පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි…

October 19, 2018 at 12:00 pm | lanka C news
පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි…

‘ජාතික ආණ්ඩුව යහපාලනය සහ රටේ අනාගතය’ යන මැයෙන් පසුගියදා ස්විඩනයේ පැවති ජනහමුව අමතමින් පිවුතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එම් ඒ සුමන්දිරන්, ජයම්පත්‍රි වික්‍රමරත්න හා සුරේන් ප්‍රනාන්දු කියන තුන්දෙනා එකතුවෙලා ව්‍යවස්ථාවක් හැදුවා. හැබැයි මේ ව්‍යවස්ථාව ගැන තොරතුරු එළියට එනකොටම බුද්ධිමතුන් මේකෙන් රටට වෙන විනාශය ලියනවා. මහා සංඝරත්නය මේකෙන් වෙන විනාශය ගැන අනුශාසනා කරනවා. දේශප්‍රේමී ජනතාව මේක කරන්න එපා කියලා පාරට බහිනවා. මුට්ටිය දානකොටම ඩොන් කියලා මුට්ටියට පොලු පාර වදිනවා. අපේ ව්‍යවස්ථාවේ හැටියට නම්  අලුතෙන් ව්‍යවස්ථාවක් ගේනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකදී ජනතාව අනුමත කළ යුතුයි.  ඒ නිසා මේ අය තේරුම් අරන් තියන ප්‍රධානම දේ තමයි, මේ නව ව්‍යවස්ථාවේ පෙරමඟ ලකුණු තිබෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවයි කියන එකයි. මේක ජනමත විචාරණයකට යොමු කලොත් සුනේ සුන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  නම් සල්ලි වලට ගන්න පුලුවන් සමස්ත රටම සල්ලිවලට ගන්න එක අමාරු වැඩක්.

ඒ වගේම 2015 ජනවාරි 8 වැනිදා මහ රෑ වැටුණු වලට නැවත වරක් මහා දවාලෙත් වැටෙන්න අපේ ජනතාව සූදානම් නැති බව පැහැදිලියි. මේ රට කඩන  ව්‍යවස්ථාව සම්මත කරගන්න නම් කළ හැකි, කළ යුතු එකම දේ වෙන්නේ ජනමතවිචාරණය මගහැරීම පමණයි. ඒකට ව්‍යවස්තා උප්පරවැට්ටියක් ඕනේ.  මේ උප්පරවැට්ටිය කරලා දෙන්න ආණ්ඩුව බේරගන්න ඉදිරියට එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. අද ලංකාවේ තිබෙන ලොකුම රාජ්‍ය නොවන සංවිධානය තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. විදේශ රටවලින් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව තමයි ඔවුන් තමන්ගේ න්‍යාය පත්‍රයේ  කටයුතු තීරණය කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා.

මේ අයගෙ අරමුණ වෙලා තිබුණේ එකපැත්තකින් ජනාධිපති ක්‍රමය අහෝසි කලොතින් ජනතාව ගෙදර යවන්න පුල පුලා බලා සිටින මේ ආණ්ඩුව තවත් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. මේ අය පුංචි ඡන්දය නගර සභා ඡන්දය කල් දැම්මේ හරි අපූරු විදිහට. පැවති මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාස වලින් තියෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීලා කොට්ඨාස කඩල ඉවරවෙනතුරු මැතිවරණ තියන්න බැරි  කළා. මැතිවරණ කොමිසම ලෑස්ති ඡන්ද තියන්න. නමුත් ඡන්ද කැඳවන්න කොට්ඨාස හදලා නෑ. කොට්ඨාස හදන වැඩේ පරක්කු කරලා අවුරුදු තුනක්  මැතිවරණ කල් දැම්මා. පළාත් සභා මැතිවරණය ද ඔන්න මෙන්න කියලා තියෙද්දි පළාත් සභා වලට හඳුන්වා දෙනවා කොට්ඨාස ක්‍රමය. දැන් ඉතින් කොට්ඨාස කඩල මායිම් ලකුණු කරන තුරු පළාත් සභා මැතිවරණය අවුරුද්දකට ආසන්න කාලයක් කල් ගිහිල්ලා. පාර්ලිමේන්තු මැතිවරණය එනකොටත් පාර්ලිමේන්තු මැතිවරණයට ඔන්න මෙන්න තියලා පාර්ලිමේන්තුවට කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දුන්නොත් පාර්ලිමේන්තු ඡන්දය කල් දාගන්න පුළුවන්.

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජවිපෙ උත්සහ දරන්නේ ඇයි ?

හැබැයි එහෙම කල් දාන්න බැරි මැතිවරණයත් තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයේදි මුළු රටම එකම කොට්ඨාසයක්. කොට්ඨාස වලට වෙන් කරන්න දෙයක් ඒකේ නෑ. සීමාවන් ළකුණු කිරීම ඒකේ නෑ. මුළු රටම එකම එක ඡන්ද කොට්ඨාසයක්. එනිසා කොට්ඨාස වලට වෙන් කිරීම පෙන්නලා ජනාධිපතිවරණය කල් දාන්න මේ ආණ්ඩුවට බෑ. මේ ආණ්ඩුව ගෙදර යන්න කිට්ටුව ඡන්දයක් තිබ්බොත් ගෙදර යන එක සිකුරුයි. මේ ආණ්ඩුවට බලය ඉන්න හැකි එකම ක්‍රමය තමයි ඡන්ද නොතියා සිටීම. ඒකට දැන් තියෙන එකම බාධාව තමයි ජනාධිපතිවරණය. ඔන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කරනවා  ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ හරහා ඡන්ද නැති ලංකාවක් බිහි කරන්න.

එතැනින් නතර වෙන්නේ නෑ. අපි කලින් කිව්වා  පෙඩරල් ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් විධියට ගෙනාවොත් ජනමත විචාරණයකට යොමුකළ යුතුයි. යොමු කළොත් මොකද වෙන්නේ කියලා පැහැදිලියි. හැබැයි ගිය අවුරුද්දේ අපේ ආණ්ඩුව හොයාගත්තා අලුත් ව්‍යවස්ථා විප්ලවයක්. ඒකාධිපති කිසිම නායකයෙක් ලෝකයේ කිසිම රටක නොකළ අපූරු ක්‍රමයක්. ඒ තමයි මිත්‍රවරුනි ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙනවා අලුතින් පනතක් ගේනකොට ඉස්සෙල්ලාම ඒක ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න ඕන. මේකේ මොනාද තියෙන්නේ කියලා ජනතාවට දැනගන්න. තමන්ගේ මතය කියන්න. විරුද්ධ වෙන අයට ගිහිල්ලා විරුද්ධ වෙන්න.  ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා දැක්කොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පෙත්සමක් ඉදිරිපත් කරන්න. ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා සති දෙකක් යනතුරු ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ.  ජනතාවට අධ්‍යනය කරන්න වෙලාවක් දීලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ ඔය වගේ ප්‍රසිද්ධ කලා පනතක් පළාත් සභාවල කාන්තාවන්ට 25% ක අවම නියෝජනයක් ලබා දීමේ පනතක්. වැඩේ හොදයි නේ. ඒක නිසා හැමෝම බොහොම සහයෝගයෙන් ඒකට සහය දුන්නා. මේක පාර්ලිමේන්තුවේ විවාද කරන්න පටන් ගත්තු දවසේ සංශෝධනයක්  ගේනවා පනත පිටු 4යි සංශෝධනය පිටු තිස් දෙකයි. ඒකෙන් මොකද කරන්න හදන්නේ පළාත් සභා වලට කොට්ඨාස ක්‍රමය හදුන්වා දීලා පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මා. ලංකා ඉතිහාසයේ  කවදාවත් තියෙන විෂයට අදාල නොවන සංශෝධනයක් පනතකට ගෙන්නේ නැහැ. කාන්තා නියෝජනය නම් මාතෘකාව ඒ මාතෘකාව යටතේ පමණයි සංශෝධන ගේන්න පුළුවන්. මේකට අදාල නැති කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දෙන්න බැහැ. ඇයි ඒ ජනතාවට අවස්ථාවක් ලැබිලා නෑ ඒක ගැන අදහස් දක්වන්න. ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ නෑ මේක ව්‍යවස්ථාවට පටහැනියි ජනමත විමසුමකට ඉදිරිපත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න.

පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි.

අන්න එහෙම හොර පාරෙන් ගෙනා ව්‍යවස්ථාව ඔබා ගන්න තමයි විසිවන සංශෝධනය ගෙනාවේ. ජනතා විමුක්ති පෙරමුණ තර්ක කළා 20වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණම ඇති කියලා. අපි මේක අධ්‍යයනය කරලා බැලුවම අපි දැක්කා  එන්නේ මොකටද කියලා. අපේ වාසනාවකට අපිට තේරුණා මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. අපි ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කරුණු කිව්වා. මෙම ජනමත විචාරණයකට යොමු කළ යුත්තේ ඇයි? කියන කාරණය සම්බන්දයෙන්.  ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ආවේ කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් හැමදාමත් පෙනීසිටිය නීතීඥවරු. ජයම්පති වික්‍රමරත්න, සුරේන් ප්‍රනාන්දු,  ඒම් ඒ සුමන්දිරන් වැනි නීතිඥවරු. මේ අය ඇවිත් තර්ක කළේ ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට එවන අතරේ අපි ලංකාවෙන් බැහැර වුණා. ඒ අතරේ ජාතියේ වාසනාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරලා තියෙනවා වගන්ති 38න් 36ක් ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා.

දැන් මේ බේරගත්ත වගන්ති දෙක මොකක්ද කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. පලවෙනි වගන්තිය තමයි පනතේ නම තියෙන්නේ ඒක ජනමත විචාරණයකට යොමු කරන්න කියලා නියෝගයක් දෙන්න බැරි වගන්තියක්නේ. අන්තිම වගන්තිය බේරිලා. මොකක්ද ඒකෙ තියෙන්නේ මෙම පනතේ සිංහල පිටපත සහ දෙමළ පිටපත අතර පරස්පරතාවයක්  ඇතිවුවහොත් සිංහල පිටපත බලපැවැත්වේ. ඒකත් ජනමත විචාරණයකට යොමු කරන්න බෑනේ.

ඒක නිසා තමයි මේක කියවලා පළවෙනි මාධ්‍ය හමුවීම අපි කිව්වේ මේක හරියට පොඩි එකාගේ ලියුම වගේ කියලා. කඩදාසි මිටියයි බෝල්පොයින්ට් පෑනකුයි අතට ගත්ත පලියට ව්‍යවස්ථා සංශෝධන හදන්න බැහැ කියලා අනුර කුමාරලා  ඉගෙනගත යුතුයි කියලා. අද අපි ඒදා කිව්ව දේ  අපහාසයක් උපහාසයක් නොව තිත්ත ඇත්තක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කරලා තියෙනවා. ඒ නිසා අද වන විට ජනතාවට හොර පාරෙන් ගිහිල්ලා මෙම ව්‍යවස්ථාව ගෙන ඒමේ හැකියාව මේ ආණ්ඩුවට අහිමි වෙමින්  තිබෙනවා.

ආණ්ඩුවේ මීලග උප්පරවැට්ටිය මෙන්න

ඒක නිසා අද අලුත් උප්පරවැට්ටියක් ගෙනත් තියෙනවා. ඒ තමයි ජනතාව බඩගින්නේ තියලා හෙම්බත් කරලා දණගස්සලා ජනමතවිචාරණය ජයග්‍රහණය කිරීම.

මිත්‍රවරුනි පහුගිය සැප්තැම්බර්  මාසයේ දහතුන්වැනිදා සිට විසිඑක්වෙනිදා අතර තිබ්බ වැඩකරන දින හතේ දී ශ්‍රී ලංකා රුපියලට එරෙහිව ඩොලරයේ අගය රුපියල් 6 කින් ඉහළ ගියා. ලංකා ඉතිහාසයේ කවම කවමදාවත් දින හතක් තුළ රුපියල් 6කින් රුපියලේ අගය අඩු වෙලා නෑ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටවූ පනතේම කියනවා එහි වගකීම තමයි විනිමය අනුපාතය ස්ථාවර ව තබාගැනීම.

මහ බැංකුවේ ප්‍රධාන වගකීම් හතරක් තියෙනවා. ඒකෙන් එකක් තමයි විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීම. පාසලේදී ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත ඕනෑම කෙනෙකුට මතක ඇති. හැබැයි මහ බැංකුව රුපියල කඩාගෙන වැටෙන්න දීලා බලාගෙන ඉන්නවා. මැදිහත් වෙන්නෙ නෑ. ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේ දී සතුටින් ඉපිල යමින් රුපියල පිරිහීම හරිම ෂෝක් කියලා වර්ණනා කරනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා 1997 ඉන්දුනීසියාවේ සිදුවෙච්ච විපත්තිය නුදුරු අනාගතයේදී ලංකාවට කරන්න යනව කියල.

ඒ නිසා මිත්‍රවරුනේ අපිට හෙට වෙන්න මොකක්ද කියලා දැනගන්න නම් 97 ඉන්දුනීසියාවේ මොකද වුනේ කියලා දැනගන්න ඕන. මේ වගේම ඉන්දුනීසියාවේ මුදල් ඒකකය රුපියා. 1997 දී මේක සීග්‍රයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා ආර්ථික අර්බුදයක් ඇවිල්ලා. ඇමරිකාවේ සොලොස් කියන ආයෝජකයා තමන්ගේ ආයෝජන ප්‍රකෝටි ගණනින් ඉවත්කර ගැනීමෙන් මේක තීවුර වුණා.

රුපියා කඩාවැටෙනවා, උද්ධමනය වැඩි වෙනවා, භාණ්ඩ මිලදී ගන්න මිනිස්සුන්ට බැරි වෙනවා. උදේට වැඩට එනකොට බස් ගාස්තුව රුපියා එකයි නම් හවස ගෙදර යද්දි බස් ගාස්තුව රුපියා දෙකයි. පහුවදා උදේ වැඩට එද්දි ඒක රුපියා  හතරයි. මිනිස්සු කියනවා එදා අපි අල්ලට සල්ලි අරන් ගිහිල්ලා මල්ලට බඩු අරන් ආවා අද අපි මල්ලට සල්ලි අරන් ගිහිල්ලා අල්ලට බඩු අරන් එනවා කියලා. දරුවෝ අඬනවා දවසේ වේල් තුනෙන් එක වේලක්වත් කාල නෑ. කඩේ බඩු තියෙනවා තාත්තාලාට බඩු ගන්න සල්ලි නෑ. තාත්තා රංචු ගැහිලා කඩ වලට පැනලා කඩේ මුදලාලිව බැඳලා දාලා කඩේ තියෙන කෑම ටික බඩගින්න අඬන දරුවන්ට ගෙනත් දෙනවා.

අම්ම ලෙඩ ඇඳේ මැරෙන්න පණ අදිනවා. දරුවන්ට අම්මගෙ බෙහෙත් ටික දොස්තර මහත්තයා ලියලා දුන්නට ගන්න සල්ලි නෑ. ෆාමසියෙ බෙහෙත තියෙනවා ගන්න. සල්ලි සාක්කුවේ නෑ. දරුවෝ ෆාමසි කඩල මංකොල්ලකාලා අම්මට අවශ්‍ය බෙහෙත ගන්නවා. ඉන්දුනීසියාව අරාජික වුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැති වුණා. ලෝක බැංකුව කිව්වා හොඳයි අපි මැදිහත් වෙන්නම් ඔබේ රට බේරගන්න. හැබැයි එක කොන්දේසියක් තියෙනවා ඔබේ රටින් වෙන්වෙලා යන්න හදනවා නැගෙනහිර තිමෝරය. වෙන්ව යන්න හදන තිමෝරය ට වෙනම රටක් වෙන්න ඉඩ දෙන්න. අපි අවශ්‍ය විදේශ විනිමය ගෙනවිත් ඔබේ රට බේරගන්නම්. ජනාධිපති  ස්වර්තෝ මම ජනාධිපති විදිහට තිබුණු  ඉන්දුනීසියාව මම ගෙදර යනකොටත් ඒ විදියට තියෙන්න ඕන මට මේ යෝජනාවට එකඟ වෙන්න බැහැ කියලා කිව්වා.

මව්බිම නැත්නම් මරණය කියලා එදා කතා කරපු දේශප්‍රේමී ජනතාවම මෙදා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ගත්තා නැගෙනහිර තිමෝරයට වෙන්වෙලා යන්න ඉඩදීලා හරි අපිට කන්න දීපල්ලා කියලා. ස්වර්තෝ ජනාධිපති ඉල්ලා අස්වෙනවා. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා නැගෙනහිර තිමෝරයට  නිදහස් වෙනම රටක් වෙන්න වෙන්වෙලා යන්න ඉඩ දෙනවා. ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බටහිර රටවලුත් එකතුවෙලා ඉන්දුනීසියානු රුපියා  ස්ථාවර කරලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නවා. හැබැයි නැගෙනහිර තිමෝරය  සදහටම ඉන්දුනීසියාවට අහිමි වෙනවා.

රුපියල් කඩාවැටුණාම අපේ ණය බර වැඩි වෙනවා.  ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය බර ඩොලර් බිලියන 35 ක්. ඒක රුපියලකින් ඩොලරයේ වටිනාකම වැඩි වෙද්දි අපේ රට පිටරටට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 35 කින් වැඩි වෙනවා. මේ බිලියන 35 හොයන්නේ කොහෙන්ද? ජනතාව මත බදු පිට බදු පටවන්න ඕන. අපේ රටේ කෑම එන්න පිටරටින්, බෙහෙත් ඒන්නේ පිටරටින්, ඉන්ධන එන්න පිටරටින්, කෘෂිකර්මයට ඕනකරන පොහොර ටික එන්න පිටරටින් හැමදේම පිටරටින්. හැමදේම ගණන් ගිහිල්ලා කන්න බොන්න නැතිව යනවා. අපි ජනතාව හාමතේ ඉන්න කොට බටහිර නායකයන් ඇවිත් කියාවි පෙඩරල් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත වෙනවනම් අපි ලෑස්තියි රුපියල ස්ථායිකරන්න ලංකාව බේරගන්න කියලා.

ඔවුන් ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමට පෙර ව්‍යවස්ථාවෙන් රට කෑලි නමයකට කැඩේවී. උතුරයි අපි විතරයි මෙච්චරකල් ගැටුණේ. ඉන්පස්සේ පළාත් නවයකට බෙදිලා උඹ වයඹ උඹ දකුණේ කියලා එකිනෙකා ඇණකොටා ගනිද්දි අපේ මේ පුංචි රටේ එකම ලේ විලක් එකම ගිනි ගොඩක් බවට පත් වේවි. ඒ නිසා මිත්‍රවරුනේ අපේ ආදරණීය මව් බිම අනතුරේ කියන එක තමුන්නාසේලා හිතට ගන්න ඕන.

අපි දන්නවා ඔබ අද ලංකාවෙ නෙවෙයි  ඉන්නේ.  ඔබ ස්විඩනයේ ජිවත්වෙන්නේ. එහෙම නැත්නම්  නෝර්වේ  නැත්නම්  ඩෙන්මාර්කයේ  ජීවත් වෙන්නේ. හැබැයි අපිට උපන් බිමකට තියෙන්නේ ලංකාව විතරයි. අපිට ජීවය දුන් කෙනා අපේ අම්මා. අම්මලා අපිට දෙන්නෙක් තුන්දෙනෙක් නෑ. අපේ අම්මට වඩා පොහොසත් අම්මලා අපි දැකලා ඇති. අපේ අම්මට වඩා ලස්සන අම්මලා අපි දැකලා ඇති.  ඒ මොනවා උනත් අපේ අම්මා කියලා ආදරෙන් කතා කරන්නේ අපිට ජීවය දුන් ඒ කාන්තාවට පමණයි.

ඒ වගේම ඔබේ අම්මා වගේ තමයි ඔබ උපන් බිම. ඔබට ජීවය දුන්නේ ලංකාව. ඔබ අද ස්විඩනයේ ඉන්න පුළුවන්  හෙට ඇමරිකාවේ ඉන්න පුළුවන් අනිද්දා ඔස්ට්‍රේලියාවට යන්න පුළුවන්. නමුත් ලක් මාතාවන් අපිට ඉන්නේ එක්කෙනයි. හැබැයි අපි හැමෝගෙම ආදරණීය ලක් අම්මා  අද විලාප දෙනවා මාව කෑලි කෑලි වලට කඩන මස්වැද්දන්  කීපදෙනෙක් මාගේ පාලනය අද බාරගෙන කියලා. ඒ නිසා මිත්‍රවරුනේ අපේ ආදරණීය මව් බිම නැවත නිදහස් කරගන්න අපි නිදහස් අරගලයක් ආරම්භ කරලා තියෙනවා. අපේ ජීවිත පරදුවට තියලා  අපේ වෘත්තීන් අපේ ආදායම් මාර්ග අපේ දේපල මේ සියල්ල පරදුවට තබලා අද අපේ මව්බිමේ නිදහස් අරගලය ආරම්භ කරලා තියෙනවා. ඔබේ ආදරණීය ලක් මාතාව මේ හොර රැළෙන් පරගැති හොරු පිරි වැඩ බැරි මේ ආණ්ඩුවෙන් බේරගන්න ඒ නිදහස් අරගලයට අපිත් එක්ක එකතු වෙන්න තමුන්නාන්සේලා සියලු දෙනාටම ආදරයෙන් ආයාචනා කරනවා.

– අරවින්ද අතුකෝරල

19,577 Viewers

One Comment to “පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි…”

  1. Helaya says:

    Great Speech… Great job… Well respect Udaya…..You are respected because you did not sleep with UNP to get power.. You did not shut your mouth to be a common candidate….We are happy atleast you saved ” Hela Urumaya ” adding Pivithuru infront.

    Your friend ALAPALU RANAWAKA do everything to become a president of the country…. we wish we are not that UNLUCKY…. Thank you for challenging Pachaya and dedressing his white cloth covering his ” HORI ” body…

    Without shame he is with UNP and issuing beautiful words like clear man… But whole world knows he is good for nothing man did nothing to the country…….
    Please come and save the country… DO not let people like ALAPALU PACHA RANAWAKA to distroy our country by selling Buddhism.

    Its not Hela Urumaya .. Its Hela Karumaya led by sex maniac and tree cutter from Ratnapura..

Main News