අට පාස් මේ නළුවා කාටද මේ අපහාස කරන්නේ…

February 5, 2017 at 6:48 pm | lanka C news
අට පාස් මේ නළුවා කාටද මේ අපහාස කරන්නේ…

අද කැබිනට් ප්‍රකාශක අධිකරණයට බලපෑම් කරන තැනට පත්වෙලා යයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“සයිටම් ආයතනයට එරෙහිව පැවැති විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයට සහභාගී වූ පිරිස අතුරෙන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එම පිරිස පෙබ. 15 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව පොලීසිය ඉල්ලා සිටියත් අතිරේක මහේස්ත්‍රාත්තුමන් විසින් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් මත ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළා.

ප්‍රශ්නය ඔවුන් නිදහස් කර ගැනීම නොවෙයි. ප්‍රශ්නය තමයි ‘ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කළා. අපිත් කථා කළා’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ප්‍රකාශය. රාජිත සේනාරත්න ඇමතිවරයා මේ ප්‍රසිද්ධියේ කියන්නේ එම සිසු පිරිස නිදහස් කර ගන්න තමන් අධිකරණයට කතා කළ බවද? ඒක සැබැවින්ම බරපතළ ප්‍රකාශයක්. විත්තියේ නීතිඥවරුන් ඉතා දක්‍ෂ ලෙස ඉදිරිපත් කළ කරුණු අනුව තමයි සැබැවින්ම මේ සිසුන් නිදහස් කර ගැනීමට හැකිව තිබෙන්නේ. මේ අනුව එක්කෝ රාජිත සේනාරත්න මහතා කියන්නේ බොරු. එහෙම නැතිනම් ඔහු අධිකරණයට ඇත්තෙන්ම කතාකර තිබෙනවා. නමුත් ඔය කොයි දේ වුණත් ඔහු රට ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගන්නවා ‘අපි මේ ආණ්ඩුවේ ප්‍රබලයන් විදියට අධිකරණයට බලපෑම් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්’ කියලා.

යහපාලනය, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන ලොකු කතා කියමින් බලයට ආපු ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අද ප්‍රසිද්ධියේ කියනවා ‘අපි දැන් අධිකරණයට කතා කරනවා. විනිසුරුවරුන්ට බලපෑම් කරලා අපට ඕනේ තීන්දු ලබා ගන්නවා’ කියලා.

පොඩ්ඩක් හිතලා බලන්න. මේ වගේ පොඩි දෙයකට මේ අාණ්ඩුවේ ප්‍රබලයන් මෙවැනි බලපෑම් කරනවා නම් දේශපාලන කාරණාවලදී අධිකරණයට මොන විදියේ බලපෑම් කරනවා ඇත්ද? මේ ආණ්ඩුවේ ප්‍රබලයන් අද මේ සිදු කරන්නේ ‘නීතියේ කන්‍යාවිය මහ දවල් බලහත්කාරයෙන් දූෂණය කිරීමක් නොවෙයිද?’මෙහෙම ගියොත් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මහජන දිනවලදී ‘පොලීසියේ ඕ.අයි.සී මහත්තයට පොඩ්ඩක් කතා කරන්න සර්’ කියලා කියන්න එන හිතවතුන් ඇවිත් කියාවි ‘සර් හෙට මගේ නඩුව. ජජ්ට පොඞ්ඩක් කතා කරන්න’ කියලා. රාජිත සේනාරත්න මහත්තයාගේ ක්‍රියා කලාපය දැඩි සේ හෙළා දකින අතර අපි කියනවා ‘කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන ගෞරවනීය විනිසුරුවරුනි, ඔබලා මේ තත්වයට යට නොවී මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය පසිදලන්න’ කියලා.

රන්ජන් යොදාගෙන ජනතා අවධානය වෙනතකට හැරවීමේ පිළිකුල් ක්‍රියාව දැනවත් නතර කරන්න

අපි මේ මොහොතේ අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ ‘වන්ෂොට්’ හෙවත් රන්ජන් රාමනායක අපොන්සුගේ කුණු ගද ගහන රංගනය. පසුගියදා එයා රඟ දැක්වූවා ‘හෙන අතින් අරගෙන, ප්‍රාදේශීය ලේකම්වරියකගේ හොම්බට අනින්ගේ කොහොමද?’ කියලා. දැන් එතැනින් නතර නොවී තවත් ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ඉහළම බුද්ධිමය ස්තරයක් වන වෛද්‍යවරුන්ට එරෙහි රංගනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මේවා හුදකලා සිදුවීම් කියලා. මේවා සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අනුදැනුම, උපදෙස් අනුව විය යුතුයි. එහෙම නොවේනම් මේ වාගේ ගොංපාට් රංගන මේ රටේ ජනතාවට අවුරුදු 02ක් තිස්සේ දකින්න වෙන්නේ නැහැනේ.

සමාජය තුළ බරපතළ අවධානය යොමුවිය යුතු කරුණු යට ගහලා, මේ වගේ ගොංපාට්වලට ජනතා අවධානය යොමු කරවා ගැනීමේ කොන්ත්‍රාත්තුව තමයි අද මේ රන්ජන් රාමනායක ආපොන්සු නළුවාට රනිල් වික්‍රමසිංහ මහතා භාරදී ඇත්තේ. දැන් මෙයා කියනවා MBBS කියන්නේ ‘මුන්ගෙන් බෙහෙත් බිව්වොත් සුන්’ කියන එකලු. අට පාස් මේ නළුවා කාටද මේ අපහාස කරන්නේ? උසස් පෙළ ඉහළම ප්‍රතිඵල අරගෙන අවුරුදු 05ක් දුෂ්කරතා මැද්දේ ඉගෙනගෙන ලෝකයේ ඉහළම ප්‍රමිතියේ වෛද්‍ය උපාධියක් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ට. මෙයා හිතන්නේ අට වසර මොලයකින්නේ. එයාට වැටහෙන්නේ එයා වගේ කෙනෙක්ගෙන් බෙහෙත් බිව්වොත් සුන් කියලයි. එයා හිතන්නේ වෛද්‍යවරුනුත් එයා වගේ කියලයි.

මේ හදන්නේ මේ රටේ හෙට දවස වෙනුවෙන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, එට්කා ගිවිසුම පැරදවීම වෙනුවෙන් ඉදිරියට එන මේ රටේ වෛද්‍ය වෘත්තිකයෝ හෑල්ලුවට ලක් කරන්නයි. මේ ජෝකර් යොදාගෙන කරන මේ අමන වැඬේ දැන්වත් නතර කරන්න කියා අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

56 views
Main News