ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිවිසීමට සහ ක්ෂේත්‍රයේ ස්ථාපිතවීම සඳහා නව ඉදිකිරීම් කර්මාන්තකරුවන් ප්‍රාග්ධන ගැටළුවලට මුහුණදෙන බවත් ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේද අවධානය යොමුකරවා එම ගැටළු වලට විසඳුම් ලබාදී දේශීය නව ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායකවීමට අවස්ථාව ලබාදෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසින් 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික ඉදිකිරීම් ප්‍රදර්ශනය (Construct Exhibition 2012) විවෘත කිරීම වෙනුවෙන් අද (10) දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරන මධ්‍යස්ථානයේදී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවෙලා සිටින වෘත්තිකයන්ට හා ශිල්පීන්ට පමණක් නොවේ මෙම ක්ෂේත්‍රයේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තුවන ජනතාවට විශාල උද්යෝගයක් හා උනන්දුවක් ඇතිවී තියෙනවා. මෙම ක්ෂේත්‍රයේ ඇතිවන ප්‍රවණතාවයන් හඳුනාගන්න හා ඒවාට දායක වෙන්න රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අභියෝග ජයගන්නත් අනාගත සංවර්ධන අවස්ථා සඳහා ඉදිකිරීම් කර්මාන්තයේ නියැලී සිටින පිරිස් සූදානම් කරන්නත්, මේ ක්ෂේත්‍රයේ සේවාව ලබන ජනතාව ඒ සඳහා ආකර්ෂණය කරන්නත් මේ ඉදිකිරීම් ප්‍රදර්ශනය පිටිවහලක් වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන ජනතාව දැනුවත් කිරීමත් උනන්දුව ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයට සාධකයක් වෙලා තියෙනවා. රාජ්‍ය අංශයේත් මෙම ඉදිකිරීම් ප්‍රදර්ශනය කෙරෙහි විශාල අවධානයක්, උද්යෝගයක් ඇතිවෙලා තියෙනවා. රටක සංවර්ධන ක්‍රියාවලියේදී ඉදිරියට යන විට විශාල දායකත්වයක් සැපයීමට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවෙනවා. අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම ඇතිවන වර්ධනයට ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ වෙනවා. දශක තුනක යුද්ධයකින් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනයවෙන රටක් හැටියට ඉදිරියට යනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රය ඊට සමානව ඉදිරියට පැමිණිය යුතුයි. නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ක්ෂේත්‍රයට ඇතුළුවීමට, වැදගත් අවස්ථාවන් ඔවුන්ට හිමිකරදීමට අපි පෙරට වඩා මැදිහත් විය යුතුයි. අද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සිදුවුණත් එම ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට බොහෝ අවස්ථා අහිමිවෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය හා අනෙකුත් ගැටළු නිසා, බැංකු වැනි ආයතනවල පොලී අනුපාතය වැඩිවීම වැනි හේතු නිසා බැංකුවල සහයෝගයෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට මෙම ක්ෂේත්‍රයේ ස්ථාපිතවීමේ හැකියාව අඩුවෙලා. එම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුතින් ඇතුල්වන කර්මාන්තකරුවන්ට එම ක්ෂේත්‍රයේ ස්ථාපිතවීමට ඔවුන්ගේ ප්‍රාග්ධන ගැටළුවලට විසඳුම් ලබාදීමේ අභියෝගය අද අපි ඉදිරිපිට තියෙනවා. එම ප්‍රාග්ධන ගැටළුවලට විසඳුම් ලබා දුන්නොත් පමණයි ක්ෂේත්‍රයේ ඇතිවන වර්ධනය නව කර්මාන්තකරුවන්ට හිමිකරදීමට හැකියාව අපිට ලැබෙන්නේ. අද සැළකියයුතු කර්මාන්ත කරුවන් පිරිසක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයට දායකවී තිබීම අපට සතුටු විය හැකි කරුණක්.
නව කර්මාන්තකරුවන් මුහුණදෙන ප්‍රාග්ධන ගැටළුවලට ක්‍රමෝපායක් ඇතිකරගත යුතු නිසා මම බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමුකරවා නව ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන්ට නැඟිටීමට අතදීමක් වශයෙන් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට. අපේ රට ඔප්පු කරලා තියෙනවා, ලෝකයේ අනෙකුත් ඉදිකිරිම් ආයතන හා තරඟකාරීව කටයුතු කිරීමේ හැකියාව. එම නිසා අපේ ස්වදේශික ආයතනවලට කළ නොහැක්කක් නැහැ. ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙනවා කියන්නේ එයින් ප්‍රතිලාභ භුක්ති විඳින්නේ පොදු ජනතාවයි. සමහර ක්ෂේත්‍ර කෙතරම් වර්ධනය වුණත් ඒවායේ ප්‍රතිලාභ හිමිවන්නේ මේ රටට නොවේ විදේශ රටවලට. නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිලාභ වැඩි වශයෙන් හිමිවන්නේ මේ රටේ ජනතාවට. එම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කරන ජාතික ඉදිකිරීම් සංගමය ඇතුළු මෙයට දායක වූ සියළුම ආයතනවලට මාගේ ස්තූතිය පුදකරනවා” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ “ අපේ රටේ ආර්ථිකයේ විශාල වැඩ කොටසක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට භාරවෙලා තියෙනවා. මට අයත් ජලසම්පාදන ක්ෂේත්‍රයේ ඉදිකිරිම් කටයුතු කිරීමේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන, ජාත්‍යන්තර ආයතන සමඟ තරඟකාරීව කටයුතු කිරීම පිළිබඳව මම විමල් වීරවංශ අමාත්‍යතුමාට ප්‍රශංසා කරනවා. මෙම ඉදිකිරීම් ප්‍රදර්ශනය ජාතික ආර්ථිකය ගොඩනැංවීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයටත්, ජනතාවට ප්‍රතිලාභ හිමි කිරීමටත් දායක වන ප්‍රදර්ශනයක් බව ප්‍රකාශ කළ යුතුයි” යනුවෙන්ද පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ ඇති ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා සහභාගී වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුවත් කෙරෙන ප්‍රදර්ශන කුටි 300 කට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ. මෙහිදී දේශීය හා විදේශීය නව ඉදිකිරීම් ශිල්ප ක්‍රම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා කරන නව ඉදිකිරීම් උපකරණ, නව තාක්ෂණික ද්‍රව්‍ය භාවිතය හා නව තාක්ෂණික දැනුම පිළිබිඹුවන ප්‍රදර්ශන කුටි මෙම ප්‍රදර්ශන භූමියේ සංවිධානය කර තිබේ. 10 වෙනිදා සිට 12 වෙනිදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. උදෑසන 10.00 ට ආරම්භ වන මෙම ප්‍රදර්ශනය රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනු ඇත. විවිධ ඉදිකිරීම්වලට සම්බන්ධව නොමිලේ උපදේශන සේවාවන්ද මෙමඟින් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි. ඉදිකිරීම්වල නිරත ආයෝජකයන්ට, ඉදිකිරීම් ශිල්පීන්ට හා අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙය වැදගත් වනු ඇත.
අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුට ප්‍රදානය කිරීම සඳහා ශිෂ්‍යත්ව 25 ක් ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ප්‍රියන්ත පෙරේරා මහතා විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට මෙහිදී ලබාදෙන ලදී.