රායප්පු ජෝශෆ් ගේ කුමන්ත්‍රණය සඵල වේවිද

1981 සිට 2001 වසර දක්වා  මන්නාරම් දිසත්‍රික්කයේ සිංහලයින් 8170 දෙනෙකු අවතැන් ව සිටියහ.නමුත් මේ වන විට එහි නැවත පදිංචි කරවා තිබෙන්නේ 847 දෙනෙක් පමණකි. මුරුංගන් ප්‍රදේශයේ අවතැන්ව සිටි සිංහල පවුල් දාසයක් තම ගම් බිම් වලට යලි පැමිණෙද්දී ඔවුන්ගේ ඉඩම් වල දෙමල ජනතාව පදිංචි කරවා තිබුණි. ඔවුන්ගේ පූජා භූමිය වන කේ.කේ.කුලම් හි රජමහා විහාරය දෙමල ජනතාවගේ කෙසෙල් කොටුවකට යටව තිබුණි. තම ඉඩම් පිලිබඳව අයිතිවාසිකම් ප්‍රාදේශීය ලේකම් වරයාට ඉදිරිපත් කළද සහනයක් නොලැබුණි. නැවත පදිංචි කිරීමේ ඇමත්වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු හා රිෂාඩ් බද්යුදින් යන දෙදෙනාගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණි. අවසානයේ ඔවුන් මුරුංගන් වල සිමෙන්ති සංස්ථාවට අයත් නරිකාඩු බිම් කොටසේ තාවකාලිකව ගෙවල් කීපයක් සවි කර ගත්හ. මෙයට ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සියල්ලන්ගෙන්ම විරෝධය එල්ල වූ අතර පසුව යුධ හමුදාවේ විකුම් ලියනගේ මහතාගේ මැදිහත් වීම මත එම ප්‍රශ්ණය විසඳීමට ඉහළ නිළධාරීන් යොමු කරවන ලදහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් එහි ප්‍රජාශාලාවක් සෑදවීම සඳහා ප්‍රතිපාදන වෙන්කෙරුණු අතර එම ශාලාව විවෘත කිරීමේ උත්සවය  පසුගිය අප්‍රියෙල් 11 දින නරිකාඩු හිදී ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිදු විය.මන්නාරටේ කොටි ත්‍රස්තවාදය පිලිබඳවත් අගරදගුරු රායප්පු ජෝශෆ් ලංකාවට එරෙහිව වර්තමානයේ කටයුතු කරන ද්‍රෝහී ආකාරය පිළිබඳවත් මෙම උත්සව සභාවේ දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කළ ප්‍රකාශය නිසා මෙහි සිටි කොටි හිතවාදි නිළධාරීන් කලබල වූ අන්දම අප නිරීක්ෂණය කලෙමු. ඔවුහු එම උත්සවය වර්ජනය කොට පිටව යන්නටද උත්සාහ කළහ.

මන්නාරම් දිස්ත්‍රික්කය කොටි ත්‍රස්තයින්ට එදා ඉතා වැදගත් ප්‍රදේශයක් විය. ඉන්දියාවත් සමග සමීප සබඳතාවයක් පැවැත්විම පිණිස එහි කඳවුරු බැඳගත් ඔවුහු දෙමළ ජනතාව විශාල වශයෙන් එහි පදිංචි කළහ.  කොටි සමග ඉතා හිතවත්ව කටයුතු කළ එම ප්‍රදේශයේ අගරදගුරු රායප්පු ජෝශෆ් කොටින්ට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කොට දුන්හ. මරදමඩු ප්‍රදේශය කොටින්ට ඉතා වැදගත් කලාපයක්  වූ අතර එහි සිටි සිංහල ජනතාව ඊට බාධකයක් බැවින් කිසිවෙකුටත් එහි රැඳී සිටීමට ඉඩ නුදුන්හ. මරද මඩුව ඔවුන් ගේ ත්‍රස්තවාදී බංකරයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළහ.

තලේ මන්නාරම හරහා ලංකාවට ආනයනය කළ දකුණු ඉන්දීය දෙමළ කම්කරුවන් ගේ ප්‍රධාන නවාතැනක් වූ මන්නාරම පෙර රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක් විය. වසභ රජු මල්වතු ඔය ආසන්නයේ පැරණි මංගණ නගර සීමාවේ මන්ගුණු නම් වැවක් කළ බව ඉතිහාසයේ විස්තර වෙයි. මෙය වර්තමාන යෝධවැව විය හැකි යයි ප්‍රකාශ වේ. මේ මංගණ නගරය වත්මන් මුරුංගන් බව පැහැදිලිය. ධාතුසේන රජු මල්වතු ඔය හරස් කොට අමුණක් බඳවා මානා මාතුක වැව නම් මහා වැවකට ජලය ගෙන ගියා යැයි කියැවේ. මංගණ වැව මේ යුගයේ දී මෙලෙස නාමකරණය වී විශාල කරවූ බව පැහැදිලිය. මල්වතු ඔය හරහා බැඳණු තේක්කම නම් මහා අමුණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙවැනි විශාල වාරි මාර්ගයන් ඉඳි කිරීමට  අවශ්‍ය වන විශාල සිංහල ජනගහනයක් මේ ප්‍රදේශයේ වසන්නට ඇතැයි  ද කල්පනා කල හැකිය.

පෘතුගීසින්ට මන්නාරම වැදගත් වූයේ ඔවුන් ගේ වැදගත් බල කොටුවක් මෙහි බැඳ වූ බැවිනි. මේ ප්‍රදේශයේ ජනතාව ක්‍රිස්තියානි දහමට හරවා ගත් ප්‍රැන්සිසි ක්ෂේවියර් ගේ ව්‍යාපාරය ඇරඹුනේ මේ පරංගි සමය තුලදීය. නමුත් ලන්දේසින් කතෝලික ආගම වැළඳගත් ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන් ගේ රෙපරමාදු ආගම ප්‍රචලිත කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මන්නනාරමේ සිටි කතෝලික ජනතාව කන්ද උඩරට රජුගේ උදව් උපකාර ඇතිව මන්නාරමට නුදුරින් පදිංචි කරවන ලදහ. මේ පිළිබඳව ලියූ අගනා වාර්තාවක් ඊ.බී. ඩෙන්හැම් මහතා සිය සිලෝන් ඇට් ද සෙන්සස් ඔෆ් 1911 ග්‍රන්ථයේ අතුලත් කර ඇත. ඩෙන්හැම් මහතා එකල යාපනයේ බිෂොප් වරයාගේ වාර්තාවකින් උපුටා දක්වන තොරතුරු වලින් හෙළි වන්නේ මඩු ප්‍රදේශයේ සැබෑ ඉතිහාසයයි. එහි මෙසේ සඳහන් වෙයි.

මඩු වන්දනා කරුවන් ගේ මුල්ම ජනාවාසය මන්නාරමයි. එහි විශාල කතෝලික දේවස්ථානයක් ඉඳිවිය. 1670 දී ලන්දේසින් එම පල්ලිය රැස්විම් ශාලාවක් බවට පරිවර්තනය කොට ආගම ඇදහීම  තහනම් කරන ලදී. අනාථ වූ කතෝලික ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව කන්ද උඩරට රජුගේ රැකවරණය සලසා ගැනීමට වන්නියට පැමිණියහ. මේ අතරින් පවුල් විස්සක් පමණ පිරිසක් මන්නාරම ආසන්නයේ වනයේ මරුත මඩු නම් ස්ථානයේ ලැගුම් ගත්හ. මේ වන විට මේ ස්ථානයේ රජුගේ මඩිගෙයක් විය. ඉන්පසු යාපනයේ සිට පැමිණී. හත්සීයක් පමණ කතෝලික පිරිසක් සහ පූජක වරු සත් දෙනෙකු මෙම ස්ථානයට පැමිණියහ. මඩු අසල ඔවුන්ගේ අනාථ කඳවුර විය.   මෙහි බෞද්ධයන් හා හින්දූන් වන්දනාමාන කරන පත්තිනි දේවාලයක් ද පැවති අතර එය උපුටා දමා 1876 දී පමණ  මෙහි කතෝලික පල්ලියක් ඉඳි කළ බව පැවසේ.මඩු වාර්ෂික මංගල්ලය ආරම්භ කරන ලද්දේ 1870 දීය.

1818 න් පසුව ඉන්දියාවේ පාලකයින් වන ඉංග්‍රීසින් අනුගමනය කළ බදු ප්‍රතිප්තිය හේතු කොට ගෙන දකුණු ඉන්දියාවේ දෙමල ජනතාව බෙහෙවින් පීඩාවට පත් වූහ. සියලුම ඉඩම් සමාගම සතු බවට ප්‍රකාශ කිරීම නිසා  විශාල ජනතාවක් සිය ගොවිබිම් වලින් නෙරපන ලදහ. මේ අවදිය වන විට ලංකාවේ කෝපි වැවිල්ලට ආර්ථික ශක්තිමත් භාවයක් ලබා දී ම පිණිස ඉංග්‍රීසින් කටයුතු කළ අවදියයි. ඉංග්‍රීසි ජාතික  නිළධාරියෙකු වූ එස්.සී. බ්‍රයිඩ්. සිය කෝපි වත්ත වන බ්ලැක් ෆොරස්ට් හි කොන්දොස්තර වශයෙන් සිටි පිය පාර්ශවයෙන් දෙමළ වාර්ගිකයෙකු වූ පුද්ගලයෙකු ඉන්දියාවට පිටත් කර හරින ලද්දේ දෙමල කුලී කරුවන් රැගෙන පැමිණීමටයි. මේ අනුව ප්‍රථම වරට කුලි කරුවන් 14 දෙනෙකු ධනුස්කොඩියේ සිට තලේ මන්නාරමට පැමිණියහ. ඉන්පසු 1839 වන විට කුලීකරුවන් 2432 ක් ලංකාවට පැමිණ සිටියහ. ඔවුහු තලේ මන්නාරමේ සිට උලිපන්කුලම මුරුන්ගන් වන්නන්කල්දි චෙඩ්ඩිකුලම මාන්කුලම ඉරම්පායිකුලම මැදවච්චිය හරහා දඹුල්ලටත් ඉන්පසුව මාතලේ හරහා නුවර ගම්පළ නුවරඑළියටත් පොල්ගහවෙල්හරහා කොළඹටත්  ප්‍රවාහනය කරන ලදහ. මන්නාරමේ ද මන්නාරමේ සිට මැදච්චිය හා වවුනියාවේ ද බහුතර දෙමළ ජනගහනයක් ඇති වීමට මේ කරුණු හේතු සාධක විය.

1953  දී මන්නාරමේ සිංහල බෞද්ධ ජනගහනය 1316 කි. එවිට දෙමල ජනගහනය 22422 වී තිබුණි. නමුත් ඉස්ලාමිකයින් සිටියේ නව දෙනෙකු පමණකි.1981 වන විට මන්නාරමේ සිංහල බෞද්ධයින්3224 ක් බවට වර්ධනය වී සිටි අතර දෙමළ ජනගහනය 28500 ක් බවට පත් ව සිටියහ. එසේම මුස්ලිම් වරු 30079 දක්වා වර්ධනය ව සිටියහ. 1911 කාල වකවානුවේ රෝමානු කතෝලිකයින් 50% ක ප්‍රමාණයක් මන්නාරමේ සිටි බව පැහැදිලිය. 1981 දී එම ජනගහනය 44003 කි. වර්තමානය වන විට බෞද්ධ ජනහනය හා හින්දු ජනගහනය අඩු වෙමින් කතෝලිකයින් ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙසට වැඩි වර්ධනය වෙමින් ඇත. ඒ අතර මුස්ලිම් ඇමති වරුන්ගේ සහායෙන් මුස්ලිම් ජනතාව මන්නාරම්  යෝධ වැව රක්සිතය හෙලි පෙහෙලි කරමින් අනවසරයෙන් පදිංචි වෙමින් ඇත.

රායප්පු ජෝශෆ් අගරදගුරුවරයා නිල උත්සව වලදී මේ ප්‍රදේශය හඳුන්වන්නේ රෝමයේ කොටසක් ලෙසටයි.එය තවත් තහවුරු වන ලෙසට ඔහුගේ බලපෑම නිසා මේ පළාතේ ප්‍රධාන රජයේ නිලධාරීන් සියල්ල කතෝලික විය යුතු යයි නිල නොවන අණක් ද පැනවී ඇත.පසුගිය දා කතෝලික පූජක වරුන් 131 දෙනෙකු ගේ අත්සන් සහිතව පෙත්සමක් රායප්පු ජෝශෆ් ගේ මෙහෙයවීමෙන්  ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ බවට වාර්තා වුණි. නමුත් සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා කැඳවා බෞද්ධ ක්‍රියාකාරකම් ගැන අවවාද කරන බුද්ධි අංශ මේ රායප්පු ජෝශෆ් ට විරුද්ධව කිසිවක් කළ බවක් මෙතෙක් දැන ගන්නට නොමැත.

1540 සිට 1774 දක්වා කාලය තුලදී ඉන්දියාවේ ගෝමන්තක නෙහොත් ගෝව ප්‍රදේශයේ බලයේ සිටි පරංගින් ගේ  උදව්වෙන් ජෙසුයිට් නිකායේ පූජක වරු එහි සිට බෞද්ධයින් හා හින්දූන් කතෝලික ආගමට හරවන ලද්දේ විවිධ වධ හිංසාවන්ට ලක් කරමිනි. පණපිටින් පිලිස්සීමෙන් කියත් වලින් කැපිමෙන් හා උල සිටු වීමෙන් මෙලෙස මරණයට පත් කරන ලද්දවුන් ගණන 16202 ක් බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි. 1947 වර්ෂයේ දී ඉන්දියාව නිදහස  දිනා ගැනිමෙන්  පසුව ගෝව නැවත පවරා ගැනීමට නේරුට අවශ්‍ය විය. නමුත් එයට පෘතුගාල් රජය එකඟ නුවුණි. පසුව 1961 දෙසැම්බර් මාසයේ 19  දින  ශ්‍රි නේරු විසින් දියත් කරන ලද විජායි මෙහෙයුම යටතේ ගෝව ඉන්දියාවට යටත් කර ගන්නා ලද්දේය. මෙම අක්‍රමණයට එරෙහිව එක්සත් ජාතින් ගේ මණ්ඩලය රැස්වුණු අතර රුසියාව ඉන්දියාවට පක්ෂපාතීව නිෂේධ බලය යොදා ගනිමින් ඇමරිකානු යෝජනාව පරාජයට පත් කලේය. ඉන්දියාවේ ඒකීයත්වයට මේ තීන්දු තීරණ  බෙහෙවින්ම බලපා ඇති බව ප්‍රකට කරුණකි. අතීතය එසේ වුවත් ලංකාව කෙරෙහි ඉන්දියාවේ  වත්මන් ප්‍රතිපත්තිය අක්‍රමණශීලී වෙයි. රාමේශ්වරමත් මන්නාරමත් අතර නැවත නැව් සේවය ආරම්භ කොට මන්නාරම රදගුරු වරයාගේ සහායෙන් වෙනම දෙමළ ක්‍රිස්තියානි ප්‍රදේශයක් බවට  මන්නාරම පත් කර ගැනීමේ සැලසුම ඉන්දියාව සතුව ඇතැයි අපගේ විශ්වාසයයි. ජිනීවා වලදී ඉන්දියාවත් කොටි හිතවාදීන් සැමත් එක පෙළට සිට ගන්නේ එම අමුණිනි. රායප්පු ජෝශෆ් මොවන්ගේ සෘජු නියෝජියා වී ඇත. දැනටමත් රජයේ යටි උගුල් කරුවන් ගේ සහායෙන් මන්නාරම  රදගුරු වරයා නටන මේ නාඩගම එළි පිට රඟ දක්වන කාලය වැඩි ඈතක නොවේ. එතෙක් ඒ ගැන මුනිවත රැකීම හා සිංහලයින් ගේ බලය හීන කිරීම රජයේ පිළිවෙත වී ඇතැයි සිතමි.

– මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot.com

30,794 Viewers

——

cnews

Add-here-new

contactus-n