සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.

ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්. මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්.

බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?)

බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් වන කාලය, දීපය දේශය, කුලය හා මව යන්නේ දීපය යන්නේ සමාන පදය දුපතක් නම් ඉන්දියාව දුපතක්ද? නැති නම් පස්මහා බැලමු කාලය, අර්ධද්වීපය, දේශය, කුලය හා මව යන්නද?

දඹ යන පදය හෙළ යන්නට සමානද?

මෙම කරුණු හා තවත් සාක්ෂි එකතුව බුදුන් උපන් හෙළදිව පිළිබදව ඉදිරියේදි සාකච්චා කරමු. දැන් ආටානාටියේ පළමු කොටස සලකා බලමු.

1.  මා විසින් මෙසේ අසන ලදි.    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද,සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.

මෙම පරිච්ජේදයෙන් කියැවෙන්නේ බුදුන් හමුවට පැමිණ සතරවරම් රජදරුවන් පිළිබදවයි. එසේනම් වර්තමානයේ සතරවරම් දෙවිවරුන් නමින් හැදින්වෙන වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ යන එදා සිව් හෙළය නියෝජනය කරාන ලද වූ සිව්හෙළයේ පාලක වරුන්ය. වර්තමානයේ පවා මේලෙස සතරවරම් දෙවිවරු ලෙස වන්දනාමානයට ලක්වන්නේ ඒ එදා අපේම රටේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයන් පිරිසකි. සූත්‍රය පුරාවටම මේ හමුවන සතරවරම් රජවරු හෙවත් පාලකයන් හතරදෙනා නියෝජනය කරනලද්දෙ වර්තමානයේ සිංහල බවට පත්ව ඇති සිව්හෙලයයි. ඒ අනුව සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොව, සිව් හෙලය සතරම් වරම් රජදරුවන් ප්‍රමුඛ හෙල අධිරාජ්‍යෙය් තිබුණ

යක්ඛ හෙළය

කුම්භාණ්ඩ හෙළය

නාග හෙළය

ගාන්ධාර්ව හෙළය

යන ගෝත්‍ර හෙවත් ජන කොඨ්ඨාශ හතර නිසා ඇති වුවකි. සමස්ථ අධිරාජ්‍යම හෙළ අධිරාජ්‍ය හෙවත් අසුර අධිරාජ්‍ය වූ අතර එය සිව්හෙළයින් සමන් වී ඇත. ආටා නාටිය සුත්‍රය මගින් සිංහලය හෙවත් සිව් හෙළය ගැන හෙළි වන්නේ එලෙසිනි. පසුකාලයක යක්ඛ, රාක්ඛ, දේව හා නාග ලෙස හදුනාගෙන ඇත්තේද මේ යක්ඛ හෙළය, කුම්භාණ්ඩ හෙලය , නාග හෙළය හා දේව හෙළයමද යන්න මා හට හිතෙන මුත් නිවැරැදිව අධ්‍යනයකින් තොරව මේ පිළිබද කිව නොහැක. මෙලෙස පළමුවන කොටසේ බුදුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ඣකූඨ බබලවා බුදුන්වහන්සේ දැකිමට පැමිණියේ විමාන වලින් විය හැක. මන්ද බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අහසින් වැඩි සතාගිර හා හෙමවත යක්ඛ සෙන්පතින් පවා ගමන් කලේ විමාන වලින් නිසා මෙලෙස විමාන වලින් පැමිණිම නිසා ගිජ්ඣ කූඨ පර්වතය පෙදෙස අලෝකමත් වීම මෙලෙස දක්වන්නට ඇත. මන්ද යත් අතීතයේ තිබුණ, මනඃකල්පිතයක් වූ දඬුමොණරය යනු අතීත ගුවන් තාක්ෂණයේ තිබුණා වූ විමාන අතුරින් එකක් බව හෙළිකොට ඇති අතරම අතීතයේ සිටි මෙම සතරවරම් රජවරු ඇතුළු මුතුන් මිත්තන් පවා මේ විමාන පාවිච්චි කර ඇති බවට ජනප්‍රවාද වලින්ම අපට තහවුරු කරගත හැකි බැවිනි.

(උදා: යකාගේ හැටියටනේ විමානේ යන පිරුළ ගත හැක. අපගේ ගුවන් යානා තාක්ෂණය පිළිබදව ලිපි පෙළ කියවූ අයට නම් දුතකයාට අවැසි පරිදි මෙම විමානය නිපදවීම පිළිබදව මතක ඇති. මේ පිරුලෙන් කියැවෙන්නේ ඒ පිළිබදවම නේද?)

බුදුන් වහන්සේ තමන්ගේ කාලය පෙරබත් කිස, පසුබත් කිස ආදී ලෙස යාමයන් පහකට තමන්වහන්සේගේ කාලය බෙදා තම ශ්‍රාවකයන් වෙනුවෙන් කාලය වෙන් කරදී තිබුණි. මෙලෙස සතරවරම් රජදරුවන්ට රාත්‍රියේ ප්‍රථම භාගයෙන් පසුව කාලය වෙන්කොට තබන්නට ඇත. නියමිත කාලයේ බුදුන් වහන්සේ දැකීමට පැමිණි සතරවරම් රජවරු අතරින් යක්ඛ සේනාවට අධිපති වෛශ්‍රවණ රජු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථමයෙන් කරුණු දක්වු බව සඳහන්වේ. සතර වරම් දෙවිවරු අතරේද සිටින මේ වෛශ්‍රවණ දෙවියන් විශ්ණු ලෙස බහුතරය වරදවා වටහාගත්තද වෛශ්‍රවණ යනු වෙසමුණි යන්නයි. නමුත් මෙතන සඳහන් වන වෙසමුණි රජතුමා රාවණ රජුගේ පියා වූ වෙසමුණි විය නොහැක. පරාක්‍රම බාහූ, විජයබාහූ වැනි රජවරු එකකට වැඩිය සිටි හෙයින් මෙයත් එවැනි අවස්ථාවක් විය හැක.

2. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´

බුදුදහම පහළ වූ ගමන්ම සියළු දෙනා බුදුදහම වැළද ගත්තෙ නැති අතර සියළු රජවරු, සහ වැසියන්ද බුදු සරණ නොගිය අතර හෙළ අධිරාජ්‍යෙය් එක් කොටසක බිහි වූ ගෞතම බුද්ධ ශාසනය එක වර හෙළදිව පුරා පැතිර ගියේ නැත. ඒ නිසා බුදුදහම පහල වීමට පෙර තිබූ ආගම්, දර්ශන අදහමින් සිටි විවිධ තරාතිරමේ යක්ඛ ගොත්‍රිකයන් සිටි අතර ඔවුන් බුදුදහම පැතිරෙනවාට නොසතුටුව සිටින්නට ඇත. මෙලස ඔවුන්ගෙන් බුදුදහමට එල්ල විය හැකි තර්ජන පිළිබදව වෙසමුණි මහ රජු භාග්‍යවතුන් සමඟ සාකච්චා කර ඇති බව පෙනේ. පසුකාලීනව මෙම යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව කොටස් පිළිබද සටහන් වූ මෙම කරුණු ග්‍රන්ථකරනයේදී, වෙනත් භාෂාවලට පර්වර්තනයේදී මෙම කොටස හිතා මතම අමනුෂ්‍ය කොටසක් කල ඇති නිසා අදටත් අටානාටිය බාවිතා කරන්නේ යකුන් එලවීමටය. මෙම කරුණු නිසාම පසුකාලෙක අටානාටිය පිරිතේ සාමාන්‍ය බෞද්ධ වැසියන් මෙලෙස මනුෂ්‍ය ලෙස ලියැවෙන්නට ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ නොවන මිනිසුන් පස්පව් ගැන නොදන්නා අතර බුදුදහමට අකැමැතිය, අදට නොව එය එදාටත් වලංගු වූ බව ආටානාටිය පෙන්වා දේ.

3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

බුදුදහම පැතිරි පවත්නා වු ප්‍රෙද්ශ වල වසන්නා වූ වෙනත් ආගමික යක්ඛ ගොත්‍රිකයන් බුදුදහමට අකැමැති හෙයින්ද, ඔවුන්ගේ අකැමැත්ත දුරුකිරීමටද, බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවද, මෙම අබෞද්ධ, බෞද්ධ කොටස් අතර මතුවටත් ගැටළු ඇති නොවන පිරිසද මෙම අටානාටිය පිරිත පිළිගනු මැනව යනුවෙන් මෙම පිරිත බුදුන්වහන්සේට වෙසමුණි යක්ඛ රජු විසින් පිළිගැන්වූ බව සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු සම්බුද්ධ දේශානාවක් නොවන බව ආටානාටිය පිරිතේම සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු බෞද්ධ, අබෞද්ධ කොටස් අතර ගැටුම් ඇති නොවිම පිණිසද, බුදුසසුනේ ආරක්ෂාව පිණිස සතරවරම් රජවරු ප්‍රමුඛ සිව් හෙළය ගෞතම බුදුන්වහන්සේ ඉදිරියේ ඇතිකරගත්තා වූ සම්මුතියකි. එය ගෞතම බුදුන් හමුවේ තබන ලද්දෙ වෙසමුණි මහ රජතුමාය. වර්තමානයේ සතරවරම් දෙවියෙක් ලෙස හැදින්වෙන මේ වෛශ්‍රවණ යක්ඛ රජුය. නැත හොත් හෙළ අධිරාජ්‍යට සැමදා සතුරුකම් කල විශ්ණු නොවේ.

04. ´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)

´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´

මෙලෙස ආටානාටිය සම්මුතිය කියවීමට පෙර සියළු බුදුන් වහන්සේලාට හා නමස්කාර කරමින් හා ගෞතම බුදුන් වහන්සේට නමස්කාර කිරීමෙන් අනතුරුව අරහත්භාවයට පැමිණි රහතන් වහන්සේලාට නමස්කාර කරමින් වෙසමුණි රජු විසින් මෙලෙස සම්මුතිය කියවීම ආරම්භ කර ඇත.

5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.

 ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.

´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).

හෙළ අධිරාජ්‍යෙය් නැගෙනහිරින් පිහිටි ගාන්ධර්ව හෙළය(දේව හෙළය විය හැක) ආරක්ෂා කරන, ගාන්ධාර්ව හෙළයේ පාලකයා ධ්‍රතරාෂ්ඨ වේ. එම රජු ප්‍රමුඛ ගාන්ධාරව කොටස් බෞද්ධයෝ වේ. මෙලෙස සිව්හෙළයෙන් ගාන්ධාර්ව හෙළයේ බුදුදහම පැතිරි ඇති බව මෙලෙස දක්වා ඇති අතර එය වෙසමුණි රජු විසින් ගාන්ධාර්ව හෙළය පිළිබදව ඔහු දන්නා පරිදි විස්තරකර ඇත.

6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´

´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

මෙලෙස හෙළ දිවයිනේ දකුණින් පිහිටි කුම්භාණ්ඩ හෙළයේ පාලක විරූපය නැමැති සතරවරම් රජු පිළිබදවද

7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´

´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

බස්නාහිරින් පිහිටි නාග හෙළයේ පාලක විරූපාක්ෂ නම් රජු පිළිබදවද කෙටියෙන් විස්තරයක් බුදුන් වහන්සේ හමුවේ කර ඇති ආකාරයක් මෙම කොටසින් හදුනාගත හැක.

ඕනෑම පුද්ගලයෙක් වඩාත් හොදින් දැනගත යුත්තේ තමා පිළිබදවය. වෙනත් අයෙක් ගැන විස්තරකිරීමට, වෙනත් ප්‍රදේශයක් ගැන විස්තර කරීමට වඩා තමන්ගේ ප්‍රදේශය ගැන විස්තර කිරීම පහසුය. එබැවින් වෙසමුණි රජු තමන්ගේ රාජධානිය හා දිශාව පිළිබදව පහත පරිදි විස්තර කර ඇත.

8. ‘යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.

ඒ අනුව හෙළ අධිරාජ්‍යෙය් යක්ඛ හෙළය පිහිටියේ උතුරින් බව හිතාගත හැක. බෞද්ධ සාහිත්‍යෙය්ම එන තුන්ලෝකය යැයි හැදින්වෙන ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින යනුවෙන් ලෝක තුනක් බව කීවද එය යම් ප්‍රාදේශිය පාලන ප්‍රෙද්ශයක් බව පෙනේ. ජම්බුද්වීපය පිහිටියේ හෙළ දිවයිනේම පිහිටියා යන්න මෙම කරුණින්ම අදහසක් ගත හැක. ජම්බුද්වීපයට උතුරින් පිහිටි උතුරුකුරු දිවයින යක්ඛ හෙළය නම් ජම්බුද්වීපය එයට දකුණින් හෝ මෙම සිව් හෙළය මධ්‍යෙය් පිහිටි බවක් සිතිය හැක.

´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´

අපේ පසුගිය ලිපිවලින්ද කතාකල පරිදි යක්ඛ යනු යකඩ භාවිතාකල හෙයින් පටබැදුන බව සදහන්කලෙමු. මෙමගින් මෙම යක්ඛ ගෝත්‍රිකයන් යකඩ ආශ්‍රිත යන්ත්‍ර සුත්‍ර බාවිතාවෙන් ගොවිතැන් කලා විය හැක. නැතිනම් ගොවිතැන් නොකට මේ යකඩ කර්මාන්තය ඇසුරෙන් දිවි පැවත්ම සිදුකලා විය හැක. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත් මගින් ඔවුන් ගොවිතැන් නොකල බවක් සදහන් වන්නේ නැත. මනුෂ්‍යයෝ නොසානා ලද භුමියේ හටගෙන පැසුනා වු ඇල් සාල් බත් අනුභව කරත්,  එසේ නම් මොවුන් ගොවිතැන් කටයුතු සදහා දියුණු වූ තාක්ෂණික ක්‍රම භාවිතා කලා විය යුතුය. තම ගමන් කටයුතු සඳහා විමාන සෑදු හෙළ වැසියන් හට ගොවිතැනට තාක්ෂණික ක්‍රම බාවිතා නොකලා යැයි කිව නොහැක. කෙසේ වුවද සිව්හෙළයන් අතුරින් යක්ඛ හෙළය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කලා යැයි කිව හැක.

ආටා නාටිය විමසීමේදි මතකයට නැගෙන්නා වූ තවත් කාරණයක් මෙතනට සම්බන්ධ වන බවක් දැනේ. බුදුන් වහන්සේ සමනළ කන්දට නොව නමුණුකුල කන්දට තම සිරිපතුල පිහිට වීමට වැඩි අතර සැන්දෑ සමයේදී පවා හරකුන් යොදාගෙන බදුළු වෙලේ සීසාමින් සිටි මිනිසුන් දැක බුදුන් වහන්සේගේ දෑසීන් කඳුළු බිංදු වැටුන අතර එම කඳුළු බිංඳු මුතු ඇට වී එක් රැස් වූ තැන සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගණයට නම පබැඳුන බව අසා ඇත්තෙමි. මෙතනදී නමුණුකුල කන්දේ ශ්‍රි පාදය නොතිබුණද, හරකුන් යොදාගෙන සී සාන මිනිසුන් පිළිබදව බුදුන් වහන්සේ සංවේග උපදවන්නට ඇත්තේ හෙළ දිවයිනේම උතුරු කොටසේ සිටි මිනිස් කොඨ්ඨාශයක් විසින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබදව උන්වහන්සේ දැන සිටි නිසා දෝ යැයි සිතේ.

‘කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.

ඔවුන් ඉන්ධන වශයෙන් දර පාවිචිචි නොකර මෙම ජෝති පාසාණ නැමැති ගල් භාවිතයෙන් ආහාර පිසුවා නම් ඒ ගල් අඟුරු විය හැක.

‘ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’

‘ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’

මෙලෙස ඔවුන් අශ්වකරත්ත හෝ ගොන් කරත්තද බාවිතා කල බවද, දෝලාවන් බාවිතයෙන් ගමන් කල බවද හදුනාගත හැක.

‘ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද,ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.’

‘ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට,නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.’

‘උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.’

මෙහි සඳහන් වන නගර දෙස බැලූ කල බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාටාව හෙවත් කුසිනාරාවද මෙම උතුරු කුරු දිවයින තුල හෙවත් යක්ඛ හෙලය තුලම පිහිටා ඇති තවත් නගරයක් බවත්, ආලකමන්දාව නමින් හැදින්වෙන රාජධානියද යක්ඛ හෙලට බස්නාහිරින් පිහිටි බවත් පැහැදිලි වේ. මෙම ආලකමන්දා රාජධානිය සීගිරිය යැයි උපකල්පනය කිරීමෙන් අපට මේ පිළිබදව දළ සිතියමක් මවා ගත හැක.

‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය,ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.

වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.

යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.

‘තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.’

‘මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.’

‘යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.’

යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.

ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

මෙලෙස උතුරු කුරු දිවයින හෙවත් යක්ඛ හෙලය පිළිබදව හා තමන් පිළිබදව හදුන්වාදෙන වෙසමුණි රජු මෙලෙස ආටානාටිය නැමැති සම්මුතිය ප්‍රකාශ කර ඇත.

9. ‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද,උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස,තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.’

වර්තමානයේ වුවද සමාජයේ රුදුරු ගති සහිත, තිරිසන් ගති සහිත,පාපකාරී මිනිසුන් දක්නට ඇති අතර අතීතයේදිද එසේවන්නට ඇත. අමනුෂ්‍ය යනුවෙන් මෙතනදී අදහස් කර ඇත්තේ ලබාගන්නට අමාරුවූ මිනිස් ආත්ම බාවයක් ලබාගෙන මනුෂ්‍ය නොවන ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මිනිසුන් පිළිබදවය. එවැන් වූ මිනිසුන් සිව්හෙළයේ යක්ඛ, කුම්භාණ්ඩ,නාග හා ගාන්ධාර්ව යන කොට්ඨාශ සියල්ලෙම සිටින්නට ඇත. මෙය වූ කලි එවන් වූ මිනිසුන්ගෙන් බුදුදහම හා එහි ශ්‍රාවකයන් රැකීමටද, එවැන් වූ මිනිසුන් නැවතත් මනුෂ්‍ය ගති ඇතතන් බවට පත්කිරීම උදෙසා සතරවරම් රජවරු ඇතුළු සිව්හෙළයම ඇතිකරගත් සම්මුතියක් මිස යකුන් එළවීමට කියනා මන්තරයක් නොවන බව වටහාගත යුතුය.

10.’නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’

‘නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’

මෙම සම්මුතියෙන් බැහැර වන්නා වූ එවැන් වූ රෞද්‍ර නපුරු ගති වලින් යුක්ත, අමනුෂ්‍යන් මෙන් හැසිරෙන්නා වූ ගාන්ධාරව,යක්ඛ, කුම්භාණ්ඩ හා නාග යන කොටස් වලට අයත් වූවන්ද, එකට එක කරන්නා වූ මෙම කොටස් සතරවරම් රජවරුන්ට අකීකරු වූවන් යැයි සලකුණු ලැබේ.

‘නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?’

මේ ආකරයෙන් සම්මුතියක් පනවා තිබියදී පවා, බෞද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්නා වූ මෙම කොඨ්ටාශවලට  මෙම ක්‍රියා නැවැත්වීම උදෙසා පත්කර ඇති සිව්හෙළයෙන්ම සමන්විත සේනාධිපති වරුන්ට පැමිණිලි කල යුතුබව සදහන් කර ඇත. ඒ සෙන් පතියන්ගේ නම් පහතින් දැක්වේ.

‘ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.’ 

‘පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය,  පුණ්ණකය,  කර්තීයය,  ගුලය, සීවකය,  මුචලින්දය, විශ්වාමිත්‍රය,  යුගන්ධරය.’

‘ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද,  මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.’

මෙ අතරින් පැහැදිලිවම ඉන්ද්‍රය, මාතලීය යන සෙන්පතීන් දේව හෙළය හෙවත් ගාන්ධරව හෙළයෙන්ද, සතාගිරය, හෙමවත, ආලවකවය යන සෙන්පතින් යක්ඛ ළෙයෙන්ද, මුචලින්ද යන යන සෙන්පති නාග හෙළයෙන් බව බෞද්ධ සාහිතයේදී, හා ඉතිහාසයේ එක් එක් ස්ථාන වලදී හමු වීමෙන් පැහැදිලිව හදුනාගත හැක. කුම්භාණ්ඩ හෙළයෙන් සෙන්පතින්ද මේ තුල සිටිනා නමුත් කවරෙක්ද යැයි නිසි ලෙස පැවසීමට තරම් මා දැනට ඉගෙන ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොව්.

‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.

ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.’

ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.’

සම්මුතිය පිහිටුවීමෙන් අනතුරුව සතරවරම් රජවරු මෙලෙස තමන්ගේ රාජධානි කරා නැත පිටත්ව ගිය බවදැක්වේ. එහිම අතුරුදහන් වූවා යැයි සදහන් කරන්නේ ඔවුන් තමන්ගේ රාජධානි කරා විමාන වලින් හෝ වෙනත් දියුණු ගමන් ක්‍රම මගින් පිටත්ව ගිය ආකාරය විය හැක.

(පළමුවන මණවර නිමි.)

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.

‘මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය’යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.

බෞද්ධයාගේ ආරක්ෂාව, බුදුදහමේ ආරක්ෂාව පිරිස බුදුන් වහන්සේ ඉදිරයේම සිව්හෙළයේ අධිපතිවරුන් විසින් ඇතිකරගත්තා වූ සම්මුතිය බුදු සසුනේ හා බෞද්ධයන්ගේ ආරක්ෂාව පිණිස සියළු මහණුන් වහන්සේලාට නිතර පුහුණු කිරීමට බුදුන්වහන්සේ උපදෙස් දෙන ලද්දේ මතුවටත් එම සම්මුතීන් එලෙසම පැවීතීමටය. නමුත් වර්තමානයේ අපේ සමාජය මෙලෙස අපේ මුතුන්මිත්තන් බුදුදහම රැකීමට ඇති කරගත් සම්මුතිය, අපේ මුතුන් මිත්තන් අමනුෂ්‍ය කොඨ්ටාශ වලට හරවා ඔවුන් එලැවීමට ගායනා කරන්නෙමු. ආටානාටිය කියවන්න, ඒ වගේම විමසන්න එවිට සත්‍ය වටහා ගත හැක.

අද සතාගිර, හෙමවත, ආලවක හෝ මුචලින්ද, විශ්වමිත්‍ර, යුගන්දර හෝ මාතලීය, ඉන්ද්‍ර, වරුණ සෙන්පති වරු නැත. නමුත් බුදුදහමට ඇති වන්නා වූ තාඩන පීඩන, බෞද්ධයන්ට ඇතිවන්නා වූ හිරිහැර එසේම පවතී. මේ නැවතත් ආටානාටිය සම්මුතියක් ඇතිකරගැනීමට කාලයයි. බුදුදහම හා බෞද්ධයන් රැකගැනීමට කාලයයි.

– seuslsla.blogspot

66,916 Viewers

——

cnews

Add-here-new

contactus-n