Exclusive : රටම රවටා හොර පාරකින් ETCA අත්සන් කරලා..

May 3, 2018 at 12:02 am | lanka C news
Exclusive : රටම රවටා හොර පාරකින් ETCA අත්සන් කරලා..

වංචනික ලේඛන යොදාගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමඟ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර රහසේ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කර දී ඇති බවත් එය වෙනත් පාරකින් එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරවීමක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය අස්සේ, මේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වස්තූන් මංකොල්ලකෑම් පිළිබඳ සාකච්ඡා මැද්දේ, මියගිය කොටි නායකයින්ගේ නම්වලින් මංමාවත් නම් කිරීමට යාපනය මහ නගර සභාව ගත්තු තීරණ පිළිබඳ කතා මැද්දේ මේ රටේ ආර්ථිකයට සහ වෘත්තීයවේදීන්ට ඉතාමත් තීරණාත්මක ලෙස බලපාන ගිවිසුමකට මේ ආණ්ඩුව නීතිවිරෝධි ලෙස සිංගප්පූරුව සමඟ අත්සන් තබා තිබෙනවා.

‘කැබිනට් අනුමැතිය ලැබුණු බවට වංචනික ලියකියවිලි හදලා’

ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුවට අපනයන කරන භාණ්ඩවලට විශේෂ බදු පැනවීමක් සිදු කර නැති නිසා ඒ රට සමඟ විශේෂ වෙළඳ ගිවිසුමකට යාමට තදබල උවමනාවක් මතුව තිබුණේ නැහැ. එහෙත් පසුගිය කාලයේ එම ගිවිසුමෙන් බලපෑමක් සිදු වන වෘත්තීයවේදීන්ගේ සංවිධාන හෝ කර්මාන්තකරුවන් දැනුවත් නොකර, ඔවුන්ට හොර රහසේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් නීතිවිරෝධී ලෙස මෙම කටයුත්ත සිදු කර තිබෙනවා. මෙහිදී කැබිනට් මණ්ඩලයෙන් නොලැබුණු අනුමැතියක් – ලැබුණු බවට වංචනික ලියකියවිලි සකස් කර ගනිමින් මේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 2018 ජනවාරි 23 වැනිදායි.

‘කැබිනට් මණ්ඩල ලේකම්වරයාගේ ලිපිය’

මේ ගිවිසුම පිළිබඳ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ 2018 ජනවාරි 09 වැනිදායි. ජනවාරි 16 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණත් අනුමැතිය ලැබී නැහැ. ඒ නිසා තමයි මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසමින් කැබිනට් මණ්ඩල ලේකම්වරයා අදාළ පාර්ශ්ව වෙත ජනවාරි 17 වැනිදා ලිපියක් යවන්නේ. (එම ලිපියේ පිටපතක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි) මෙම කැබිනට් පත්‍රිකාවට ජනවාරි 16 වැනිදා අනුමැතිය ලැබුණා නම් කැබිනට් මණ්ඩල ලේකම්වරයා මෙවැනි ලිපියක් යැවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් 16 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේ වාර්තාවෙහි වංචනික ලෙස සටහන් කරනවා ‘සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ’ කියා.

‘එට්කා වෙන පාරකින් ගෙනවිත්’

මේ ගිවිසුමෙන් ඇත්තෙන්ම සිදු වෙන්නේ කුමක්ද? කැබිනට් මණ්ඩලයටත් කොළේ වහලා මෙවැනි ගිවිසුමක් අත්සන් කළේ ඇයි? ඔබ දන්නවා මේ ආණ්ඩුව පසුගිය කාලය පුරා ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළා. දේශපාලන පක්‍ෂ, වෘත්තීයවේදීන්ගේ සංවිධාන ඇතුළු දේශප්‍රේමී බලවේග ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ගොඩනැඟුවා. ඒ නිසා එට්කා ගිවිසුම අත්සන් කිරීම දිනෙන් දින කල් ගියා. ආණ්ඩුව වෙන පාරකින් ඇවිත් මේ රටේ වෘත්තීයවේදීන්ගේ අයිතින් පාවා දීම තමයි මෙහිදී සිදු කර ඇත්තේ. මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා බදු පැනවීම නතර කිරීම හෝ බදු පැනවීම අවම කිරීම සිදුකර තිබෙනවා. අනෙක් පැත්තෙන් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ ලියාපදිංචි වී සිටින චීන, මැලේසියා හා ඉන්දියානු වෘත්තීයමය සේවා සපයන ආයතනවලටත් ශ්‍රී ලංකාව තුළ සේවය සැපයීමේ ඉඩ ලැබෙනවා. නීතිවේදීන්, පරිගණක ඉංජිනේරුවන් ඇතුළු සිංගප්පූරුව හරහා එන සියලු වෘත්තීයවේදීන්ට මෙරට රැකියා වෙළඳපොළ විවෘත වෙනවා. අවසානයේදී මේ නිදහස් වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු, මැලේසියා, චීන හා ඉන්දියානු වෘත්තීයවේදීන්ට ශ්‍රී ලංකාව තුළ සිය සේවා සපයන්න නීත්‍යනුකූලව ඉඩකඩ හැදෙනවා. එමගින් මේ රටේ වෘත්තීයවේදින්ගේ රැකියා අවස්ථාවන් උදුරා ගන්නවා.

‘මේ රටේ වෘත්තීයවේදීන්ව පිළිකන්නට දාලා’

ඒ විතරක් නොවෙයි ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළට වැටෙනවා. අඩු මුදලට, ගුණාත්මක බවින් අඩු වෘත්තීයමය සේවාවන් සපයන්න සිංගප්පූරුව හරහා ඉන්දීය වෘත්තීයමය සේවාවන් සපයන ආයතන පැමිණෙන කොට ඒ දෙය සිදුවෙනවා. මේ රටේ වෘත්තීයවේදීන් පිළිකන්නට දාපු, ඔවුන් නොතකා හැරපු, ඔවුන්ගේ රැකියා අවස්ථාවන් කොල්ලකන්න ගිවිසුමක් ගහපු පළමු අවස්ථාව මෙයයි.

දැන් එට්කා ගිවිසුම උවමනා නැහැ. ඉන්දීය වෘත්තීයවේදීන්ට සිංගප්පූරුවේ වෘත්තීයමය සේවාවන් සපයන ආයතනයක ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළට ඇතුළුවීමේ ඉඩකඩ මලික් සමරවික්‍රම දැන් හදලා දීලා තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන ලිඛිතව දැනුම් දී තිබෙනවා, පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව 2018 මැයි මස 01 වැනිදා සිට මෙම ගිවිසුම බලාත්මක වන බව.

මේ ගිවිසුම අනුව සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩවලට ගහන බදු මුදල් අහිමි වන අතරේ සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ ලියාපදිංචි මැලේසියා, චීන, ඉන්දීය සියලු වෘත්තිකයන්ට මේ රටේ රැකියා වෙළඳපොළ විවෘත වෙනවා. මේ ගිවිසුම අනුව රැකියා සඳහා සිංගප්පූරුවට යාමට හැක්කේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණයි. නමුත් සිංගප්පුරුවේ පුරවැසියන්ට සහ නිත්‍ය නේවාසිකයන්ට ( Citizens and Permanent Residents ) ශ්‍රී ලංකාවේ රැකියා සඳහා එන්න පුළුවන්. මේකේ අරමුණ නිත්‍ය නේවාසිකයන්ට ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා හිමිකර දීම.

අපි ආණ්ඩුවෙන් බලකර ඉල්ලා සිටිනවා ‘පාර්ලිමේන්තුවේ අනාගත අනුමැතියට යටත්ව, වංචනික ලේඛන යොදාගෙන අත්සන් තබන ලද මේ ගිවිසුම වහාම අවලංගු කරන්න’ කියා. ඒ වගේම මෙරට වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා මීට එරෙහිව පෙරට එන්න කියා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, නියෝජ්‍ය ලේකම් මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය නිමල් පියතිස්ස යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

18,281 Viewers

6 Comments to “Exclusive : රටම රවටා හොර පාරකින් ETCA අත්සන් කරලා..”

  1. රොෂාන් මාරසිංහ says:

    ලංකාවේ පරිගණක මෘදුකාංග ආයතනයක් පවතවාගෙන යන මම මේ ECTA ගිවිසුමට පක්ෂයයි
    මොකද , අපිට තිබෙන ලොකුම ප්‍රශනය තමයි පළපුරුදු මෘදුකාංග Engineers ලංකාවේ නැතිවීම,
    පළපුරුදු මෘදුකාංග Engineers ගොඩක් දෙනෙක් විදේශ රටවලට migrate වෙලා , එනිසා ඔයගොල්ල TopJobs.lk
    වෙබ් අඩවිය බැලුවොත් තේරෙයි කොතරම් රැකියා අවස්ථා ලංකාවේ පරිගණක මෘදුකාංග අංශයේ තිබෙනවද කියල
    ඒවා පුරවන්න අපේ රටේ පළපුරුදු මෘදුකාංග Engineer නෑ , ඉන්න කට්ටියත් ඉගෙනගෙන රට යනවා.

    එනිසා අපිට වෙලා තියෙන්නේ , අඩු පළපුරුදු මෘදුකාංග Engineer වැඩි පඩි ගෙවන්න , එක අපිට දිගටම කරන්න බෑ , අපිට ගොඩක් පාඩුයි , මේ අඩු පළපුරුදු මෘදුකාංග Engineer වැඩ හරිම බලයි , එකෙන් අපිට පිටරට වියපෘති ගොඩක් නැතිවෙලා විදේශ විනිමය ලංකාවට එන එක අඩුවෙනවා , ඒ නිසා මේ ECTA ගිවිසුමෙන් යම් Quota වක් අනිත් රටවලට දෙනවනම් හොදයි
    ඒවගේම ලංකාවට ECTA මගින් ලංකාවට එන ශ්‍රමිකයන්ගේ අවම සුදුසුකම් තිබිය යුතුයි , කිසියම් පාලනයක් ඇතිව මෙය කල යුතුයි, නිකං GATE එකක් ඇරියා වගේ ගෙනනනේ නැතුව , ඒවගේම ECTA එකෙන් එන්න පුළුවන් කර්මාන්ත අංශ තිබිය යුතුයි
    එකෙන් අපේ රටේ අනවශ කර්මාන්ත අංශ වලට පිටරට ශ්‍රමිකයන් ඇතුල්වීම වලක්වන්න ඕනේ

    මම මේ කතා කලේ පරිගණක මෘදුකාංග අංශය ගැන පමණයි.

    • Heshan says:

      මේ රොෂාන්,

      ඉතින් මුලින්ම හොඳ පඩි ගෙවල හොඳ weddo සෙට් එකක් ගත්තනම් හරිනේ. උඹල කුණු පඩි ගෙවනව හොඳ උන්ටත්. උන් ඉතින් රට යනවා. ඊට පස්සේ තොපි නාහෙන් අඩනව.

      දෙන ඔය එන එකෙක්ට කීයක් දෙන්නද හිතන් ඉන්නේ? හොඳ Indian හරි සිංග ඩයල් එකකට $4000 to $6000 වත් ගෙවන්න වෙනව. උන් ලාබ නැහැ. ලංකාවේ එකෙක්ට $1000 දෙන්නේ හෙනම අමාරුවෙන් වගේ වැඩ කරන places වලින් project වලට dollar හම්බුනට.

      අඩුවෙන් ගෙවපු නිසා රට ගිය එකෙක්

    • saman says:

      Gon katha kiynna epa….ban
      rata ta kelavena eka hodada…………………
      mona ponna kathavaka da me

  2. Rupa says:

    ” අනේ හලෝ මන් ඕක දැනගත්තේ පත්තරෙන්නේ”

  3. asarana janathawa says:

    රටට ඕනි කරන වුර්තිකයො අඩුයිනම් තරුනයන්ට මෙ දේවල් නොමිලේ හරි අයකිරීමක් කරල හරි උගනන්වන්නනේ තියෙන්නේ. ලන්කවෙ දෙශපාලුවන්ට මොලයක් කියල දෙයක් නෑනේ. කොහෙන් හරි ගේමක් ගහල සල්ලි කුට්ටියක් කඩාගන්නේ කොහොමද කියලයි උන් හිතන්නේ. මුන්ට චන්දෙ දෙන්නත් මිනිස්සු ඉන්නවනේ. එකයි මෙ රට කවදාවත් ගොඩ යන්නේ නැත්තෙ.

  4. David Milli-banda says:

    ලන්කවෙ දෙශපාලුවන්ට මොලයක් කියල දෙයක් thiyenawa.
    Nathinam salli kutti kada ganne kohomada?………. Rata kese wethath Ape desha paluwo unta hamba kara ganna weddo

Main News