යුරෝපය ගිලෙන වසරකට ආයුබෝවන්

බී.බී.සී. ලෝක සේවය විසින් විමසා තිබෙන ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින් සමූහයකින් බහුතරය පවසා තිබෙන්නේ ලබන වසරේදී යුරෝපයට ආර්ථික අවපාතයක් ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

යූරෝ කළාපය මේ වනවිට තිබෙන රටවල් 17 කින් සැදුම්ලත් සංයෝගය ඉදිරියේදී නොපවතිනු ඇතිබව මෙම සමීක්ෂණයේදී ආර්ථික විද්‍යාඥයින්ගෙන් පහෙන් එකක් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්ය.

මීට අමතරව, බහුතරයක් පවසා තිබෙන්නේ යූරෝ කළාපය බිඳී යාමට තිබෙන හැකියාව සියයට 30-40 ක් තරම් වන බවයි.

මෙම සමීක්ෂණයේදී ආර්ථික විද්‍යාඥයින්ගෙන් බහුතරය අනුමාන කරන පරිදි එංගලන්තයේ පොලී අනුපාතය සියයට 0.5% ක මට්ටමක ලබන වසරේදී පැවතීමට නියමිතය.

මෙම සමීක්ෂණය කර තිබෙන්නේ එංගලන්ත මහ බැංකුවට නිතිපතා උපදෙස් ලබාදෙන එංගලන්ත හා යුරෝපීය ආර්ථික විද්‍යාඥයින් 34 දෙනෙකු සහභාගී කරවා ගෙන වන අතර මෙයින් 25 දෙනෙකුම ලබන වසරේදී යුරෝපය ආර්ථික අවපාතයකට ඇද වැටෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බව සඳහන්ය.

යුරෝපයේ ඇතිවී තිබෙන ණය අර්බුදය නිසා කළාපයේ රටවල වියදම් පාලනය කිරීමට සිදුවීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී එම රටවල වර්ධනය බෙහෙවින්ම බාලවී තිබෙන අතර මෙම තත්ත්වය ගෝලීය මූල්‍ය වෙළඳ පොළවල්වල විශ්වාසය කඩතොළු කිරීමට හේතුවී තිබේ.

පසුගිය ජූලි හා සැප්තැම්බර් කාලයේදී යූරෝ කළාපයේ ආර්ථික වර්ධනය සියයට 0.2% ක් තරම් අඩුවූ අතර යුරෝපීය සංගමයට අයත් රටවල් 27 ක සාමූහික ආර්ථික වර්ධනය සියයට 0.3 ක් තරම් අඩු අගයක් ගනු ලැබුණි.

ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන්නේ යූරෝ කළාපීය ආර්ථික අර්බුදය එංගලන්තයට මරු පහරක් වනු ඇති බවත් එරට අපනයන වලින් සියයට 40 ක් පමණම මෙම කළාපයට විකිණෙන බවයි.

- vimasuma

7,986 Viewers

2 Comments to “යුරෝපය ගිලෙන වසරකට ආයුබෝවන්”

  1. Test says:

    මම නම් ඔය කතා පිළිගන්නේ නෑ. මේ ලැබුවා වු නව වසරෙන් පසුව යුරෝපය ආර්ථික අර්බුදය ජය ගන්නවා සිකුරුයි. මොකද සුද්ද කියන්නේ විනයක් තියෙන නීතියක් පිළිපදින කෙනෙක් නිසා. අපි වගේ නෙවෙයි.

    සුද්දට ජය වේවා !

  2. Anonymous says:

    උරාගෙ මාළු උගේම තියල කපන්න හදන්නේ අපේ වෙබ් සයිට් වල තමයි ඉතින්. උන් පර්යේෂණ කරලා, සමීක්ෂණ කරලා අනාගතේ එන අභියෝග වලට ලැස්ති වෙනවා. අපේ එවුන් ඉතින් ඒව දැකල උඩ පනිනවා. හරියට හැලියේ ඉන්න කකුළුවෝ වගේ. අඩු තරමින් අපි කොහොමද මේවට ලෑස්ති වෙන්න ඕනේ කියල ලියන්නේ නැහැ. හද්ද චොස් !!

Leave a Comment