40%ක පසු අස්වනු හානිය වලක්වනවා..

May 10, 2017 at 2:20 am | lanka C news
40%ක පසු අස්වනු හානිය වලක්වනවා..

නිසි ප්‍රවාහන හා ඇසුරුම් ක්‍රමවේද සහ ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙරට එළවළු හා පළතුරු නිෂ්පාදනවල සිදු වන සියයට 40ක පමණ පසු අස්වනු හානිය වැලැක්වීම සඳහා ප්‍රාථමික කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත සහ ධීවර අමාත්‍යංශ එක්ව පියවර ගනිමින් සිටින බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

ඒ යටතේ අපනයනය පාදක කොටගත් කෘෂිකාර්මික කලාප 21ක් පිහිටුවන බව ඔහු කියා සිටියේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවති වැඩමුළුවක් අමතමිනි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සහ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ සංවිධායකත්වයෙන්, දකුණු ආසියානු කලාපයේ ආහාර සුරක්ෂිතතාව හා ගුණාත්මක අවදානම මැයෙන් එම වැඩමුළුව පැවැත්වින.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය යන රටවලින් සහභාගී වූ ආහාර සුරක්ෂිතතා විශේෂඥයින් කලාපයේ ආහාර ක්‍රමයේ වෙනස්කම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ගමගේ කියා සිටියේ, මුල්ම කෘෂිකාර්මික කලාපය අනුරාධපුරයේ පිහිටුවා, තවත් එවැනි කලාප 10ක් මූලිකව පිහිටුවන බවයි.

සංවර්ධිත රටවලින් ලබා ගන්නා තාක්ෂණය ආධාරයෙන් පසු අස්වනු හානිය වැලැක්වීම හා නිසි ඇසුරුම් ක්‍රම සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් දීම මෙන්ම, අධිශීතකරණ ද සහිතව ගබඩා පහසුකම් ඔවුන්ට සැපයීම මෙම කෘෂිකාර්මික කලාපවලින් සිදු කරන බව හෙතෙම කීය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය ලාභදායී අපනයන ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි නිසා, රු. මිලියන 10ක මූලික ආයෝජනයක් සිදු කළ හැකි ව්‍යවසායකයින්ට එම ආයෝජනයේ වටිනාකම රු. මිලියන 100 දක්වා ඉහළ නංවා කර ගැනීමට උපදෙස් හා සහාය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ලබා දෙන බවද ගමගේ මහතා පැවසීය.

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පී.කේ. ජෝෂි මෙම අවස්ථාව අමතමින් පැවසූයේ, කලාපයේ අන් රටවල් හා සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා මට්ටම ඉහළ තලයක පවතින බවයි.

නාගරික ආහාර ඉල්ලුම සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ගොවීන් නව තාක්ෂණයේ ආධාරයෙන් පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ලෝක ආහාර ප්‍රතිපත්ති 2017 වාර්තාවේ ප්‍රධාන කරුණු ඇතුලත් වාර්තාවක් ඔහු ඇමතිවරයාට පිළිගැන්වීය.

– ජෝර්ජ් ද සිල්වා

636 Viewers
Main News