S-5  හරි වෙන මොකක්හරි නම්වලින් ඵලදායිතා සංකල්ප පිටරටින් ගේන්න ඕන නෑ

ජනගහනය හා සාපේක්ෂව  බැලූ කළ ශ්‍රී ලංකාව   යනු දකුණු ආසියාවේ ඉතාම ශක්තිමත්ම රාජ්‍ය සේවයක් පවතින රටක් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  අද වන විට බොහෝ රටවල් සෞඛ්‍යය,  අධ්‍යාපනය ආදී  සුභසාධන වැඩසටහන්  හා ප්‍රතිපත්ති ක්‍රමානුකූලව අවලංගුකර ඇති නිසා ඒවායේ රාජ්‍ය සේවය දවසින් දවස හැකිලෙන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා  ජනාධිපතිධූරය බාරගන්නා විට ලක්ෂ 8 ක්ව පැවති  ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය  වර්තමානය වන විට ලක්ෂ 13 දක්වා වර්ධනය කිරීමට වත්මන්  ආණ්ඩුවට හැකිවූ බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඉන් නොනැවතී අළුතින් තවත් 40,000 ක් පමණ රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමටද ආණ්ඩුව මේ වන විට බලාපොරොත්තු වෙන බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ “2011 අන්තර් ඵලදායීතා කව” තරඟාවලියේ සම්මාන ප්‍රදානය සඳහා පසුගියදා  අමාත්‍යාංශයේ  පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ ජනතාවට ඉතා  කාර්යක්ෂම ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා අප අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන ඵලදායීතා වැඩසටහන මෙසේ යම්  කඩඉමකට පැමිණ තිබීම වැදගත්. එහෙත් අපේ අතීත ජීවන පැවැත්ම ගතහොත් ඵලදායීතාවය කියන කාරණය වැඩමුළු තියලා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ උගන්වන්න ඕන වුණු ක්‍රියාවලියක් නෙවෙයි.  එදා ඵලදායීතාවය කියන කාරණය අපේ ජීවිතිවල  ඵෛන්ද්‍රීය අංගයක් බවට පත්වෙලා තිබුණා. ඒ සඳහා අතීත ගම ගෙදරක ජනයා  පොල්ගසින් ගත් ප්‍රයෝජන කොයිතරම් ඵලදායි ආකාරයෙන්  යොදාගත්තේද  යන කාරණය සිහිපත් කර බැලීමම ප්‍රමාණවත්. ඔවුන් පොල්ගෙඩිය ආහාරයට ගත්තා,  හනසුටික දුම්මැස්සට දැම්මා, පොල් අත්තෙන් වහළය සෙවිළිකළා,  පොල්කට්ටෙන් හැන්දක් හදාගත්තා,  පොල් වතුර ටික පානය කළා.  ඒ තුළ තිබුණේ ඵලදායිතාවය කියන කාරණය. ඔවුන් සොබාදහම  උපරිම  අයුරින්ම ප්‍රයෝජනයට ගත්තා. සොබාදහම අපට යමක් දෙන්නේ  ඒක අසම්පූර්ණව ප්‍රයෝජනයට ගන්න  නෙවෙයි. අපි  සොබාදහම දෙන දේවල් තමයි ඉතා ගිජුකමින් භුක්ති විඳින්නේ.  ඒත් මෙහිදී  ‍මතක තබාගතයුතු කාරණයක් තියෙනවා. එය තමයි සොබාදහම ලබාදෙන  දේ මුළුමහත්  මානව සංහතියේම උරුමය සේ සළකා එය  ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට සිතා ගැනීම. ඒ මානව ගුණධර්මය අපේ අතීත ජීවිතවල නිරායාසයෙන්ම  තිබුණා. ඒ නිසා අපිට S5  කියලවත් වෙන මොකක්වත් නාමයකින්වත් ඵලදායිතාවය වගේ සංකල්ප  පිටරටින් ආනයනය කරන්න වුවමනා වුණේ නෑ.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් අධි නාගරීකරණය වීමත් සමඟම අපේ සිතුම් පැතුම් වගේම අපේ  ජීවන රටාවත් සුවිශාල වෙනස්කම් වලට භාජනය වුණා. ඒ නිසා අද වෙන විට  අපිට වෙලා තියෙනවා,  අපේ  මුතුන්මිත්තන්  ළඟ තිබුණ ඵලදායීතාවය වගේ සංකල්ප වෙනත්  නම්වලින් පිටරටින් ආනයනය කරන්න. අපි ළඟ එදා අතීතයේ මේ ඵලදායීතාවය  තිබුණු බවට තවත් කදිම උදාහරණයක් තමයි භික්ෂූන් වහන්සේ නමක්  උන්වහන්සේගේ චීවරය පරිහරණය කළ ආකාරය.  මුලින් පෙරවූ චීවරය පසුව අඳනයටත්, ඉන්පසුව  අඳන පොරෝණයටත්, පොරෝණය පාපිස්සටත් දමා අවසානයේ එය මැටි සමඟ මුසුකොට බිත්ති‍යක් බැඳීමට පැවිච්චි කළා. එයින්  පෙනී යන්නේ සිවුරේ භූමිකාව අවසන්වූ පසු සිවුර අවසන් නොවූ බවයි. අතීතයේ අප තුළ තිබූ ඵලදායීතාවය එමඟින් කදිමට පැහැදිලිවනවා.

එහෙත් අපි අත්පත් කරගත් සංවර්ධන මොඩලයන්ගේ  හා ඒවා භාවිතයේ තිබූ විවිධ දුර්වලතා නිසා අද වන විට අපිට අපි ළඟ අතීතයේ තිබූ ඒ  යහපැවැත්ම  මහන්සිවෙලා වෙනත්  රටවලින්  ආනයනය කරගැනීමට සිදුවෙලා තියෙවා. ඒ  කෙසේ වෙතත් මේ ඵලදායිතාවය වගේ සංකල්ප අපට ඉතාම වැදගත්. මේවා තුළින්  ලබාගන්නා ප්‍රගතියේ අවසාන‍ ප්‍රතිඵලය  මෙම ආයතන වෙතට පැමිණෙන පොදු මහජනතාවගේ සුවපහසුව, සතුට වෙනුවෙන් නම් අපි එය අගය කළ යුතුයි” යනුවෙන්ද අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතා මෙසේ පැවසීය. “ අපි  හැමෝටම පරමාර්ථ, අරමුණු, සිහින තිබිය යුතුයි. ඒ සිහින වලට යාමට ඵලදායීතාවය ඉතාම වටිනා පිටුබලයක් කරගත යුතුයි. ඵලදායීතාවය තුළින්  බලාපොරොත්තුවන  ඉතා වටිනාම සේවාව විය යුත්තේ  ඉක්මනින්ම ප්‍රතිඵල  ලබාගැනීමයි.  මේ ඵලදායීතාවය කියන සංකල්පය රාජ්‍ය සේවයට හඳුන්වාදීලා තාම වැඩි කාලයක් නෑ.  ඒත් කෙටි කාලයක් තුළදී මේ අමාත්‍යාංශය ඉන් ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඇති බව පේනවා” යනුවෙන්ද පැවසීය.

6,028 Viewers

——

cccccgossip99_22_0gossoplankamuthupini

Add-here-new

contactus-n