අංගම් සටන් කලාව තහනම් කළ සුද්දන්ගේ ගැසට් පත‍්‍රය අවලංගු කරන්නැයි ඉල්ලයි..

March 29, 2017 at 5:30 pm | lanka C news
අංගම් සටන් කලාව තහනම් කළ සුද්දන්ගේ ගැසට් පත‍්‍රය අවලංගු කරන්නැයි ඉල්ලයි..

ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් හෙළ අංගම් සටන් කලාව තහනම් කළ ගැසට් පත‍්‍රය අවලංගු කළ යුතු බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

මේ බව සදහන් වන්නේ සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මෙසේ ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකයි.

මේ එම ලිපියයි.

ගරු ජනාධිපති තුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ජනාධිපතිතුමනි,

යටත් විජිත යුගයේ ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් හෙළ අංගම් සටන් කලාව තහනම් කළ ගැසට් පත‍්‍රය අවලංගු කළ යුතුයි

ඌව වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවූ මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ඇතුළු සිංහල නායකයන් දහනව දෙනෙකු රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරමින් බ්‍රිතාන්‍ය විසින් නිකුත් කළ තිබූ තහනම ඔබතුමා විසින් පසුගිය දිනක දි නිල වශයෙන් අවලංගු කරන ලදි. ඒ අනුව වර්ෂ198කට පසු වෙල්ලස්සේ වීරයන්ගේ නම් රාජ්‍ය ද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් විය. එය ඔබතුමා විසින් ගත් ඉතා ප්‍රශංසනීය පියවරකි.

1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිංහලය අයත් වීමෙන් පසු අංගංම් සටන් ශිල්පය ඉංග්‍රීසි පාලනය විසින් තහනම් කෙරිණි. ඒ අනුව මෙම අංගම් ශිල්පය භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීම ද තහනම් කළ අතර එවැනි ශිල්ප පුහුණු කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝග ද පනවයි. මේ මර්දනය හමුවේ පාරම්පරික අංගම් ශිල්පය පුහුණු කරුවන් අංගංම් මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කරන ලදි. එම නිසා අතිශය රහසිගතවත්, වන ගතවත්, තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට එදා කටයුතු කරන ලදි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්ප්‍රදායක් එළස වැළලෙමින් තිබුණි.

වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දින දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම සටන් කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් සිංහලයන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීණි.

අද බොහෝ තරුණයන් මෙම සටන් කලාව ප්‍රගුණ කරයි. මෙය වෘත්තීය මට්ටමේ සටන් කලාවක් බවට අද පත්ව ඇත. එහෙත් ඉහත සදහන් ගැසට් පත්‍රය තව දුරටත් බලාත්මක බැවින් එම ගැසට පත්‍රය ඉවත් කර එම සටහන් කලාවට නව ජිවයක් ලබා දෙන ලෙසත් ඒ ඵෙතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෙසත් අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

බුදුගල ජිනවංස හිමි
සභාපති
හෙල බොදු සවිය

102 views

One Comment to “අංගම් සටන් කලාව තහනම් කළ සුද්දන්ගේ ගැසට් පත‍්‍රය අවලංගු කරන්නැයි ඉල්ලයි..”

  1. nilu says:

    අතිතය අමතක කරන්න නෙද බුද්ද වචනය කියන්නෙ. මෙ ගොන් වහන්සෙ මොන​වද මෙ ඉල්ලන්නෙ? එ මදිව අපෙ සමන්ථ බද්‍ර මහ රහථන් අහන්සෙට අපහස කලෙ මෙ නරුමය නොවඉද​?

Main News