වර්තමාන අභියෝග හමුවේ කුමාරතුංග චින්තනයේ වැදගත්කම

කුමාරතුංග මුනිදාස – 125 වන උපත් සමරු උලෙළේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර සූරීන් පැවැත්වූ වෙසෙසි දෙසුම..

කුමාරතුංගයන් ශාබ්දිකයකු වශයෙන් ,සාහිත්‍ය විචාරකයකු වශයෙන්, සාහිත්‍ය නිර්මාණකරුවකු වශයෙන් කරන ලද අති විශිෂ්ඨ සේවය ගැන අප කවුරුනුත් දන්නවා.ඒ ගැන සෑහෙන අවබෝධයක් සමාජ අවධානය වෙත යොමු වී තිබෙනව. එහෙත් බුද්ධිමතෙකු වශයෙන් – විශේෂයෙන් මෙරට ජන මනස වෙනස් කිරීමට කටයුතු කල බුද්ධිමතෙකු වශයෙන් ඔහු අතින් සිදු වූ සේවය ගැන අප තුල තවමත් ඇත්තේ අඩු අවබෝධයක් .එමෙන්ම එහිදී එතුමන් දැක්වූ අදහස් උදහස් – එතුමන්ගේ චින්තනය අද අප මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා පිටුබල කරගත හැක්කේ කෙසේද යන්න ගැඹුරින් සලකා බැලීමක් මෙතෙක් සිදු වී ඇතැයි මා හිතන්නේ නෑ.ඒ නිසයි මෙවැනි කෙටි දේශනයක් මගින් හෝ එවැන්නකට අත ගැසිය යුතු යයි මා කල්පනා කලේ.

මෙහිදී පළමු කොටම මා යොදා ගත් වහර – ජන මනස වෙනස් කල බුද්ධිමතකු ය යන වහර ගැන අවබෝධයක් ලබා දිය යුතු යැයි මා හිතනව.

අප අතර ඉන්නා බුද්ධිමතුන් දෙවර්ගයකට බෙදිය හැකි බවයි මගේ වැටහීම.කිසියම් ක්ෂේත්‍රයක් ගැන – සාහිත්‍යය වේවා ,ඉතිහාසය වේවා ,දේශපාලනය වේවා ,මේ ගැන ගැඹුරින් අධ්‍යනයක් කර නව අදහස් උදහස් එළි දක්වන බුද්ධිමතුන් අප අතර එතරම් විරල නෑ.ආනන්ද කුමාරස්වාමි,සෙනරත් පරණවිතාන ,මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ඇතුළු වනෙන ඒ ගනයටයි. මොවුන් සිය ලිපි ලේඛන මගින් ජන මනස වක්‍රාකාරයෙන් වෙනස් කිරීමට තැත් කලවුන් ලෙස කිසිවකු අඳුන්වන්නට පුළුවන්.මාර්ටින් වික්‍රමසිංහයන් වැන්නකු අරබයා එවැනි නිගමනයක් කිරීම හේතු සහගතයි.එහෙත් ජන මනස වෙනස් කරන බුද්ධිමතුන් විසින් ගනු ලබන්නේ මෙවැනි වක්‍රාකාර මගක් නෙවෙයි.මෙයට වඩා බෙහෙවින් වෙනස් සෘජු මර්ගයක්.එවැනි සෘජු මගක් ගන්නා මේ බුද්ධිමතුන් ජනතා අභිමුඛයට කෙලින්ම යනව; ජනතාවට කෙලින්ම ආමත්‍රණය කරනව ; ජනතාව සමග වාද විවාදවලට සහභාගී වෙනවා. එපමණක් නෙවෙයි ඇතැම් අවස්ථාවලදී ජනතාව සමග ‘පාරට බැස’ උද්ඝෝෂණවලට ද සහභාගී වෙනවා.මෙවැනි බුද්ධිමතුන් ඇඳින්වීම පිණිස අලුත් වහරක් බටහිරයන් විසින් මෑතක සිට යොදාගෙන තිබෙනව.ඔවුන් මෙය හඳුන්වන්නේ “Public Intellectuals” යන වහරින් .බටහිර ලෝකයේ විසූ කාල් මාර්ක්ස්, ලෙනින්, බ්‍රට්‍රන්ඩ් රසල් ,සාත්‍රෙ වැන්නන් අයත් වන්නේ ම ගණයටයි. අද වන විට බටහිර ලෝකය තුල මෙවැනි “Public Intellectuals” නැති බවයි අපට අසන්නට ලැබෙන්නේ.අද ඇමරිකාවේ ඉන්න නෝම් චොම්ස්කි මේ පරපුරේ අන්තිමයා වශයෙනුයි හඳුන්වනු ලබන්නේ.බටහිර ලෝකය අද මුහුණ දෙන මහා පරිමානයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙය සලකනු ලබන්නේ.

අපගේ රට දෙස බැලුවොත් අප අතර බිහි වූ බුද්ධිමතුන් අතරින් මේ ගණයට අයත් වන බුද්ධිමතුන් වශයෙන් සැලකිය හැක්කේ දෙදෙනෙකු පමණක් බවයි මගේ වැටහීම.ඉන් පළමුවැන්නා අනගාරික ධර්මපාල තුමායි.එතුමා අදටත් මේ රටේ ඉන්නා පේරාදෙණිය බිහි කල අනුකාරක උගතුන් විසින් සලකනු ලබන්නේ බුද්ධිමතෙකු ලෙස නොව ධර්මෝන්මාදයෙන් ජාතිකෝන්මාදයෙන් මෙහෙයවන ලද ජනප්‍රිය (Populist) ඝෝෂකයකු වශයෙනුයි. එහෙත් බුද්ධිමතෙකු ලෙස නොතකන ලද ඒ ඝෝෂකයා විසින් මේ රටේ ගමන් මග යලි ආපසු හැරවිය නොහැකි සේ වෙනස් කල බව මේ අනුකාරකයන්ට තවමත් වැටහී නොමැති බවයි පෙනෙන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වීමටත් 56 ජයග්‍රහණයටත් පාදක වූයේ  අන් කිසිවන් නොව ධර්මපාලතුමා මේ රටේ බහුතර ජනතාවේ මනස තුල වපුළ බිජුවටයි.

ධර්මපාලතුමා ගෙන් අනතුරුව මේ රටේ බහුජන මනස වෙනස් කිරීමට  සෘජුව කටයුතු කල බුද්ධිමතා වශයෙන් මා දකින්නේ මුනිදාස කුමාරතුංගයනුයි.කුමාරතුංගයන් ඒ කටයුත්ත කල  ආකාරය සලකා බැලීමට පළමු ජන මනස වෙනස් කිරීමට ඉදිරිපත් වන බුද්ධිමතුන් සතුව පවත්නා විශේෂ ලක්ෂන්ණ ගැන සලකා බැලීම වැදගත් වේ යයි මා සිතනවා.

බහුජන මනස වෙනස් කිරීමට තැත් කරන මේ බුද්ධිමතුන් සතු විශේෂ ලක්ෂණ ලෙස මා දකින්නේ ඔවුන් සතුව පවත්නා අදීනත්වය ,දැඩි ආත්ම විශ්වාසය හා නිර්භයතාවයයි.

අදීනත්වය යනු දීනයකු ලෙස ,නිවටයකු ලෙස කටයුතු නොකිරීමයි, ලාභ අපේක්ෂා කීර්ති ප්‍රසංශා නොතකා කටයුතු කිරීමයි.බලවතුන්ගේ මුහුණ හොඳ කරනු වස් කටයුතු නොකිරීමයි, බලයේ සිටින්නන්ගේ සිත් දිනාගනු වස් කටයුතු නොකිරීමයි.

එවැනි අදීනත්වයකට පාදක වනුයේ දැඩි ආත්ම විශ්වාසයයි.තමා කියන දේ පිළිබඳව ඇති දැඩි විශ්වාස්යයි,කැප වීමයි.නිර්භය ගුණය බිහි වන්නේ ඒ දැඩි ආත්ම විශ්වාසය තුළිනුයි.

බුද්ධිමතා සතු විය යුතු ලක්ෂණ කුමාරතුංගයන්ම මෙලෙසින් දක්වා තිබෙනවා.

රටට දැයට ආගමයට හෝ                                       බසට

ඔබට කලැ’කි සුළු මෙහෙයක් වත්                   නොකොට
නිවට බැවින් තව මුළු ගැන්වී                               නොසිට
සිතට වැර කවා ගෙනැ එව                              පෙරමුණට

නොපා බිය ඇත්ත ඇති සැටි කියන                            දන
අපා ය නම් මරණි මතු වඩින                                    තැන
සැපා ‘රෙකැයි  කියුවත් සුර පුර                               ගලන
එපා මට එපා මැයි එතැන                                   සැබැවින

මේ අවස්ථාවේදී මා කුමාරතුංගයන් සතුව තිබූ මේ ලක්ෂනය උපුටා දක්වනුයේ කුමක් නිසාද, අද දින මේ සමාජයට එය අදාල වන්නෙ කුමක් නිසාද යන්න ලුහුඬින් හෝ සලකා බැලීම වැදගත් යැයි සිතමි.

එවැන්නක් සඳහා මා මෙහෙයවන ප්‍රධාන හේතුව නම් ඉහත කී ලක්ෂණවලින් හෙබි බුද්ධිමතුන් පිරිසක් අද මේ රට තුළ නොසිටීමයි.කොටින් කියතොත් අද සමාජය – සමාජ බුද්ධි ක්ෂේත්‍රය පාළුවට ගිය වඳ වූ මුඩු බිමක්. මේ රට මුහුණ දෙන විශාලම අභාග්‍යය මෙන්ම අනතුරද එයයි. ඒ අනවබෝධය නිසා පහල වූවක් නොවෙයි. රට තුල සිදු වන්නේ කුමක්ද , අප මුහුණ දෙන අතුරු අන්තරා මොනවාද , අභියෝග මොනවාද – මේවා පිළිබඳ අවබෝධයක් මේ රටේ ඉන්නා ඊනියා බුද්ධිමතුන්ට තිබෙනවා. ඒවා ගැන ඔවුන් සමග පෞද්ගලික කතා කලහොත් ඒවා ගැන විචක්ෂණ විග්‍රහ ඉදිරිපත් කිරීමට ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමත් වෙනවා. ‘ඇයි එහෙම නම් ඕව ගැන කට ඇරල කතා නොකරන්නේ?” ඔවුන් වෙත යොමු කරන මේ ප්‍රශ්නයට ඔවුන් දෙන පිළිතුර විසිනුයි ඔවුන්ගේ නිරුවත හෙළි කරනු ලබන්නේ. ‘ඕව දේශපාලනේ… ඕව ගැන කතා කරන්න මම කැමති නෑ ! ” ඇත්ත තත්වය නම් ඒවා දේශපාලනය වීම නොව ඒවා ගැන කතා කිරීමෙන් තමන්ට සිදු විය හැකි හානියයි, තමන්ගේ ඊලඟ උසස්වීමට සිදු විය හැකි හානියයි, තමන්ගේ බිරියගේ රැකියාවට විය හැකි හානියයි, තමන්ගේ දරුවා ගේ අනාගතයට විය හැකි හානියයි.එබැවින් හොඳම පිළිවෙත නම් මෞනව්‍රතය රැකගෙන සිටීම නොවේද? රටට හෙන ගැහිල ගියත් කිම? සමාජයට හෙන ගැහිල ගියත් කිම? තමන් ගේ ‘දෙක හමාර බේරාගෙන’ කුමාරතුංගයන් පෙන්වා දුන් පරිදි ‘නිවට බැවින් මුලු ගැන්වී සිටීම’ තමා මේ වෙලාවේ අනුගමනය කල යුතු ප්‍රතිපත්තිය.මේ සමාජය -සමාජ බුද්ධි ක්ෂේත්‍රය පාළුවට ගිය වඳ මුඩු බිමක් වී ඇත්තේ මේ නිසාය.

මේ බියගුලු නිවටකමේ ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද?ඒ නම් අර පාළුවට ගිය මුඩු බිම මේ රටේ ඉන්නා ඩොලර්වලින් යැපෙන අධමයන්ට උඩ පිනුම් බඩ පිනුම් රීස් සේ ගැසිය හැකි තැනක් බවට පත් වීමයි. මේ ඇන්.ජී.ඕ නඩය ඒ උඩ පිනුම් බඩ පිනුම් ගසන්නේ ‘බුද්ධිමතා’ නැමති වෙස් මුහුණ පැලඳගෙනයි.ඇමරිකාව විසින් පෝෂණය කරනු ලබන මේ ඇන්.ජී.ඕ නඩ ඉටු කරන ක්‍රියා දාමය හෙළි කරන වැදගත් ලිපියක් දැනට දින කිහිපයකට පෙර මා අතට ලැබිණ. මහාචාර්‍ය ජේම්ස් පෙට්‍රාස් සම්පාදනය කර ඇති ‘Separatism and Empire Building in the 21st Century’ නැමති ඒ ලිපියෙන් මේ එන්.ජී ඕ නඩ ඇමරිකා ආධිපත්‍ය ලොව පුරා ස්ථාපිත කිරීමට දෙනු ලබන ප්‍රබල දායකත්වය ගැන මැනවින් හෙළි කර තිබෙනවා.මේ ඇන්.ජී.ඕ බුද්ධිමතුන්ගේ ලිපි දෙකතුනක් මේ රටේ ඉන්ගිරිසි පුවත් පත් වල සතිපතා පළ වේ, ඒවාට පිළිතුරු දීමට ඉදිරිපත්වන කිසිවකු මේ රට තුල නොමැත.

එදා මෙවැනි අධමයන් ගෙන් රට ජාතිය බේරා ගැනීමට අනගාරික ධර්මපාල ,මුනිදාස කුමාරතුංග වැන්නෝ සිටියහ.අද අපි අනාථ වී ඇත්තෙමු.මේ අනාථ භාවයෙන් අප මුදවා ගත හැකි වනු ඇත්තේ කුමාරතුංගයන් පෙන්වාදුන් පරිදි ‘සිතට වැර කවාගෙන එනු හැකි’ නව පරපුරක් අප අතරින් බිහි වූවොත් පමණකි.කුමාරතුංගයන් සමරන මේ අවස්ථාවෙහි එතුමාට පිදිය හැකි ලොකුම උපහාරය නම් එවැනි පරපුරක් නොපමාව බිහි කර ගැනීමට කටයුතු කිරීමයි.එය තවදුරටත් ප්‍රමාද කල හැක්කක් නොවේ.

බහුජන මනස වෙනස් කරන බුද්ධිමතෙකු වශයෙන් කුමාරතුංගයන් වඩාත් කැප වූයේ ‘ලක් මිණි පහන’ පුවත්පතේ කතෘ වශයෙන් කටයුතු කල 1933,34,35 යන කාල පරිච්ජේදයේයයි මා හිතනව.අනගාරික ධර්මපාලතුමාගේ ක්‍රියා මාර්ගය යටපත් කොට මතු වූ විජාතික කොම්ප්‍රදෝරු පන්තිය සිය අණසක පතුරුවන්නට පටන් ගත්තේ මේ අවධියේයි. ඒ පන්තියට විරුද්ධව නැගී සිටි මාක්ස්වාදී විජාතික බලවේගයත් රට තුල දියත් වන්නට පටන් ගත්තේත් මේ අවධියේයි.සම සමාජ පක්ෂය බිහි වූයේ 1933 දීයි. එබැවින් 1862 දී ජාතික විමුක්ති අරගලය මුල් කොට ආරම්භ වූ ‘ලක් මිණි පහන’ යළි පණ ගන්වා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබුණා.අභාවයට ගිය  ‘ලක් මිණි පහණ’ යලි දල්වාලීමෙන් තමන් අපේක්ෂා කල අරමුණු මොනවා ද යන්න කුමාරතුංගයන් මේ අයුරින් දක්වා තිබෙනවා.

“ජාතිය නඟාලීමට ,භාෂාව නඟාලීමට ,දැය නඟාලීමට ,අදහස් නඟාලීමට ,එමෙන්ම බොරු මකාලීමට කුහක කම මකාලීමට,දීන බව මකාලීමට ,දාස බව මකාලීමට ,බැරි බව මකාලීමට”

කුමාරතුංගයන් මෙහි ලා මේ කටයුත්ත ඉටු කලේ ලක් මිණි පහනේ පළ කළ ලිපිලේඛන ,වාද විවාද මගින් මෙන්ම තමා ලියා පල කළ කතු වැකි මගිනුයි.

ඒ කතු වැකි මගින් කුමාරතුංගයන් විමසුමට ලක් කල විවිධ මාතෘකා ,විවිධ ක්ෂේත්‍ර අතරින් මා මෙහි ලා අවධානයට ලක් කරනු ලබන්නේ අපට අද වන විට අදාල යයි හැඟේන ක්ෂේත්‍ර කිහිපයක් පමණයි.

සිංහල බස කෙලෙසන්නට ඉඩ නොදී රැක ගැනීම කුමාරතුංගයන්ගේ ප්‍රධාන අරමුණක් වුනා.ඔහු ඒ අරබයා ලිපි ලේඛන වාද විවාද , සම්මන්ත්‍රණ මගින් විශාල උද්ඝෝෂණයක් කලා.මේ නිසාම කුමාරතුංගයන් සිංහල බස පොළොන්නරු යුගය වෙත ගෙන යාමට තැත් කරන්නේ යන චෝදනාවටද ලක් වුණා. මෙය කරුණු හරි හැටි නොදැන කරන චෝදනාවක්.කුමාරතුංගයන්ගේ සාහිත්‍ය නිර්මාණ ,විශේෂයෙන් කාව්‍ය නිර්මාණ සලකා බැලීමෙන් මෙය වටහා ගත හැකියි.සිංහල පිළිබඳ කේ.එන්.ඕ ධර්මදාස සූරීන් මෑතකදී කරන ලද නිගමනය- සිංහලය දකුණු ආසියාවේ ඇති පරණම සාහිත්‍යමය බස (Literary Language ) ය යන්න කුමාරතුංගයන් කලකට පෙර වටහා ගෙන තිබුණා.කුමාරතුංගයන්ට උවමනා වූයේ අපගේ සාහිත්‍යාකරුවන් අතෙහි භාවපූර්ණ බවස්ක් බවට පත්ව තිබූ සෙවි බස ඇසුරු කර වත්මන් ග්‍රාම්‍ය බස වියත් වහරක් බවට පත් කිරීමයි.එමෙන්ම භාෂාව සංස්කෘතියේ වාහකයක් වේ නම් එය සංස්කෘතියේ පැවැත්මට ඉවහල් වන අනුලෝම අංගයක් විනා එය නැසීමට තුඩු දෙන ප්‍රතිලෝම අංගයක් නොවිය යුතුයි.අද සිදු වෙමින් පවතින්නේ මෙය නොවේද? කුමාරතුංග උන් අවධියේ එය පෙණුනේ යම්තමින් නම් අද එය සක් සුදක් සේ පැහැදිලි බව මා නොකීවාට ඔබට පෙනෙනු ඇති.අද ඇති රූපවාහිනී වෙළඳ මාධ්‍ය මගින් කරනු ලබන මේ බස කෙලෙසීමේ අරමුණ අන් කිසිවක් නොව අපගේ හර පද්ධතිය විනාශ කිරීමයි.මෙය අද ඇති විජාතිකකරණයට ඉතා අවශ්‍ය දෙයක්.සංස්කෘතිය වෙනස් විය යුතුය,බස වෙනස් විය යුතුය ,කට බසින් පමනක් නිර්මාණ කල හැකිය යනුවෙන් අපේ බක පණ්ඩිතයන් කරන දෙඩවිල්ලද මේ විනාශය සඳහා කරන උඩ ගෙඩි දීමකි.අද ඇති අභාග්‍යය නම් මෙවැන්නකට එරෙහිව සටන් කල හැකි කුමාරතුංග කෙනෙකු අප අතර නොසිටීමයි.

‘ලක් මිණි පහන’ ඇරඹීමේ එක් පරමාර්ථයක් ලෙස කුමාරතුංගයන් සැලකුවේ ‘ආගම නඟාලීමයි’.ඒ අරබයා එතුමන් විසින් ලිපිලේඛන නොයෙක් විට ලියා තියෙනවා.එතුමන් විසින් ලියන ලද ‘දෙලෝ වැඩ’ නැමති ලිපියද එවන්නක්.එය වත්මන් බෞද්ධ ගිහියන් මෙන්ම සඟුන් විසින් ද කියවිය යුතු ලිපියක් ලෙසයි මා හිතන්නේ.ඒ ඇයි ද යන්න මා පැහැදිලි කල යුතු යැයි මා හිතනවා.

අද අප රට තුල එක්තරා ආකාරයක බෞද්ධ පුනරුදයක් ඇති බව කියනු ලබනවා. 2006 සම්බුද්ධ ජනන්තිය නිමිති කොටගෙන බෞද්ධ පිළිවෙත් පුරන සමාජයක් බිහි කිරීමට රජය මුල් වී කටයුතු කරන බව පෙනෙනවා.ඒ අරබයා විශාල බිල් බෝඩ්,බැනර් හැම හන්දියකම පාහේ ප්‍රදර්ශනය කර තිබෙන බව පෙනෙනවා.ඒ අතරම දැන් රට පුරා අසපු  ,මහමෙව්නා ,භාවනා මධ්‍යස්ථාන ම්,ආරණ්‍ය සේනාසන ආරම්භ කර ඇති බව දකින්නට ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි ඇතැම් භාවනා මධ්‍යස්ථාන මගින් සෝවාන් ,සකෘදාගාමි ආදී සහතික දෙන බවත් දැනගන්නට ලැබිල තියෙනබා.මේවා නරක වැඩ නෙවෙයි.හොඳ  වැඩ. ඒත් අපට එක ප්‍රශ්නයක් ඇසීමට තිබෙනවා. එනම් මේ ක්‍රියා මගින් බුදු රජාණන් වහන්සේ අනුදත් දැහැමි සමාජය බිහි වේද යන්නයි.මේ ක්‍රියාවට නගන්නේ බුදුන් වහන්සේ දුන් පණිවිඩයද යන්නයි.දැහැමි සමාජයක් බිහි කිරීම සඳහා පුද්ගලයා වෙනස් කටර අතරම ඊට ,ඒ වෙනසට අනුරූප වන සමාජයක් බිහි කළ යුතු යයි බුදුන් වහන්සේ දේශනා කල බවයි අපගේ වැටහීම.එහෙත් දැන් මේ කරන්නට යන්නේ සමාජය සහමුලින්ම අමතක කර ,සමාජය සියලු දුෂ්චරිතවල ආකරයක් ලෙස පවත්වාගෙන යන අතර පුද්ගලයා වෙනස් කිරීමට තැත් කිරීම නොවේද? පුද්ගල විමුක්තිය විනා සමාජ විමුක්තිය නොතකා හැරීමක් නොවේද? වෙන වචනයයෙන් කිවහොත් එලොව ගැන විනා මෙලොව ගැන නොතකන බුදු දහමක් ව්‍යාප්ත කිරීම නොවේද? මා නම් මෙය දකින්නේ  අංශභාග’ බුදු දහමක් ලෙසයි.

මේ පිළිබඳව මුනිදාස කුමාරතුංගයන් ගැඹුරින් සිතා ඇති බව ‘දෙලෝ වැඩ’ නැමති කතුවැකියෙන් පැහැදිලි වෙනව.එහිදී එතුමන් දැක්වූ කරුණු එදාට වඩා අද අපට වලංගු වන බවයි මගේ වැටහීම.මේ ඒ කතුවැකියෙන් ගත් ජේද කිහිපයක්.

“මෙලෝ වැඩ පරලෝ වැඩ සාදාගැනීමේදී ප්‍රධාන කොටැ සැලකියැ යුත්තේ කිමෙක්දැ?මෙලෝ වැඩයි. පර ලොව වැඩක් වත් හොත් ඒ මෙලොවැ වැඩට අනුව විය යුතු යැ.ඒ හෙයින් මෙලොවැ වැඩ උසස් කොට සැලකිය යුතු බව ප්‍රකාශ වේ.අපේ බලවත් වරද නම් සැබෑවට හෝ බොරුවට හෝ පර ලොව වැඩමැ උසස් සේ සලකන බව පෑමයි….

අපේ ධර්ම දේශකයෝද මිනිසුන් ගේ සිත් පර ලොවටමැ යවති. එකක් සිතා අනෙකක් කියා වෙන එකක් කරන පැවිද්දන්ගෙන් පුරිදු කරගත් වංකකම් ඇති නොපැවිද්දෝ ද පෙනුමට බණ අසා,පෙනුමට සිල් රැක , පෙනුමට දන් දී සැබෑවටම නර සැපත්,සුර සැපත් බඹ සැපත් ,මොක් සැපත් ලබන්නට පටත්.එකක් නිසි ලෙස දත මනාය. පර ලොව සේවාව අමායෙන් කල යුත්තේය.අමායෙන් පර ලෝක සේවාව කරනු පිණිස සැබැවින් අවශ්‍ය වනුයේ ඉහ ලෝක සේවාව සුදුසු සේ කිරීමයි”

කුමාරතුංගයන් මෙයින් පෙන්වා දෙන්නේ බෞද්ධයා පර ලොවට දැක්කීම සඳහා කටයුතු කිරීම නොව ඔහුට ඒ දැහැමි ජීවිතය ගෙවීම සඳහා අවශ්‍ය මෙලොව සකස් කළ යුතු බවයි; දැහැමි සමාජයක් ගොඩ නැගිය යුතු බවයි.එවැන්නක් සිදු නොකොට පුද්ගල විමුක්තිය ලබා දීමට තැත් කිරීම මායාවක් ,වංචනික ක්‍රියාවක් ලෙසයි ,කුමාරතුංගයන් විසින් සලකන ලද්දේ

අද අප දිවා රෑ වෙහෙසෙන ජාතික සමගිය ඇති කිරීම අරභයා කුමාරතුංගයන්ට නිරවුල් දැක්මක් තිබුණු බව එතුමන්ගේ ලිපි ලේඛනවලින් දැකිය හැකියි.ජාතිය සමගි කිරීමේ ප්‍රශ්නයට එතුමන් කෙලින්ම අත නොගැසුවද ,එවැන්නක අවශ්‍යතාවය් ඒ යුගයේ නොතිබුණද එතුමන් එහි ලා දැක්වූ අදහස් වැදගත් යැයි මා සිතනව.

අපි මුළු රටැ එක් වරැමැ  සමගි කරන්නට වෙර වඩමු. ප්‍රදේශයක් සමගි කරන්නට ,ගමක් සමගි කරන්නට අපේ උත්සහයක් නැත.ඇතමෙක් තමන්ගේ ගම තිබියදී වෙන ගම් සමගි කරන්නට තැත් කරති.ඇතැමෙක් තමන්ගේ ප්‍රදේශය තිබියදී අන්‍ය ප්‍රදේශයන් සමගි කරන්නට රට පෙරලති.බොහෝ දෙනෙක් මුළු ලක්දිවම එක දවසක එක මොහොතකින් සමගි කරන්නට උපක්‍රම යොදති.දේශනා කරති,සභා පවත්වති.බොවුන් මේ වැරදි කොනින් කරන මේ ප්‍රයත්නයන් නිස බොහෝ විට තිබූ සමගියද නැති වන බව දක්නට ලැබේ.”

අපි අද ‘ බක පණ්ඩිතයන්’ කොමිසන්වලට පත් කරන්නට හදන්නේ මෙය නොවේද? 13 සංශෝධන මඟින් රට බෙදා කරන්නට හදන්නේ  මෙය නොවේද?ඒ යෝජනා මගින් තිබුණු සමඟියත් දැන් නැති වෙමින් යන තැනට කටයුතු සැලසී ඇති නොවේද?

කුමාරතුංගයන්ගේ අදහස වූයේ ගම සමගි කිරීම මඟින්, ප්‍රදේශ සමගි කිරීම මඟින් රට ජාතිය සමඟි කිරීමේ කාර්යට පිවිසිය යුතු බවයි.මෙය මෙහි ඇතැයි කියන ඊනියා ජනවාර්ගික ප්‍රශ්න උදෙසා දේශීය විසඳුමක් ඉදිරිපත් කරන අපගේ නායකයන්ගේ අවධානයට යොමු විය යූතු යැයි මා හිතනවා. කුමාරතුංගයන් පෙන්වන මේ මග අපට අපගේ අතීත උරුමය විසින් හිමි කර දෙනු ලැබ ඇති මඟ බවාපගේ අනුකාරක මනසට දැන්වත් පෙනී යා යුතුයි.ගම මුල් කරගත් ගම් සභාව පාලන ඒකකය වශයෙන් අපට හිමි කර දෙන ලද්දේ සිංහලයන් හා යක්ෂ – නාග ගෝත්‍රිකයන් එක්තැන් කළ පණ්ඩුකාභය රජු විසිනුයි. එය සියවස් ගණනාවක් යන තුරු අප අතර තිබූ සංස්ථාවක්.එය අහෝසි කරන ලද්දේ සුද්දාට රට සූරා කෑමට සලසා දුන් කෝල්බෘක් කැමරන් කොමිසම මඟින් 1833 දීය.එහෙත් ඒ ගම් සභාවෙන් තොරවට රට පාලනය කල නොහැකි බව වටහා ගත් සුද්දා එය යළිත් පුනරුත්තාපනය කලා.එය නැත්තටම නැති කරන ලද්දේ 1948 දී නිදහස ලබාගත් අපගේ කළු සුද්දන් විසිනුයි.

කුමාරතුංගයන්ගේ දැඩි අවධානයට නිරතුරු යොමු වූ ක්ෂේත්‍රයක් වූයේ ඒ අවධියේ මෙරට පැවති අධ්‍යාපනයයි.එතුමන් විසින් එය අඳුන්වා ඇත්තේ ‘නිකමුන්’ බෝ කරන අධ්‍යාපනයක් ලෙසයි එදා වූ අධ්‍යාපනය නිකමුන් බෝ කරන අධ්‍යාපනයක් ලෙසයි.එදා වූ අධ්‍යාපනය නිකමුන් බෝ කරන අධ්‍යාපනයක් ලෙස ඇඳින්වූයේ නම් අද ඇති අධ්‍යාපනය අප විසින් හැඳින්විය යුත්තේ ‘ත්‍රස්තවාදීන් ‘ බෝ කරන අධ්‍යාපනයක් ලෙස යයි මා සිතනවා.

එතුමන් ඒ අධ්‍යාපනය දුටුවේ දර්ශනයකින් තොරව කරන්නන් වාලේ කරගෙන යන අධ්‍යාපනයක් ලෙසයි.ඒ කරුණ අද වන විට අපට සිය දහස් වාරයක් පැහැදිලි කරගත හැකි වී තිබෙනවා.

කුමාරතුංගයන් ඒ අධ්‍යාපනය දුටුවේ මේ අයුරිනුයි: ” වෘත්තීය කුමක් වුවද මනුෂ්‍යයාට ඥානය ලබා දීමටයැ අධ්‍යාපනය කරනුයේ.ඉතින් අප විසින් නුවණින් විමස බැලිය යුත්තේ අප රටැ කෙරෙන අධ්‍යාපනයෙන් නා නා විධ වෘත්තීන් අනුගමනය කරන්නවුන්ට නිසි පිහිට ලැබේද නොලැබේද යනුයි.තතු දන්නවුන්ගේ පිළිගැනීම නම් එබඳු පිහිටක් නොලැබෙන බවයැ.අපට වුවමනා ආහාර වර්ග ලැබෙනුයේ පිට රටිනි. සියලු උපකරණ ලැබෙනුයේ පිටරටිනි.ඉතින් අපට උගන්වන්නට ඇත්තේ ඒ ආහාර කන හැටිය.ඒ පාන බොන සැටිය.ඒ වස්ත්‍ර අඳින පොරවන හැටිය. ඒ උපකරණ යොදා ගන්න සැටියැ.. වැරැදි වූ කාලයට නොහොබිනා වූ  දේශයට නොහොබිනා වූ ශරීරයට නොහොබිනා වූ අධ්‍යාපනය එයට මුල් හේතුවයැ !”

කුමාරතුංගයන් එදා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් උදහස් අද වන විට  ටික දෙනෙකුට හෝ පෙනී ඇති බව දකින්නට තිබෙනවා.දැනට ටික දිනකට පෙර ‘සුබෝධී’ ආයතනයේ සභාපති මර්වින් ප්‍රනාන්දු පියතුමන් විසින් ලියන ලද ලිපියෙන් එය පෙනෙනව.මර්වින් ප්‍රනාන්දු පියතුමන් මේ අධ්‍යාපනය හඳුන්වා ඇත්තේ ‘ A Godless Dhammaless Education System’ යනුවෙන්.එහිදී එතුමන් අධ්‍යාපනය තුල ශික්ෂකයා – ගුරුවරයා සතු වගකීම පැහැදිලි කර තිබෙනවා.කුමාරතුංගයන් විසින් ශික්ෂක වෘත්තිය ගැන වෙනම පොතක් සම්පාදනය කර තිබෙනවා.

එකම දේ අද ඉන්නා ‘ටියුෂන් මාස්ටර්ලා’ ශික්ෂකයා ,ගුරුවරයා යන ගෞරව පදයෙන් හැඳින්විය හැකිද යන්නයි.

අපගේ අධ්‍යාපනයට වැලඳී ඇති මේ ව්‍යාධිය එක ඇමතිවරයෙකුට ,කොතරම් අවංක චේතනාවෙන් ඉදිරිපත් වුවත් සුව කල හැකි යැයි මට සිතෙන්නේ නෑ.එපමණක් නොවෙයි ,අධ්‍යාපනයට පමණක් වෙදකම් කිරීමෙන්ද මෙය සුව කල හැකි යයි මා සිතන්නේ නෑ.මේ ව්‍යාධිය සුව කිරීමට නම් රෝග නිධානය හරි හැටි දැක මුළු ජාතික දේහයටම ප්‍රතිකාර කල යුතුයි.එහෙම නැතිව කරන ප්‍රතිකාර පැලැස්තර ප්‍රතිකාර වීම වළක්වන්නට බෑ.

අද රට තුල ඉංගිරිසිය ව්‍යාප්ත කිරීම පිණිස මහා ප්‍රයත්නයක් දියත් කර ඇති බව අපට පෙනෙනවා.මෙහිදී කුමාරතුංගයන් ඉංගිරීය ඉගැන්වීම පිළිබඳ දරන ලද ආකල්පය අපට මග පෙන්වන්නක් විය යුතු ය කියා මා හිතනවා.

ඉංගිරිසිය ව්‍යාප්ත කිරීමට කුමාරතුංගයන් කිසි විටෙක විරුද්ධ වුණේ නෑ.’ලක් මිණි පහන’ පුවත් පතට ඉංගිරිසි පිටුවක් දෙකක් එකතු කිරීමට එතුමන් තුල වූ වුවමනාව ඊට හොඳ නිදසුනක් එහෙත් අද ඉංගිරිසිය ව්‍යාප්ත කිරීමට අප ගෙන ඇති මඟ එතුමන් විසින් කිසි ලෙසකින් අනුමත කරනු ඇතැයි මා හිතන්නේ නෑ.

අප අද මේ රට තුළට ඉංගිරිසිය වැද්දගන්නට හදන්නේත් අන් සියලුම දේ වැද්දගන්නා අයුරුම කිසිම දර්ශනයක පිහිටා නෙවෙයි.කුමාරතුංගයන් ඉංගිරිසිය සැලකුවේ විශ්ව ඥානය ලබාගැනීමට අපට ඇති උල්පත ලෙසයි.අපගේ ඥේය මණ්ඩලය පුළුල් කිරීමට ඉවහල් වන්නක් ලෙසයි.එසේ නැතිව අද අප එය ව්‍යාප්ත කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල උඩ නෙවෙයි.

අද අප මේ රටේ හැම දරුවෙකුටම ඉංගිරිසි ,දෙමළ ,සිංහල උගන්වන්න හදනවා.තිභාෂා ප්‍රතිපත්තියක් ගැන සාඩම්බරයෙන් කතා කරනවා. මෙයින් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්ද? සංහිඳියාව  ඇති කිරීමද?එසේ නම් එය අමූලික මුලාවක්.එකිනෙකා ගේ භාෂාව දැනගත් පමණින් සහජීවනයක් ඇති වන්නේ නෑ.මේ රටේ හැම දරුවෙකුටම දෙමළ ඉගැන්වීමට යෑමෙන් එක දෙයක් නම් ඉටු වේවි.තමිල්නාඩුවේ ඉන්නා රැකියා නැති ගුරුවරුන්ට රැකියා ලබා දීමට නම් හැකි වේවි.දැනටම ඉංගිරිසි ඉගැන්වීමටත් හයිද්‍රාභාදයෙන් ඉන්දියානුවන් මේ රටට රැගෙන ඇවිත් තිනෙනව. !

දරුවන්ට තුන් බසම උගන්වන්න යෑමෙන් වෙන්නේ එකම බසක් වත් හරිහැටි නොදන්නා ඉංගිරිසිය කට ගාගත් අඥ්ඥානයක් පරපුරක් බිහි කිරීමයි.සංචාරක ව්‍යාපාරය සඳහා ‘බීච් බෝයිස්’ පරපුරක් නම් එමගින් බිහි කර ගත හැකි වේවි.ඉංගිරිසිය අප වැද්දගත යුත්තේ අපේ උසස් අධ්‍යාපනයට එය අවශ්‍ය වන තරමටයි. ‘බීච් බෝයිස්’ පරපුරක් හදන්නට වත් ,ඉංගිරිසිය පර තෙරට උගන්වා ඉංගිරිසි සාහිත්‍යයක් මේ රට තුළින් බිහි කරන්නට වත් නෙවෙයි.කුමාරතුංගයන් අද සිටියා නම් මේ ක්‍රියා මාර්ගය එතුමන්ගේ දැඩි විවේචනයට මුල් වෙනවා ඒකාන්තයි.

මෙහිදී මා තැත් කලේ කුමාරතුංගයන් හෙළි කල අදීන අදහස්වලින් අද අපට අදාල වන කිහිපයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි.

අවසාන වශයෙන් කුමාරතුංගයන් ඉසිවර දැක්මකින් යුතුව කරන ලද අනාගත වාක්‍යයකින් මේ දේශනය අවසන් කල යුතු යයි මා හිතනවා. සිංහලත්වය මුල් කරගත් ඒ අනාගත වාක්‍යය එතුමන් කළේ අප නිදහස ලැබීමට පෙරයි.

“සිංහලය , අහෝ සිංහලය ,මුළු රටම පෙරැ ‘සිංහළ’ නම් වී යැ.එහෙත් දැන් ‘සිලෝනීස්’ කියුව එක අර්ථයක් ද සිංහලයයි කියුව එක අර්ථයක්ද ලැබේ.ඇතැම් කුහක සිංහලයන්ගේ වූ ඒ සීමා බන්ධන නිසා ‘සිලෝනීස්’ වූ සියල්ලවුනට ‘සිංහල’ වීමට ඉඩ ඇති.

“රට කෙසේ නම් අභ්‍යුදයට යෙයි ද?ජාතිය කෙසේ නම් බලවත් වෙයිද?රට ජාතිය වඩන්නට නම් බැහැරින් අපට එකතු වන්නට එන්නවුන් අප විසින් ආදරයෙන් ඇදැ බදා වැලන්ඳ ගත යුතේයැ.එහෙත් එකකට වග බලා ගත යුතුයි. සිංහල භාවය ඒ පර භාවයෙහි ගිලෙන්නට ඉඩ නොදී ඒ පර භාවය සිංහල භාවයෙහි ගිල්වා දමන්නට වග බලාගත යුතුයැ. දූරදර්ශී වූ අගාඛාන් කුමාරයෝ වරක් සිංහලයෙහි (ලංකාවෙහි ) මුස්ලිමුන් අමතා ඔවුනට ‘සිංහල මුස්ලිම්’ යන නාමය දුන්ට. යුක්ති යුක්තයැ.සිංහලෙහි උපන්නේ සිංහලයෝයැ.ආගමෙන් ඔහු මුස්ලිම් වූහ.එය ඔවුන් ගේ සිංහලත්වය නසන්නේද නොවේ.’Ceylon Tamils’ යැයි යම් කෙනෙකුට ඉංගිරිසියෙන් කියැ හැකි නම් ඔවුන්ට ‘සිංහළ දෙමළ’ සිංහලෙන් කීම අපරාධයක් වේද?

මේ රට තුළ සැබෑ ජාතික සමගියක් ඇති කිරීමට නම් උනිදසුන් පෙන්වා දුන් මේ මඟ හැරෙන්නට වෙන මඟක් ඇතැයි මා සිතන්නේ නෑ.එහෙත් එමගින් වසර දෙක තුනක් තුල ඉෂ්ඨාර්ථ සාධනය සිදු කරගත හැකි යයි සිතුවොත් මුළාවක්.ඒ සඳහා අඩු ගණනේ පරම්පරා දෙක තුනක් වත් ගත වන්නට පුළුවන්.එතෙක් මේ රට බෙදෙන්නට ඉඩ නොදී රැක බලා ගැනීම තමයි වත්මන් පරපුර සතු කාර්‍යය,අප සතු කාර්‍යය.

[කුමාරතුංග මුනිදාස – 125 වන උපත් සමරු උලෙළේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර සූරීන් පැවැත්වූ දේශනය]

පරිගණක සටහන කැලුම් නිරංජන

9,337 Viewers

——

cccccgossip99_22_0gossoplankamuthupini

Add-here-new

contactus-n