මිනිසුන් තිදෙනෙකු මරා දැමූ දරුණු ගනයේ වන අලියෙකු වනජීවී නිලධාරීන් අල්ලා ගනී..

April 19, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
මිනිසුන් තිදෙනෙකු මරා දැමූ දරුණු ගනයේ වන අලියෙකු වනජීවී නිලධාරීන් අල්ලා ගනී..

මිනිසුන්  තිදෙනෙකු ජීවිතක්ෂයට පත්කරන ලද දරුණු ගනයේ වන අලියෙකු තණමල්විල මීගස්වැව ප්‍රදේශයේ මහ වනයකදී අල්ලාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබේ.

තණමල්විල ප්‍රදේශයේ මීගස්වැව, නිකවැව, කිවුල්ආර, නෙළුවයාය යන ගම්මානවලදී පසුගිය 12 සහ 14 යන දිනවලදී මෙම වන අලියා එල්ලකළ  ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලැබීය. එම වන අලියා මත්තල ප්‍රදේශයේ සිට සුරියවැව හරහා මෙම ප්‍රදේශවලට පැමිණ ඇති බව වාර්තාවේ.

ඉතා දරුණු වන අලියෙකු වන මෙම අලියා මිනිසුන් ලුහුබැදගොස් ප්‍රහාරයන් එල්ලකරන බවටද තොරතුරු වාර්තාවිය.

තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ උපදෙස් මත ඌව, මධ්‍යම කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීම මත 21 දෙනෙකුගෙන් සමන්විත අලි ඇල්ලීමේ වනජීවී කණ්ඩායම හා උඩවලව, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානවල වනජීවී නිලධාරීහුද මේ සඳහා සහභාගී වූහ.

අල්ලාගත් මෙම වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉතා දුෂ්කර අවස්ථාවන්ට මුහුණදෙමින් ජීවිත අවදානමද නොතකා අවුරුදු නිවාඩුවද ලබානොගෙන මෙම වන අලියා ඇල්ලීමට පැමිණි ඌව, මධ්‍යම කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාටත් 21 දෙනෙකුගෙන් සමන්විත අලි ඇල්ලීමේ වනජීවී කණ්ඩායමටත්, උඩවලව, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානවල වනජීවී නිලධාරීටත් ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇමතිතුමාගේත් තමාගේත් ප්‍රණාමය පුදකරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

–  ප්‍රසාද් මංජු

4,159 Viewers

One Comment to “මිනිසුන් තිදෙනෙකු මරා දැමූ දරුණු ගනයේ වන අලියෙකු වනජීවී නිලධාරීන් අල්ලා ගනී..”

  1. asaranaya says:

    ඔයවගේ ජඩපාලනේ ඉන්න හොර අලි ටිකත් ගාල් කාර පුලස්තිපුරයට යවන්න ක්‍රමයක් ලැස්ති කරගත්තොත් නරකද.
    එතකොට උදේ හවස පඹයට උන් ගැන සොයා බලන්නත් පුලුවන්නෙ, පඹයා කොලඹ නොවෙයිනෙ ඉන්නේ පුලස්තිපුරේනේ ඉන්නේ / වැජඹෙන්නේ

Main News