අගමැතිට කිරිඇල්ලට අවවාද කලේ නෑ.. අපි ඉතාම සුහදයි.. කතානායකගෙන් නිවේදනයක්..

February 9, 2017 at 8:02 am | lanka C news
අගමැතිට කිරිඇල්ලට අවවාද කලේ නෑ.. අපි ඉතාම සුහදයි.. කතානායකගෙන් නිවේදනයක්..

පෙරේදා දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, සභානායක ඇමති ලක්‍ෂමන් කිරිැල්ල හා තමන් අතර සිදු වූයේ අවවාද කිරීමක්  හෝ නියෝග පැනවීමක් නොවන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

කරුණු පැහැදිලි කිරීම – 2017-02-07 දින පාර්ලිමේන්තුව

2017.02.07 දින පාර්ලිමේන්තුවේදී ඉඩම් අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ප්‍රශ්නයක් පිළිබඳව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිලිතුරු දීමට සුදානම් වූ අවස්ථාවේදී ගරු කථානායකතුමා ස්ථාවර නියෝග පිළිබඳව කල පැහැදිලි කිරිම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු සභානායකතුමා වෙත නියෝග පැනවීමක් හෝ එම දෙපල ඉලක්ක කර සිදු කල අවවාද කිරීමක් නොවන බව අවධාරණය කරමු.

කථානායකවරයා හෝ පාර්ලිමේන්තුවේ ඒ ඒ අවස්ථාවේදී මුලසුනේ සිටින මන්ත්‍රිවරයා විසින් සභාගර්භයේ ප්‍රධානියා ලෙස ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව නිතර නිතර සිහි කැඳවනු ලැබීම සුලබ සිදුවිමක් වන අතර, එය සභාවේ විනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ.

ඊයේ දිනයේ ද උක්ත අවස්ථාවේ දී සිදු වූයේ ස්ථාවර නියෝග පිළිබඳව එවැනි සිහිකැඳවීමක් මිස අවවාද කිරීමක් හෝ නියෝග පැනවීමක් නොවේ.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් අවවාද කිරිමක් යනු මීට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමකි.

වත්මන් පාර්ලිමේන්තුවේ රැස්වීම් උසස් විනයක් සහිතව ගෞරවනීය ආකාරයෙන් පවත්වාගෙන යාමට කථානායකතුමන්, නියෝජ්‍ය කථානායකතුමන්, නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමන් මෙන්ම සභාපති මණ්ඩලය ද නිරතුරුව කැපවෙයි.

ආංශික කාරක සභා ක්‍රියාවලියට නායකත්වය දෙමින් තමාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා 2016.02.16 දින සිට සෑම මසකම නිශ්චිත කාලයක් වෙන් කරමින් පාර්ලිමේන්තු රැස්වීම සජීවීව නැරඹීම සඳහා ජනමාධ්‍ය තුලින් ජනතාවට අවස්ථාව උදාකර දීමට සහය දෙමින් පාර්ලිමේන්තුවේ විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෞරවනීයභාවය තහවුරු කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමන් සෑම විටම පූර්ණ ආශීර්වාදය ලබා දුන් බවද සිහිපත් කරමු.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු‍වේ කටයුතු වාර්තා කිරීම ජනමාධ්‍ය මගින් ඉටු කරන ඉතා වැදගත් සමාජ මෙහෙවරක් බව ගරු කථානායකතුමාගේ හැගීම වන අතර, මෙවැනි සියුම් කාරණා පළ කිරීමේදී ජනිත විය හැකි වැරදි අවබෝධයන් අවම කර ගැනීමට සහාය වන ලෙස ද එතුමන් සියළුම මාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටී.

– කථානායක මාධ්‍ය අංශය

0 views

One Comment to “අගමැතිට කිරිඇල්ලට අවවාද කලේ නෑ.. අපි ඉතාම සුහදයි.. කතානායකගෙන් නිවේදනයක්..”

  1. daham says:

    maadhya ansaye inne booruwoda? kathaanaayaka thumaa kivva de e vidiyatama t.v. news walin dakka. ekata ithin me gon atuwaa teekaa mokatada. kathaanaayaka thumaata garu kala yuthuyi agamathi saha sabhaa naayaka parlimenthuwa e dennata one vidihata natawanna hadana ekata ida nodeepu eka gana.