ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි අනුස්මරණ කෞතුකාගාරය

ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට දෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය.

1901 දී පමණ වර්තමාන ඉන්දියාවේ උතුරු බෙන්ගාලයේ ඩාර්ජිලින් නගරය ආසන්නයේ භූටියා භස්ති නම් ග්‍රාමයේ වංශවත් පවුලක උප්පත්තිය ලබන මේ කුඩා සිකිම් ළදරුවා නමින් පෙම්පා තෙන්දුප් විය. තම පරපුරෙන් සෙර්කි චෙරින් යන නාමයද මේ නමට එකතු වූයේය.  ලෝක සිතියමේ නේපාලය හා භූතානය අතර මැද තිබ්බත දේශ සීමාවට දකුණෙන් පිහිටි ඉන්දියාවට අයත් භූමිභාගය හෙවත් සිකීම් ප්‍රාන්තය අතීතයේ සිකීම් රාජ්‍යයයි. 1975 ට පෙර එය ස්වාධීන රාජ්‍යයක් විය. වර්තමානයේ එය ඉන්දියාවේ විසි දෙවන ප්‍රාන්තය වී ඇත.සිකීම්හි උතුරු කොටස සදාකාලිකව හිමෙන් වැසී ගිය කඳු පන්තියකින් සමන්විත වන අතර ලොව උසම කඳු සිඛර කීපයක් එයට ඇතුලත් වේ. ඒ අතරින් වැදගත්ම කඳු සිඛරය වන්නේ කංචන් ජුංගාය. මන නදන සොබා සොඳුරු දසුන් මවන මේ කඳු සිඛරය ලොව උසම කඳු අතරින් තෙවන ස්ථානය හිමි කර ගනී.

සිකීම් භුමිය ජනාවාස වී ඇත්තේ ඊශාන දිග ඉන්දියාව හරහා පැමිණි මොංගොලයිඩ් ජන වර්ගයක් වන ලිප්චාවරුන් ගෙනි. ඔවුහු දහතුන් වන සියවස වන විට ගෝත්‍රික සමාජයක් ලෙසට මේ භූමියේ පදිංචිව සිටියහ. ලිප්චාවරු දඩයම් කරුවන් සේම ආහාර රැස් කරන්නන් සේ සිය ජීවිකාව පවත්වාගෙන ගියහ. 15 හා 16 වන් සියවස් වලදී තිබ්බත සම්භවයක් සහිත ජන කණ්ඩායමක් මේ භූමියට සංක්‍රමණය විය.ඔවුහු භූටියා වරු ලෙසට හැඳින්වුණි.ලිප්චාවරු හා භුටියා වරු අතර ඇති වූ සංහිඳියාව තුල සිකීම් දේශය ගොඩ නැන් වී තිබේ.

මහින්ද හිමියන්ගේ පියා සිකීම් හි භුටියා භස්ති විහාරයේ ප්‍රධාන පූජාචාරී තුමන්ය.ඔහු නමින් නිම්පෙන්ජෝ සෙර්කි චෙරින් විය. ඔහුට පිරිමි දරුවන් සිවු දෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩි මලා දවා සංදුප්ය.ඔහු කල්කටා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ එහිම කථිකාචාර්ය වරයෙකු විය. විසිවන සියවස ආරම්භයේ දී සිකීම් රජුගේ අනුග්‍රහයෙන් ගැන්ටොක් අගනුවර සමීපයෙහි භුටියා ලිප්චා නම් පාසලක් පිහිටුවන ලදී. එහි ප්‍රධානාචාර්යවරයා බවට පත් කරන ලද්දේ දවා සංදුප්ය. 1907 වසරේ දී මේ දරුවන්ගේ පියා මිය ගියේය. පවුලේ වගකීම වැඩිමලා වෙත පැවරුණි. සිකීම් රජු ගේ පුත් සිද්කෙඔන්ග් තුල්කු හා එස්.කේ. තාෂිනම්ග්‍යාල් යන කුමාර වරුද දවාසංදුප් ගේ දරුවන් සියලු දෙනද මේ පාසලේ දී එකට ඉගෙනුම ලදහ. ඒ අතර පෙම්චෝද්‍රර පූර්පා තෙන්දුප් හා පෙම්පා තෙන්දුප් විය.

බෞද්ධ පූජාචාරී පරම්පරාවකින් පැවත එන තාන්ත්‍රිකාචාර්ය වරයෙකු වූ දවා සංදුප් ගේ වගකීම වූයේ සිය රට වෙනුවෙන් සහ රජ පවුලේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි. එසේම රට නවීන ලෝකය සමග ගලපා ගැනීම ද කළ යුතුව තිබුණි. මෙම  අරමුණෙන් යුතුව ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ පූර්පා තෙන්දුප් ශාසනික අධ්‍යාපනය සඳහා ලංකාවට යැවීමට තීරණය විය. මේ වන විට ලෝක ධර්ම දූත සේවයේ නිරතව සිටි ජර්මන් ජාත්ක ඤණාතිලෝක හිමියන් සහ දවා සංදුප් අතර හිත මිත්‍ර කමක් ගොඩ නැගී තිබුණි. කල්කටා විශ්ව විද්‍යාලයේ දී ලංකාව ගැන ලැබුණු අවබොධයත් කල්කටාහි මහා බෝධි සමාගම සමග තිබූ සබඳතාවයත් නිසා ලංකාවේ දහම් අධ්‍යාපනය ගැන මනා වැටහීමක් දවා සංදුප් වෙත තිබුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1914 වසරේ දී පූර්පා තෙන්දුප් ලංකාවට පිටත් කර එවීමට කටයුතු කරන ලද්දේ ශාසනික අරමුණක් සඳහාය. පූර්පා තෙන්දුප් 1914 වසරේ දී සිකිම් පුඤ්ඤසාර නමින් පැවිදි විය. ඉන් අනතුරුව සිය බාල සොහොයුරු පෙම්පා තෙන්දුප් ද ලිප්චා ජාතික තෙම්පා රින්ෂින් ද එලෙසම ලංකාව බලා පිටත් කර හරින ලදී. මේ දරුවන් තිදෙනාටම සිකීම් රාජ්‍යයෙන් ශිෂ්‍යත්වයන්ද පිරිනමන ලදී.

සිකිම් මහින්ද හිමියන් 1914 වර්ෂයේ දී පූජ්‍ය කලි කුමාර් නම් භික්ෂූන් වහන්සේ සමග ලංකාවට පැමිණියද භාරකරු වශයෙන් සිටි ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විම නිසා පැවිදි පිංකම එම වර්ෂයේදී සිදු නොවුණි. අනතුරුව 1914 සිට 1918 වන් තෙක්ම එම අවස්ථාව නොලැබුණි. අනතුරුව ටිබෙට් ළමයා මහණ කරවන ලද්දේ රජ්ගම ගල්කන්දෙගොඩ දේවප්‍රතිරාජ පිරිවෙනේදීය. ඒ ඒවකට ඉංග්‍රීසි උගත් පඩිවරෙයකු ලෙසට ප්‍රසිද්ධ ව සිටි රජ්ගම ධර්මාධාර හිමියන් සහ රජ්ගම චූලසුමන නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි. සිකිම් මහින්ද නමින් පැවිදි වුණද උන්වහන්සේට ටිබෙට් ජාතික  ඒස්. මහින්ද නාමය ලැබීමද සිහිපත් කල යුතු සිදුවිමකි. 1920 දී සිය සහෝදරයා වන සිකිම් පුඤ්ඤසාර  හිමි ආපසු සිකිම් දේශයට ගිය අතර මහින්ද සාමෙණ්ර හිමියන් අලුත්ගම ශ්‍රී සීලඛන්ධ නාහිමියන් යටතේ දොඩන්දූවේ සරස්වතී මණ්ඩපයට ඇතුලත් කෙරුණි.

මහින්ද හිමියන් සමග සිටි නේවාසික සාමණෙරයන් වූයේ දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. සරස්වතී මණ්ඩපයේ සාමණේර ස්වාමීන් වහණ්සේලාට වරින් වර ධර්ම දේශනා කිරීමට අවස්ථාව හිමි වෙයි. මහින්ද හිමියන්ට එම වාරය පැමිණි දිනයේ කලුලෑල්ලේ උන්වහන්සේ ගේ නමට විශේෂණයක් එකතු විය. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද නාමයයි. එය සටහන් කරන ලද්දේ මහින්ද හිමියන් ගේ මිත්‍ර දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. පසු කලෙක මේ මිත්‍රත්වය නිසා මිත්‍ර සංදේශය නමින් සංදේශ කාව්‍යයක් ද රචනා කොට ප.බ.ජි. හේවාවසම් මහතා දූතයා කොට දොඩන්දූවේ කුමාර විහාරයේ වැඩ උන් ධරමාරාම හිමියන් වෙත යවා ඇත. අද ඒ සංදේශ කාව්‍යය පමණක් නොව දෙඩන්දූ සංදේශය හා විල් ලිහිණි සංදේශයද අප්‍රකටය. මේ තොරතුරු අපට මතක් කරන ලද්දේ ධරමාරාම හිමියන් ගේ ශිෂ්‍ය වස්කඩුවේ තිලක නා හිමියන් විසිනි.

1924 වර්ශයේ දී අලුත්ගම සීලඛන්ධ නා හිමියන් අපවත් වූ පසු මහින්ද හිමියන් බලවත් අසීරුතාවයට පත්විය. රජ්ගම චූලසුමන හා රජ්ගම ධර්මාධාර නාහිමිවරුන් යටතේ පැවිදි බව ලැවූවද උන් වහන්සේලාද අපවත් වී සිටියෙන් උපසම්පදාව ලබා ගැනීමේ ගැටලුවක් මතු විය. මේ නිසා 1927 වර්ෂය වන විට මහින්ද හිමියන් කොළඹ ට පැමිණ පූජ්‍ය වෑකඩ ධීරානන්ද හිමියන් හමු වීකොම්පඤ්ඤ වීදියේ සෞගතවාසයේ නතරවීම උන් වහන්සේගේ පමණක් නොව ජාතියේ ද භාග්‍යයක්ම විය. 1921 වර්ෂයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කල මහින්ද හිමියන් එවකට panadura-m-hකොළඹ මරදානේ 520 ස්ථානයේ රැඳී සිටි පී.කේ.ඩබ්. සිරිවර්ධන මහතා දැන හැඳින ගෙන කතුවරයෙකු ලෙසට ග්‍රන්ථ පළකරන්නට ආරම්භ කරන ලදී. මහා පරාක්‍රමබාහු කුමාර කාලය රාහුල කුමාරයා වැනි ගද්‍ය රචනාද නිදහසේ මන්ත්‍රය නිදහසේ දැහැන වැනි පද්‍ය රචනාද කරන්නට පන්නරය ලැබුණේ එවකට මේ රටේ ජාතික නිදහස් සටන ඇරඹී තිබූ බැවිනි. ශ්‍රීමතී අභය ගුණවර්ධන සාගර පලන්සූරිය වැනි කිවි කිවිඳියන් පමණක් නොව පියදාස සිරිසේන වැනි මහා පුරුෂයින්ද මේ ජාතික සටනට සෘජුව දායකත්වය සපයන්නට විය.

1927සිට 1937 දක්වා කාලය මහින්ද හිමියන් ගේ ස්වර්ණමය අවදියයි. උන් වහන්සේ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය වරයෙකු ලෙසට පත් වීමක් ලබන්නේ එවකට එහි විදුහල්පතිව සිටි පී.ද එස්. කුලරත්න මහතාගේ ඇරයුමිනි. එම යුගයේ දී උන්වහන්සේ විසින් මුද්‍රණ ද්වාරයෙන් පළ කරන ලද ලංකා මාතා නිදා සිටි සිංහලයින්ට ගසන ලද කෙවිටි පහරක් විය. උඩරට යටහලගල පෙදෙසේ වන්නම් ගැන කරන ලද පර්යේෂණයකින් පසුව උන්වහන්සේ ආනන්ද විදුහලේ ළමුන් උදෙසා දහඅට වන්නම් නම් කෘතිය පළ කරන ලදී. එයට එම විදුහලේ ආචාර්ය වරයෙකුව සිටි පී.ඊ. ප්‍රනාන්දු මහතා දක්වන ලද සහයෝගය නිසා එවකට ආනන්ද විදුහලේ ළමුන් අතර විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති විය.

1937 වර්සයේ දී සිය ගුරුදේව කිරිගල්පොත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් ගේ ඉල්ලීම පරිදි මහින්ද හිමියන් පානදුර අලුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ විහාරධිකාරී ලෙසට පැමිණීම පිණිස ආනන්ද විදුහලේ ආචාර්ය පදවියෙන් ඉවත් විය. 1937 සිට 1951 දක්වා කාලය උන්වහන්සේ ගේ සමාජ ජීවිතය ඔප් නැන්වුණු අවදියක් විය. පාසල් පෙළ පොත් පළ කිරීමෙන් උන්වහන්සේ අධ්‍යපනඥයෙකු බවට ද පත් විය. අනතුරුව මහ බෙල්ලන විහාරස්ථානය මූලික කර ගෙන නව ලංකා නම් දහම් පාසලක් ආරම්භ කිරීමම පැහැදිලි ලෙසටම විප්ලවයක් විය. මේ විප්ලවය සමාජ ප්‍රතිශෝධනයෙහි මෙන්ම සුචරිත වර්ධනයෙහිද යොමු කරලීමට කල උත්සාහය නිසා උන්වහන්සේට එකල විවිධ විහාරස්ථාන වලින් ධර්මදේශනා සහා ඇරයුම් ලැබුණි. එකල දේශපාලන පොරපිටිය ද මහත් සේ උණුසුම් යුගයකි. ජෝන් කොතලාවල මහතාද උන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ බව සඳහන්ය. මේ නිසා දේශපාලඥයින් ගේ චන්ද ව්‍යාපාර සරු කිරීම උදෙසාද ඇතැම් අවස්ථාවලදී මහින්ද හිමියන් ගේ ධර්මදේශනා අසන්නට ලැබුණු බව උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ තෙල්වත්ත දළදාවිහාරයේ විහාරාධිපතිව වැඩ සිටි තල්වත්තේ  ඉන්ද්‍ර ජෝති නාහිමියන් පවසයි.

1951 වසරේ මාර්තු මස 16 වනදින කලුතර දී පැවති ආදාහන උත්සවයක් නිමා කොට යලි සිය විහාරයට පැමිනි මහින්ද හිමියන්  එදිනම රාත්‍රි අටහමාරට පමණ අපවත් වී වදාලේ ජාති මාමකයින් සෝ සයුරේ ගිල්වමිනි.1961 වසරේ උන්වහන්සේ වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවති ගුණානුස්මරණ උත්සවයෙන් පසුව වාර්ෂිකව මේ මහා යතිවරයානන් සිහිපත් නොකර මාර්තු මාසය ගෙවී නොගිය බව කිව යුතුය. ඒ තරමටම උන්වහන්සේ ජාතියේ සම්මානයට පාත්‍රව සිටියහ. උන්වහන්සේ අපවත්ව වසර හැට දෙකක් ගතව තිබියදීත් වර්තමානයේද උන්වහන්සේ කළ සේවය අගය කිරීමට කෘතගුණ වාදී ජනතාව සූදානම් බව පෙන්වන්නට  තිබෙන හොඳම උදාහරණය නම් මහ බෙල්ලන සුධර්මාරාමයේ දී අභිනවයෙන් ඉඳිකරනු ලැබූ කෞතුකාගාරයයි. මෙම සද්කාර්යයට දායකත්වය සපයන ලද්දේ මැදපෙරදිග සිංහලයින් ගේ හෙළ බිම සංවිධානයයි.

මෙතෙක් කලක් අප්‍රකටව තිබූ තොරතුරු ගවේශණයේ දී පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන් ගත්  උත්සාහය නිසා  සිකිම් ලේඛනාගාරය සතුව තිබූ මහින්ද හිමියන් ගේ පරම්පරාව පිළිබඳ අගනා තොරතුරු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ගත හැකි විය.මෙම සද් කාර්යය කර ගැනීමට මග පෙන්වන ලද්දේ ජනාධිපති  උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ය.  එහෙයින් මහබෙල්ලන සුධර්මාරාමායේ දී විවෘත වන එස්.මහින්ද හිමි කෞතුකාගාරය හා පුස්තකාලය මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන් මගේ පැතිකඩක් පෙන්වන සිහවටනයක් බවට පත් වන බවද කිව යුතුය.

– මතුගම සෙනෙවිරුවන්

9,602 Viewers

——

ccnews

Add-here-new

contactus-n