අගමැති පරාදයි… නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 07කින් හා හොදම අවස්ථාවේ වැඩි 58කින් විශ්වාස භංගය සම්මතයි.. සූත්තරේ මෙන්න..

April 2, 2018 at 10:32 pm | lanka C news
අගමැති පරාදයි… නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 07කින් හා හොදම අවස්ථාවේ වැඩි 58කින් විශ්වාස භංගය සම්මතයි.. සූත්තරේ මෙන්න..

කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

විශ්වාස භංග යෝජනාව පරාජය කරන්නේ කෙසේදැයි ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු මේ දවස්වල කට මැත දෙඩවීම දැක්කම අපට සිහිපත්වෙන්නේ වෙරි වූ මීයෙක් පූසන්ට අභියෝග කිරීම පමණමයි. ඒ නිසා අපේ වගකීමක් වෙනවා අපි විශ්වාස භංගය ජයග්‍රහණය කරවන්නේ කෙසේද ? අප සතු ඉලක්කම් මොනවාද කියන එක නම් ගම් වලින් නොකියා ඉලක්කම් වලින්ම මේ කතාව කියන්න. මොකද මේ වෙරි වී දගලන මී පැටියාට පිළිතුරක් දීම  අපේ වගකීමක්  නිසා.

වත්මන් පාර්ලිමේන්තුවේ බල තුලනය තිබුණේ සංධානයට 96ක්.  එජාපයට 107ක්.  ජවිපෙ 6ක් සහ දෙමළ සංධානය 16ක් වශයෙන්.  ශ්‍රිලනිප ඇමතිවරු දෙදෙනෙකු මේ යෝජනාවට විරුද්ධ වේවි කියා අපි සැක කරනවා.  අපි ඒ දෙදෙනා  දිනා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙන අතරේ දැනට ඒ දෙදෙනාගේ සහය අපිට නෑ කියලා හිතමුකො.  එවිට පක්ෂව තිබෙන ඡන්ද ගණන 96 සිට 94 දක්වා අඩු වන විට විපක්ෂව තිබෙන ඡන්ද ගණන 107 සිට 109 දක්වා වැඩි වෙනවා.

ජවිපෙ දැනටමත් යෝජනාවට පක්ෂ වී තිබෙනවා.  ඒ නිසා පක්ෂ ගණන 100 දක්වා හයකින් වැඩි වෙනවා.  එජාප මන්ත්‍රිවරුන් 27ක් යෝජනාවට සහය පල කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට ප්‍රකාශකරලත් තියෙනවා. මේ 27 දෙනා අතරිනුත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටින  විවෘතවම රනිල් විරෝධි  අපිට විශ්වාසම මන්ත්‍රිවරු 15ක් සිටිනවා.  ඒ 15 එකතු කළාම පක්ෂ ගණන 100 සිට 115 දක්වා වැඩි වන විට විපක්ෂ ගණන 109 සිට 94 දක්වා අඩු වෙනවා.

දෙමළ ජාතික සංධානය කියන්නේ පක්ෂ හතරක සංධානයක් .  එහි මන්ත්‍රිවරුන් පහක් සිටින පක්ෂ දෙකක් ඡන්ද දීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබෙනවා.  ඉතිරි පක්ෂ දෙක හෙට දිනයේ තීන්දුවක් ගැනීමට නියමිතයි.  ඒ පක්ෂ දෙකේ මන්ත්‍රිවරුන් 11ම යෝජනාවට විරුද්ධ වුණත් යෝජනාවට විරුද්ධ මන්ත්‍රිවරු ගණන වැඩි වෙන්නේ 105 දක්වා පමණයි.  ඒ කියන්නේ නරකම අවස්ථාවේ දී පවා වැඩි ඡන්ද හතකින් යෝජනාව ජයග්‍රහණය කරනවා.

දැන් හොඳම අවස්ථාව බලමු.  එජාපයේ සහය දැක්වීමට පොරොන්දු වී සිටින මන්ත්‍රිවරු 27ම සහය දක්වනවා නම් පක්ෂ ගණන 115 සිට 127 දක්වා වැඩි වන අතරේ විරුද්ධ ගණන 94 සිට 82 දක්වා අඩු වෙනවා.  ජාතික හෙළ උරුමය මහ බැංකු වංචාව පිළිබඳ අගමැතිතුමාට සෘජුවම ඇඟිල්ල දිගු කර කරන ලද ප්‍රකාශත් මෙම විශ්වාස භංග යෝජනාවේ අඩංගු වෙනවා.  ඒ නිසා හෙළ උරුමයේ මන්ත්‍රිවරුන් දෙදෙනාට මේ යෝජනාවට පක්ෂ නොවුනත් විරුද්ධ වෙන්න බෑ.  ඒ වගේම මහනුවර ගැටුමේ දී පොලිසියේ හැසිරීම පිළිබඳ මුස්ලිම් කොංග්‍රසය සහ මහජන කොංග්‍රසය කළ විවේචන මේ විශ්වාස භංග යෝජනාවේ අඩංගු  කර තිබෙනවා.  ඒ නිසා මෙම පක්ෂ දෙකේ මන්ත්‍රිවරුන් 11ටත් යෝජනාවට විරුද්ධ වෙන්න බෑ.  මේ පක්ෂ තුනේ මන්ත්‍රිවරුන් 13ට සිය ආත්ම ගෞරවය රැක ගෙන කළ හැකි උපරිම දේ ඡන්දය දීමෙන් වැළකි සිටීමයි.

මේ 13දෙනා ඡන්දය නොදී සිටියොත් යෝජනාවට විරුද්ධ ගණන 82 සිට 69 දක්වා අඩු වෙනවා.   පක්ෂව තිබෙන ඡන්ද ගණන 127යි. එහෙම නම් ප්‍රසස්ථම අවස්ථාවේ වැඩි ඡන්ද 58කින් යෝජනාව දිනනවා.  ඒ කියන්නේ නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 7ක් සහ ප්‍රසස්ථම අවස්ථාවේ වැඩි 58කින් මෙම යෝජනාව සම්මත වීමට නියමිතයි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තනතුර අහිමි වන බව හතර වෙනිදා පායන ඉර මෙන් විශ්වාසයි.

අගමැතිතුමාට දැන් තිබෙන්නේ විකල්ප දෙකයි.  අප්‍රේල් 4 දා පැය 12ක් පුරා බැනුම් අහලා ඡන්දයෙන් පැරදිලා ගෙදර යනවා ද නැතිනම් දැන්ම ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යනවා ද කියන එක විතරයි. මෙම විකල්ප දෙකෙන් කුමණ විකල්පය තෝරාගන්නවාදෝ කියන එක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම සතුයි.

ඇත්තෙන්ම අපි අද  කරන්නේ එජාපයේ සටනක්.  2001 කරු ජයසූරිය සහ ගාමිණි අතුකෝරාල මැතිතුමන්ලා ආරම්භ කළ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන්නයි අපි උත්සාහ දරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල නායකයාට ආදරේ සල්ලිවලට කෑදරේ මන්ත්‍රීවරැන්  හැර පක්ෂයට පාක්ෂිකයාට ආදරේ කරන සෑම මන්ත්‍රිවරයාම 4 වෙනිදා මේ යෝජනාවට පක්ෂව අත ඔසවනවා කියන එක අපිට විශ්වාසයි. මේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්කරන එක්සත්ජාතික පාක්ෂිකයාගේ සිහින සැබෑකරණ යෝජනාවක්නම් ඇයි ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය මේක කරේ තියන් දගලන්නේ කියලා. එජාපයට වඩා මින් වාසියක් තියෙන්නේ අපේ රටටයි.  අපට අවාසි වුණත් රටට වාසි නිසා අපි මේ සටන ජනතාව වෙනුවෙන් මව්බිමේ නාමයෙන්  ආරම්භ කළා.  ඒ වගේම ජයග්‍රහණයෙන් අවසන් කරනවා.  2019 ජනපතිවරණය වෙනකම් තවස් වසර එක හමාරක් තියෙනවා. ඒවසර එක හමාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ අගමැති දූරය දැරුවොත්  අපට භාර ගන්න අපට රටක් ඉතිරි වෙන්නේ නෑ.

අපි දැක්කා මේ රට කෑලි කෑලි වලට කඩලා ලෝක බලවතුන්ට විකිණීමේ පිබුරුපත් හදලා ඉවරයි.  හිටපු මුදල් ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ කියනවා මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට නැටවෙන රූකඩ ආණ්ඩුවක් කියලා.  තැල්ල බදින්න නම් බෙල්ල ඉතිරිවෙන්න ඕනෑ වගේ පාලනය බාර ගන්න නම් අපට රටක් ඉතිරිවෙන්න ඕනෑ. ඒ නිසා ඒ රට රැකීම වෙනුවෙන් අපි අගමැතිතුමන් ගෙදර යවන්න කලහැකි සියල්ල කරන්න සූදානම්. ඒ නිසා පක්ෂ බේද පසෙක තියා මේ සත්කාරයට දායක වෙන්න කියලා අපි පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225න්ම ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

10 views

2 Comments to “අගමැති පරාදයි… නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 07කින් හා හොදම අවස්ථාවේ වැඩි 58කින් විශ්වාස භංගය සම්මතයි.. සූත්තරේ මෙන්න..”

  1. බන්ඩා says:

    අන්තිමට ලොල්ලො අැරෙන්න අනිත් ඔක්කොම රනිලට පිහි පාරක් බස්සනවා. හරියටම කියනව නම් ‘මර්ඩර් ඔෆ් ද ඔරියන්ට් ඒක්ස්ප්‍රස්’ වල කලා වගෙය්.

    • raj says:

      හරිනං ඌට විතරක් නෙමෙයි අනිකටත් පිහිපාරක් බසසවිය යුතුයි. රට කාබාසිනියා කලාට කරි වේ පුතාලට

Main News