගත් විෂයයන් තුනේම බලය පාවිච්චි කරනවා.  දේශපාලකයෙක් නොවි පාර්ලිමේන්තුවේ 113 ක් ගන්න පුළුවන් කාටද? අපි දැක්ක පාර්ලිමේන්තුවේ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට තිබුණෙත් අනුහතයි.  රනිල්ට දැන් 113ක් නෑ. හැබැයි අපේ දයාසිරි මන්ත්‍රීතුමා කියන විදියට නම් අර්ජුන් ඇලෝසියස්ට 118 ක් තියෙනවා. එහෙනම් අනුර කුමාර මේ කැස කවන්නේ රනිල්ගේ පමණක් නොව අර්ජුන් ඇලෝසියස්ගෙත් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නයි . අර්ජුන් ඇලෝසියස් ජනාධිපති කරලා විධායක බලය තියෙන අගමැති බවට රනිල් පත් කරලා මේ ජෝඩුවට රටේ බලය භාරදීමේ කුමන්ත්‍රණය තමයි 20 නමින් කරලියට ගෙනල්ලා තියෙන්නේ.

විධායක ජනාධිපති ක්‍රමයට ලංකාවේ විරෝධයක් ඇයි ?

තමුන්නාන්සේලාට පස්වෙනි ප්‍රශ්නෙට උත්තර මමම දෙනවා කියලා මම තීරණය කළා. විධායක ජනාධිපති ක්‍රමය ලෝකයේ රටවල් එකසිය පහක තිබෙනවා නම් විතරක් එයට විරෝධයක් තිබෙන්නේ ඇයි? මිත්‍රවරුනි ලංකාවේ ජනාධිපති ක්‍රමය ලෝකයේ අන් රටවලට වඩා වෙනස්. ජනාධිපති ක්‍රමය විකෘතියක්. සාමාන්‍යයෙන් අපේ රටේ මිථ්‍යාවක් තිබෙනවා ලෝකයේ බලගතුම ජනාධිපති ඉන්නේ ලංකාවේ කියලා. ඒක වැරදියි ලෝකයේ බලගතුම ජනාධිපති ඉන්නේ ඇමෙරිකාවේ. අපේ ලංකාවේ ජනාධිපතිට ඇමැතිවරු විදියට පත් කළ හැක්කේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණයි. ඇමරිකාවේ ජනාධිපතිට පුළුවන් ඕනෑම පුද්ගලයෙක් ඇමති කෙනෙක් විදියට පත් කරන්න. ඇමරිකාවේ ජනාධිපති පනතකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළොත් ඒ පනත නීතියක් වෙන්නේ නෑ. ලංකාවේ ජනාධිපතිට එහෙම කරන්න බෑ කතානායක අත්සන් කරාම එක නීතියක් බවට පත් වෙනවා. හැබැයි ඇමරිකා ජනාධිපතිට බලතල තිබුනට ඔහු ගෙන් ලොකු වරදක් නොවන්නේ එයා නීතියට යටත් නිසා. මොනිකා ලෙවෙන්ස්කිලාට පොලා ජොන්ස්ලාට ලිංගික අපචාර කරා කියලා ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්න බිල් ක්ලින්ටන්  අධිකරණයට ගෙනියන්න පුළුවන් වුණා. නමුත් අපේ රටේ ජනාධිපතිතුමා පිස්තෝලයක් අරගෙන පාරේ යන මිනිස්සුන්ට වෙඩි තිය තිය ගියත් ජනාධිපතිතුමාව අත්අඩංගුවට ගන්න නීතිය ක්‍රියාත්මක කරන්න නීතියෙන් ඉඩක් දීලා නෑ. අපරාධ නීතියේ මුක්තිය ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති ආර්යාවට හිතෙනවා ජනාධිපතිවරයා සමග ඉන්න බෑ කියලා දික්කසාද වෙන්න ඕන කියලා. නමුත් අපේ රටේ නීතියේ හැටියට ජනාධිපතිතුමා  ධූරයේ ඉන්න කාලේ භාර්යාවට දික්කසාද නඩුවක් දාන්න බෑ. ජනාධිපති තනතුරෙන් අස්වුණාට පස්සේත් ජනාධිපති වෙලා ඉන්න කාලෙත් අනාචාරයේ හැසිරීමක් එහෙම කරලා තිබුනොත් ඒක පදනම් කරගෙන තනතුරෙන් අස්වුණාට පස්සේ වත් නඩුවක් දාන්න බෑ. නීතිය ඉස්සරහට ගේන්න බැරි නිසා ජනාධිපතිවරුන් අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ නෑ. ඇමරිකාවේ   ප්‍රබල ජනාධිපතිවරුන් වු ඒබ්බ්‍රහම් ලින්කන්, වුඩ්රෝ විල්සන් උනත් සෙනෙට් සභාවට ගෙනැල්ලා  ඒ අයගේ තීන්දු පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තීරණයක් ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතනවා. සෙනට් සභාව ඇහුවම මම මේකට දෙන උත්තරේ මොකක්ද? මට හිතුනා කියන්න බෑ. වගකීමෙන් කටයුතු කරනවා. අපේ ජනාධිපතිව පාර්ලිමේන්තු කමිටු වලට ගෙනඇල්ලා ප්‍රශ්න කරන්න බෑ. ඒ නිසා අපේ ව්‍යවස්ථාවේ තියෙන සැබෑ ප්‍රශ්නය විධායක බලය නෙවෙයි. මේ බලය හික්මවන්න අධිකරණයටවත් පාර්ලිමේන්තුවටවත් බලය සහ අවස්ථාව දීලා නැති එකයි. ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලගෙන තමයි ජවිපෙ දගලන්නේ කියලා තේරෙනවා විසිවෙනි සංශෝධනය බැලුවම.

– අරවින්ද අතුකෝරල

23,908 Viewers

4 Comments to “අනුර කුමාර ජවිපෙ නායකයා අර්ජුන් ඇලෝසියස්ගෙත් කොන්ත්‍රාත්තුවක…”

  1. Karunanayake says:

    ජවිපෙට මේ සිදුවන දේ පිළිබඳව මම සතුටුවෙමි. අනුරට කෘතගුන සලකමි. රටකට අහිතකර මේ ඉරිසියාකාර පක්ෂය දියවී යාමා අපේ රටට මහත් අස්වැසිල්ලකි! අනුර ඒ කුමන්ත්‍රණය නිසි පරිදි ඉටුකරන බව ඉතා පැහැදිලියි. අනුර කුමාරට ජයවේවා! ජවිපෙ ඉක්මනින් දියවී යේවා! ඔහු කොතරම් දක්ෂද කිවහොත් ඔහුගේ ව්යාපෘතියට සුමන්තිරන්, රනිල්, අමෙරිකානු තානපති කාර්යාලය සහ සියලු “යහපත්” පිරිස යොදාගන්න බව ඉතා පැහැදිලියි.

  2. සීගිරි says:

    ගම්මන්පිල හා අනුර යනු කලි යුග කාලෙට උපන්න නුවනක්කාරයෝ දෙන්නෙක්…
    එකෙක් අයර්ලන්ඩ් පැත්තෙන් … අනෙකා ඔස්ට්‍රේලියා පැත්තෙන්…
    මේ තක්කඩියන්ට නොරැවටෙන්න ….. මුං දෙන්නම සේවය කරන්නේ බටහිරටයි…!!!!!

    • FREE says:

      සීගිරි,උඹ පාර වරද්දාගෙන​,ගම්මන්පිල ඕස්ට්‍රේලියා ගියේ ඉගෙන ගන්න,අනුර කුමාර අයර්ලන්ඩ් ගියේ කොමිස් මුදලින් ගෙයක් ගන්න.මේ දෙකේ වෙනස අහසට පොළොව වගෙයි.උඹ ඉඳන් ඉන්න තැනින් නැගිටල නැවත ඉඳ ගනින් මොලේ පශ්චාත් භාගෙට යටවෙලා තියනකම් කිසි දෙයක් තේරෙන්නෙ නැහැ.

  3. RW says:

    මව්බිම නැතිනම් මරණය , පළමුව මව්බිම දෙවනුව පාසැල යන අතීත සටන් පාට ජනතා විමුකිති පෙරමුණට අමතක වී ගොස්ය. මව්බිම එක්සේසත් කල ලංකික ජන නායකයාට හොරා හොරා නාමය පටබැඳීමට උගුර දිව හිඳෙන තුරු බෙරිහන් දුන් ජනතා විමුකිති පෙරමුණට , මහදවල් මහබැංකුව සොරා කාපු එක ගැන වගේ වගක් නැතිවා සේය. ඔව්න් වෙහසෙන්නේ මහදවල් මහබැංකුව සොරා කාපු මහා හොරුන්ට 20 වැනි සංශෝදනය මගින් බලය ලබා දීමටය.
    දැන් නිත්‍ය කාඩර් වරුන් ජනතා විමුකිති පෙරමුණට නොමැත. සියලු විශ්ව විද්යාල වල මහා ශිෂ්‍ය බල මණ්ඩලයහි බලය නොමැත. ලංකික ජනතාව ජනතා විමුකිති පෙරමුණ ප්‍රතීක්ශේප කරන කාලය පැමින ඇත.

Main News