චීනා ගිල්ල දියමන්තිය කුසේදි වීදුරු ගලක් වෙලා?

චීනය අපේ ම සහෝදරයන් වගේ අපට සමීප පිරිසක්. මේ නරක සිද්ධියට සම්බන්ධ අය හැබෑවටම චීනුන් ද කියල කියන්නත් බැරි තරම්. ලතින් ඇමෙරිකානුවන්ගේ ද හැඩරුව ඒ හා සමාන නිසයි. සමහර විට තවත් පමාවක් වුණා නම් හයදෙනකු විතර ඇවිත් හිටපු නිසා මීටත් වඩා අවුලක් වෙන්නට ඉඩ තිබුණා. කොහොම නමුත් අපේ ව්‍යාපාරික පැත්තෙන් නම් ලොකු අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා.’

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ දී චීන ජාතිකයකු දියමන්තියක් ගිල දැමූ සූක්ෂම වංචාව සම්බන්ධයෙන් එසේ පැවසුවේ එහි ප්‍රචාරක කමිටුවේ සභාපති මොහොමඩ් නවුෆර් අස්මී මහතා ය.

සියල්ල අනපේක්ෂිතව සිදුවී හමාරය. මේ වන විට රට පුරා පුළුල් කතාබහකට ද මාතෘකාව වී ඇත්තේ ද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනයේ දී චීන ජාතිකයකු විසින් දියමන්තියක් ගිල දැමූ බව කියන අමිහිරි සිදුවීමය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිෂ්පාදකයින්ගේ සංගමය පුරා වසර 21 ක් අඛණ්ඩව පවත්වාගෙන ආ ප්‍රදර්ශනය ඇරැඹුවේ 1991 වසරේදී ය. එය එදා ප්‍රදර්ශන කුටි 40කින් සමන්විත විය. මහා අත්දැකීම් සම්භාරයකින් යුතුව වාර්ෂිකව පැවැත්වූ මෙම ප්‍රදර්ශනයේ දී මෙවර ඉදිරිපත් කර තිබූ වෙළෙඳ කුටි ගණන ද 154 කි. ප්‍රදර්ශනය පිළිබඳ දිනය ප්‍රකාශයට පත්වීමත් සමඟ මෙම වෙළෙඳ කුටි සියල්ලම පාහේ පමාවකින් තොරවම අලෙවි විණි. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා සම්මේලනය ජන ගොස මැද්දේ අභිමානනීය අයුරින් ඇරඹිණි. වැඩි වේලාවක් ගතවන්නටත් මත්තෙන් එතැන සිදු වූ මහා කලබගෑනියෙන් උද්ගත වූ අනපේක්ෂිත සිදුවීමෙන් එම සංගමය ද මහත් තැවුලකට පත්ව සිටිති.

දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයින් දෙස් විදෙස් අලෙවිකරුවන් රාශියක් මෙහිදී හඳුනාගැනීමට ලැබිමේ මහඟු අවස්ථාවට සාපේක්ෂව දෙස් විදෙස් ගැනුම්කරුවන් පැමිණීම ද ඉහළ මට්ටමකින් සිදුවිණි. මැණික් ව්‍යාපාරිකයන් අතුරින් ප්‍රමුඛ පෙළේ යැයි සැලකෙන බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල් ආයතනය ද මෙහි ගැනුම්කරුවන් පිළිගැනීමේ සුහද බවින් සැදී සිටියේය.

ස්වදේශිකයෝ ද විදේශිකයෝ ද දහස් ගණනින් එති. පැමිණියවුන් අතර ගැනුම්කරුවෝ ද දියමන්ති සියැසින් දැකගැනීමේ සිත් ඇත්තෝ ද නො අඩුව සිටියහ. වෙනත් දෙයකටත් වඩා දිලිසෙන දෙයට ගිය නෙත ඉවතට ගන්නට සිත් නොදෙයි. එබැවින් ඕනෑම අයකුට කල්මරා රැඳී වුව දෑස් දල්වා බලා සිටිය හැක. දිස්නය දී ඇස හිත සනසවන දියමන්ති හා මැණික් ගල් දෙස බලා සිටියේ චීන ජාතිකයින් දෙදෙනෙකි. ඔව්හු තුරුණු වියේ අය වෙති. බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල් ආයතනය ඉදිරිපත් කර තිබූ වෙළෙඳ කුටියට ඔව්හු සමීප වූහ. එක් අයකුගේ සන්තකයේ උරමත එල්ලා ගත් බෑගයකි. එහි වටිනාකම ලක්ෂ එකහමාරකි. ඔහුට සමීපයේ පසුවූ අනෙකාගේ දෑස ද එල්ල වී තිබුණේ දියමන්තියක් දෙසටය. පැහැදිලිවම පෙනී යන්නේ දෙදෙනාම ධනවත් වැදගතුන් ලෙසිනි. හැසිරීම ද එලෙසමය. සැකයට කරුණක් නැත. මැණික් හා දියමන්ති පරීක්ෂා කරනුයේ මිලදී ගැනීමේ අටියෙනි. දුටුවනට ද පෙනී යන්නේ ගැනුම්කාර දෙදෙනාගේ උවමනාවය. එකෙකු තවමත් පරීක්ෂා කරයි. එහි රැකවලේ පසුවන්නේ සේවක පිරිසකි. සැක සංකා නැත. අවධාරණය මුසු බැල්මෙන් මෙතෙක් පසුවූ එකකු තමන් සතුව තිබූ මැණිකක් සේවකයිනට පෙන්වීය. ‘මෙන්න මේ වගේ ම දියමන්තියක් තමයි මට උවමනා’ හේ කීයේය. සේවකයෝ යුහුසුලුය. ඔහු අතැති ගලට සමාන ආසන්න හැඩයකින් යුතු ‘දියමන්තියක්’ අතට ලැබිණි. එදෙස බලා සිටි හෙතෙම ඉන්පසුව විමසන්නට වූයේ එහි මිලය. රුපියල් ලක්ෂ 18කි. බර කැරට් එකහමාරකි. ඇසිපිය හෙළන වාරයක් පමණක් ගත වී යන්නට ඇත. චීනාගේ අතක් කට ළඟට ගියේය.

’අන්න, ආන්න ඌ ගල ගිල්ලා’ සේවකයෝ හඬ තැලූහ. වහා ඔහු අල්ලා ගැනිණි. එකම කලබලයකි. පැවැති සන්සුන් බව ද කණපිට හැරිණි. දුටු දසුන ද පැහැදිලිය. ගිල දැමීම ස්ථිරවම සිදුවූ බව තවදුරටත් හෙළි වූයේ වෙළෙඳ කුටියේ සවිකොට තිබූ ටී.වී. කැමරා යළි පරික්ෂා කිරීමෙනි. එහි ඔහු යමක් ගිලින අයුරු සටහන් වී තිබිණි. එහෙත් මොහු පුන පුනා කියනුයේ තමන් කිසිවක් ගිල දැමුවේ නැති කතාවකි. එතැනින් කුරුඳුවත්ත පොලිසියට ද සැකකාර චීනා බාරදුනි. එහිදී වමනය කරවන්නට යෙදිණි. එහෙත් ගිලගත් බැව් කී ගල එළියට ආවේ නැත. අනතුරුව සැකකරු කොළඹ ජාතික රෝහලේ වාට්ටුවකට ඇතුළත් කැරිණි. එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී හෙළි වුයේ ඔහු ගිල දැමූ කිසියම් පාෂාණයක් උගුරේ රැඳී ඇති බවකි. යළි වමනය කරවුවද ප්‍රතිඵලයක් නැතිවිය.

වයසින් අවුරුදු 27කට නොවැඩි අඩි පහකට ආසන්න උසැති හිසකෙස් පැත්තට පීරා කළු කමිසයකින් හා ඩෙනිමකින් සැරැසී සිටි ‘චව්චෑන්’ බිම බලාගත්වනමය. කතා නැත. ඔහු සමඟ සමීපයේ පසු වූ අනෙකා කොහේද?

සගයා සෙවූ නමුත් දැන් ආගිය අතක් නැත. ඒ කලබල නොසන්සුන් වාතාවරණය අස්සේ ඔහු හෙමින් සීරුවේ ලිස්සා පලාගොස් ඇතැයි පෙනුණේ ඉන් අනතුරුවය. අතුරුදන් වූ දියමන්තිය කිරි සුදු පැහැතිය. දිගින් දිගට ම ප්‍රශ්න කැරිණි. බොහෝ විට ඔහු පසුවූයේ නිශ්ශබ්දවමය. දියමන්තිය ගිලදැමුවා නොවේදැයි පොලිසිය ප්‍රශ්න කිරීමේදී මඳක් හිස ඔසවා බැලූ සැකකරු ගත්කටටම තමන් ගිල දැමුවේ තමන්ගේ අත තිබූ ව්‍යාජ ගලක් යැයි අමුතුම කතාවක් කීයේය. එහෙම ගිල්ලේ මක්නිසාදැයි ඇසූ පැනයේදී, යළි යළිත් විමසා සිටියදී හෙතෙම පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

චීනා ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 03 වැනිදාය. තවත් සගයන් පිරිසක් ද සමඟිනි. බම්බලපිටියේ සුපිරි හෝටල් සංකීර්ණයක නවාතැන් ගෙන සිට ඇත. ඔහු සමඟ තවත් හයදෙනකු ද සිට ඇත.

තවදුරටත් සිදුකළ පරීක්ෂණ හමුවේදී කිසිත් වටිනාකමක් නැති වීදුරු ගල් තොගයක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනිණ. ඉන් ආරක්ෂක අංශවලට පෙනී ගියේ සැකකරුගේ පසුබිම පිළිබඳ බරපතළ සැකයකි. මොවුන් මෙරටට පැමිණ ඇත්තේ සොරකම් හා වංචනික ක්‍රියාවලට බවට ඉඳුරා සැකපහළ විය.

කිවයුත්තක් තිබේ. මෙරට ද වංචනිකයන් අඩු නැත. සොරකම් හිඟ නැත. විදෙස් සටකපටයන්ගේ පූර්වාදර්ශයන් අපගේ ඇතැමුන් ද උරගා බලන්නට තතනනු ඇත. විමසිල්ල වටින්නේ ඒ නිසාය.

’තායිලන්තයේ, හොංකොංවල මෙවැනි සිදුවීම් ගැන අපත් දැන සිටියා. එවැන්නන් අපටත් ඒවිද කියන සැකයකුත් තිබුණා’ යැයි එහි ප්‍රචාරක කමිටුවේ සභාපති මොහොමඩ් අස්මි මහතා පැවසූ අතර ‘එසේ නම් මේ ආකාරයෙන් සිදුවූයේ කෙලෙසකදැයි සිළුමිණ කළ විමසුමකදී ඔහු කීවේ “පොලිසියට අමතරව අපගේත් ආරක්ෂක පද්ධතියක් තිබෙනවා. මෙහි පෞද්ගලික ආරක්ෂක සේවාවකුත් තියෙනවා. ස්වයංක්‍රීය කැමරා පද්ධතියකුත් තියෙනවා. අපේ ‘ඩීල්’ කෙනෙක් ගැන අප සැක කළ යුතු නැහැනේ. එසැණින් ඔවුන් ‘කෑෂ්’ දීලා ඔවුන්ට අවශ්‍ය දේ රැගෙන යන්නේ’

කෙසේ නමුදු ප්‍රදර්ශනය ඇරැඹී සුළු වේලාවක් ගතව යද්දී ආරක්ෂක පද්ධතියේ ද ඇස් වසා ක්ෂණිකව මෙම සොරකම ද වංචාව ද සිදුකොට තිබේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට අයත් 3 හෝ 2 ගේට්ටුවේ ඇතුළු වීමටත් පිටවීමටත් ඕනෑම අයකුට හැකියාවක් තිබූ බවද එහි වෝකිටෝකි හෝ නැති ආරක්ෂක පද්ධතියක් පමණක් පැවැති බව ද කී ඒ මහතා ඇතැම් මාධ්‍යයන් මෙම සිද්ධිය හිතුමතයේ ඒ මේ අතට හැසිරවීම ගැන කනගාටු වන බවය.

රෝහලේ දැඩි රැකවල් මැද පසුවූ සැකකාර චීනා කිහිපවරක් වස්තියට බඳුන් කළ ද එය ද අසාර්ථක විය. දියමන්තියට සිදුවූ දේ ගැන කාගේත් අවධානය චීනා දෙසට යොමු වී තිබිය දී ඊයේ පෙරේදා සැකකරුගේ මළපහ පරීක්ෂාවට බඳුන් කැරිණි.

දියමන්තියක් වැනි ගලක් නම් හමුවිණි. එහෙත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එය පරීක්ෂා කිරීමෙන් පසුව තහවුරු කළේ එය කිසිදු මූල්‍ය වටිනාකමකින් තොර දියමන්තියක් වැනි ව්‍යාජ ගලක් බවටය.

සැබෑ දියමන්තිය සොයා ගැනීමට විමර්ශන සිදුවෙමින් තිබියදී පොලිසියේ ඇස යොමුවී ඇත්තේ නිසැකවම වටිනා දියමන්තිය රැගෙන ගොස් ඇත්තේ සැකකරුගේ සගයා බවටය. ඔහු අල්ලා ගැනීමට පරීක්ෂණ සිදුකැරෙද්දී රටින් පිටමං වීමට මං අවුරා ඇති අතර ඔහු තවමත් මෙරට සිටින බව තහවුරු වී ඇති බව ද අත්අඩංගුවට පත් චීන ජාතිකයා ජාත්‍යන්තර හොර කල්ලියක සාමාජිකයකු බවට ද පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.

’මං ඒ මනුස්සයව දන්නෙ කොහොමද? මං ඒ මිනිහව දන්නෙ නැහැ’ දියමන්තිය සමඟ රහසේ පලාගිය සැකකරු ගැන පොලිසිය ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවේ පසුවන සැකකරු දුන් පිළිතුර එයමය. අනෙකා කොතැනක හෝ සැඟවී සිටී. එකට පැමිණි මොවුන් දෙදෙනාගේ අපූරු රංගනය සූක්ෂමය. මේ සැකකරු දියමන්තියක් විමසා පරීක්ෂා කරන නියාවෙන් සගයා අතට පත්කොට සිටියදී මොහු සතුව තිබී බොරු ගලක් ගිල දමා අවට සිටියවුන්ගේ අවධානය තමා වෙතට ඇද බැඳ ගැනීමේ රංගනයේ පසුවෙද්දී අනෙකා හොර රහසේ නිරුපද්‍රිතවම පලා යන්නට වූවා නොවේද?

- අමල් යශෝමන් ජයසිංහ

13,897 Viewers

7 Comments to “චීනා ගිල්ල දියමන්තිය කුසේදි වීදුරු ගලක් වෙලා?”

  1. අමාරිස් අය්ය says:

    හොදම දේ ඕකව එලියට දාන්න, එට පස්සේ පස්සෙන් ඉදන් උ ගන්න කෝල්, යන තැන හොයන්න, රටින් යන්න නොදී.

  2. ►◄ __භූතයා__ ►◄ says:

    ඇයි මේ ලියුම්කරු, පැනල ගිය චීන ගැනම විතරක් සැක කරන්නෙ , ඔබට වස්තිය කරපු උන් ගැන පැහැදිලි විශ්වාසයක් තියෙනවද?…………

    මේක ඉන්දියන් සාගරේ අමුතු ඇටේ. පේනවනෙ කටුගෙයි හොරා අන්තිමට අතුරුදහන් කුඩ්ඩෙක්, සමහරවිට ඌ හැමදාටම හොයා ගන්න බැරි වෙයි, එහෙම නැතුව යම් හෙයකින් අහුඋනොත් ඉතිං උගෙ බොඩි එක තමයි………………..

    මම චීනට කඩේ යනව නෙමෙයි, ඒත් අපේ උන් ගැනත් පොඩ්ඩක් විතර සැකෙන් බලපල්ලා……………….

  3. pXssi says:

    >> චීනා ගිල්ල දියමන්තිය කුසේදි වීදුරු ගලක් වෙලා?
    ඔව් වෙලා තමය්, මොකද්ද පුරස්නේ? දැනගනිල්ලා මේක ආසියාවේ ආශ්චර්ය.

  4. කෙලෙහි ගුණ දන්න එකෙක් says:

    අපි ඇත ඉතිහාසයේ පටන් චීන වෙළඳුන් සමග මැණික්, ඇත් දළ අදී වටීන දේවල් වෙළඳාම් කරන ලදී. ඒ කාලේ ඔවුන් සමග තුබූ සබඳතාවය කොතෙක් දැයි කිවහොත් යාපහුව්ව රාජධානියේ ඉදිරිපස ගම්භීර ලෙස නැගී හිටින යාපහුව්ව සිංහයන් මොනවාට කියාපායි. ෆාහි ක්සියැන්ගෙ දේශාටන වලද ලංකාව හා චීනය අතර නොබිඳෙන මිතුදම ගරුකටයුතුව සටහන් වී ඇත. මගේ ප්‍රශ්ණය නම් එදවසත් චීනුන් මෙලෙසින් මැණික් ගල් සොරකම් කලාද යන්නයි. ඉතිහාසයේ මුතුදමට කලු පැල්ලම් එක්කලේ කවුද? මේ පිටුපස ඇති අභිමතාර්ථ මොනවාද? අද අපේ ඇතමෙක් කථාකරන්නේ පරන බඩු දාලා හැදුවායැයි කියන ලක්විජය ගැන,මැණික් ගලක් ගිල්ල චීනෙකු ගැන…අපේ පණ බේරා දෙන්නට උරෙන් උර ගැටී සටන්ට උදව් කල චීනයේ යහපත් ප්‍රතිරූපය ඒ අයට අමතක වුනේ කොහොමද?

  5. නරක ළමය says:

    චීන ගිල්ලේ ඇත්ත ගලක් ලු …පස්සේ චීනට වසති දීල එලියට දැම්මල තිබ්බ කක්කා ගොඩ දිවෙන් පහුරු ගහපු අපේ නිලදරෙයෙක් ඒ ගල අයෙත් ගිලල වෙන සින්තටික් ගලක් කක්කා ගොඩට දාල වෙන්න බැරි නැද්ද?

  6. PotatooCouch says:

    This is like Einsteins’ dilemma in relative position of unknown object in outer space!. Can not believe anything conclusive. The Police, A Chinese robber, Hospital staff and investigation team!. Rather hilarious!

  7. soma akka says:

    මේ වන විට රට පුරා පුළුල් කතාබහකට ද මාතෘකාව වී ඇත්තේ ද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනයේ දී චීන ජාතිකයකු විසින් දියමන්තියක් ගිල දැමූ බව කියන අමිහිරි සිදුවීමය.

    api nam katha wanna lakawa dasapaluwo ratma kana aka gana….

Leave a Comment