ලෝක ජනාවාස දින ක‍්‍රිකට් තරඟාවලියට කණ්ඩායම් 216ක්

2012 ඔක්තෝම්බර් 01 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව නාගරික ජනාවාස තරුණ තරුණියන් වෙනුවෙන්  සංවිධානය කරන ලද ජනසෙවණ නාගරික ජනාවාස සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බොරුල්ල දුම්රිය ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණ.

2012 ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ජනාවාස සතියක් නම්කර ඇති අතර ඒ අනුව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර හා බටහිර යන කලාප වල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් කණ්ඩායම් 216 කින් සමන්විත මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර තිබේ.

නාගරික ජනාවාස වල තරුණ තරුණියන්ගේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමත්, නායකත්ව, කණ්ඩායම් කුසලතා, සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීමත් හා ජනාවාස තරුණ තරුණියන්ගේ දායකත්වය ලබා ගැනීමත් අරමුණෙන් ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සහයෝගය ඇතිව මෙම පිරිමි හා කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරේ. නාගරික තරුණ තරුණියන්ගේ ඉහළ දායකතත්වයක් හා දැඩි කැපවීමක් මේ සඳහා ලබාදීම ‍විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණකි.

මෙම තරඟාවලියේ පිරිමි හා කාන්තා කණ්ඩායම් වල අවසන් තරඟ  මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමපුර ජනසෙවණ ක්‍රීඩාංගණයේද හෙට (24) දින පැවැත්වීමට නියමිත අතර එදින නාගරික ජනාවාස වැසියන් වෙනුවෙන් රුපියල් මිලියන 2.5 ක මුදලක් වැයකර අළුතින් ඉදිකරන ලද ශ්‍රී වික්‍රමපුර ජනසෙවණ ක්‍රීඩාංගණය විමල් වීරවංශ  අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

780 Viewers

Leave a Comment